16 වැනි බෙනඩික්ට් පාප් වහන්සේ : ගෞරව දැක්වීමට දහස් ගණනක් වතිකානයට

වීඩියෝ ශීර්ෂ වැකිය, නරඹන්න: වතිකානයේ තැන්පත්කර ඇති හිටපු පාප් වහන්සේගේ දේහය දැකීමට දීර්ඝ පෝලිම්
    • Author, අලීම් මක්බූල් සහ එල්සා මෙයිෂ්මන්
    • Role, බීබීසී පුවත්

වතිකානයේ තැන්පත් කර ඇති 16 වන බෙනඩික්ට් හිටපු පාප් වහන්සේගේ දේහයට මේ වන විට දහස් ගණනක් ජනයා සිය ගෞරවය පුද කර තිබේ.

අයහපත් සෞඛ්‍ය තත්ත්වයන් හේතුවෙන් පදවියෙන් ඉවත්වී දශකයකට පමණ පසු, 95-හැවිරිදි වියෙහි සිටි උන්වහන්සේ නව වසරට පළමු දා ස්වර්ගස්ථ විය.

බ්‍රහස්පතින්දා (ජනවාරි 05) පැවැත්වීමට නියමිත අවමංගල්‍ය උත්සවයේ මුලසුන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හොබවනු ඇත. පාප් වහන්සේ කෙනෙකු ඔහුගේ අනුප්‍රාප්තිකයා විසින් භූමදාන කෙරෙන පළමු අවස්ථාව මෙය යි.

වතිකානයට අරුණ උදාවත් සමග, සාන්ත පීතර චතුරස්‍රය අද්දර පෝලිමක් නිර්මාණයවී තිබිණි.

පළමු පැය පහ තුළ දී 40 000ක පමණ ජනකායක් උන්වහන්සේගේ දේහය අසලින් ගමන් කළ බව වතිකාන පොලීසිය ප්‍රකාශ කළේ ය. සාම්ප්‍රදායිකව පාප් වහන්සේගේ ආරක්ෂක භටයින් වන 'ස්විස් ගාඩ්' භටයන් දෙදෙනෙකු උන්වහන්සේගේ දේහය අසල හිඳ ආරක්ෂාව සපයයි.

පිලිපීනයේ සිට පැමිණි ඇල්ෆ්‍රෙඩෝ එල්නර් නම් 30-හැවිරිදි පියතුමා පෝලිමේ ඉදිරියෙන්ම සිටියේ ය. තමා, හිටපු පාප් වහන්සේ දේව ධර්මය සම්බන්ධයෙන් සිදු කළ ලියවිලි අධ්‍යයනය කර ඇති බවත්, ඒවා අගය කරන බවත් පැවසූ ඔහු, පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු ඇතිවී තිබෙන හිස් බවක් ගැන ද ප්‍රකාශ කළේ ය.

ඊට මඳක් පිටුපසින් සිටියේ ක්‍රොඒෂියාවේ සිට පැමිණි මරියානා පැට්‍රිචෙවිච් නම් කන්‍යා සොයුරියකි. ස්වර්ගස්ථ වූ පාප් වහන්සේ සිදු කළ සියල්ල ගැන තමා කෙතරම් කෘතඥ වන්නේදැ යි පැවසූ ඇය, තමා විශ්වවිද්‍යාලයයේ දී උගත් විෂයයන් අතරින් උන්වහන්සේ සිය මතය සාකච්ඡා නොකළ විෂයයක් නොතිබූ තරම්යැ යි ද පැවසුවා ය.

එක්සත් ජනපදයේ සිට පැමිණි රිචර්ඩ් කූන්ස්ට් පියතුමා පැවසුවේ, තමා පාප් වහන්සේගේ දේහය පසු කර යන විට ඔහු වෙනුවෙන් යාඥා කරනු ඇති බව යි. එසේම, පිළිකාව නිසා සිය රටේ දී මිය යමින් සිටින මිතුරෙකු වෙනුවෙන් ප්‍රාතිහාර්යයක් වෙනුවෙන් ද යාඥා කරන වග ඔහු පැවසුවේ ය.

අසනීප තත්ත්වයන් ගැන සඳහන් කරමින් 2013 දී ඉල්ලා අස්වූ 16 වැනි බෙනඩික්ට් පාප් වහන්සේ, වසර 600කින්, ඉල්ලා අස්වූ පළමු පාප් වහන්සේ බවට පත්විය.

සාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කළ විවෘත දෙණක බහාලන ලද උන් වහන්සේගේ දේහය තෙදිනක් ජනතාවට ප්‍රදර්ශනය කෙරෙන අතර, සෑම දිනකම පස්වරු 7 දක්වා ගෞරව පුද කිරීමට ජනතාවට අවසර ලැබේ.

සඳුදා (ජනවාරි 2) බැසිලිකාවට ඇතුළු වූ බොහෝ දෙනා, පාප් පදවියට අදාළ පළඳනා රහිතව ප්‍රදර්ශනය කර තිබූ හිටපු පාප් වහන්සේගේ දේහය පසුකර යන විට කුරුසිය ලකුණු කිරීම හෝ යාඥා කිරීමට මොහොතක් නැවතීම සිදු කළහ. ඇතැමෙක් ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත්හ.

එම අත්දැකීම 'ශෝභන' සහ 'නිහතමානය ඇති කරවන සුළුයැ' යි බැසිලිකාව තුළට ගිය තැනැත්තෙකු වන මවුන්ටන් බුටොරැච් ප්‍රකාශ කළේ ය.

හිටපු පාප් වහන්සේගේ දේහය දෙවැනි වරට නැරඹීමට පැමිණ සිටින මේ කතෝලික වන්දනා ගමන් සංවිධානය කරන්නා මෙවර සිය පවුල ද කැඳවාගෙනවිත් සිටියි. එහි මනෝභාවය 'දුක්මුසු' නමුත් 'ප්‍රීතිමත්බව' ද ඔහු පැවසීය.

ඔහු, තමාට " සීයාකෙනෙකු" මෙන් වූ බෙනඩික්ට් පාප් වහන්සේ "ඉතා මෘදු" සහ "නිහතමානී" මිනිසෙකු ලෙස විස්තර කළේ ය.

දේවස්ථානය ජනතාව සඳහා විවෘත කිරීමට පෙර දේහය ගෞරව දැක්වූවන් අතර ඉතාලි ජනපති සර්ජියෝ මතරෙල්ලා සහ අගමැතිනී ජෝර්ජියා මෙලෝනි ද සිටියහ.

A picture was released of Pope Benedict's lying in state

ඡායාරූප මූලාශ්‍රය, Vatican press office

ඡායාරූප ශීර්ෂ වැකිය, බෙනඩික්ට් පාප් වහන්සේගේ දේහය දැක්වෙන ඡායාරූපයක් නිකුත් විය

ගෞරව සහිතව විශ්‍රාමලත් පාප් වහන්සේ බැසිලිකාවට යටින් පිහිටි සොහොන්ගෙයි හි තැන්පත් කිරීමට ප්‍රථමව, සාන්ත පීතර චතුරස්‍රයේ දී අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට නියමිත ය.

ඉරිදා (ජනවාරි 01) වතිකානය, පාප්වරයින් පළඳින රතු පැහැ ශෝක වස්ත්‍රයෙන් සරසා, රන් වැඩ දැමූ මකුටය පැළඳ සිටින දේහයේ ඡායාරූප නිකුත් කළේ ය.

ගෞරව දැක්වීම් සහ ගුණ කථනයන් ලොව පුරාවෙන් ගලාවිත් ඇති අතර, අවමංගල්‍යය සඳහා දහස් ගණනක් ජනයා රැස්වනු ඇතැ යි අපේක්ෂා කෙරෙයි.

පාප් වහන්සේ කෙනෙකුගේ අවසන් අවමංගල්‍යය වූයේ 2005 දී පැවැත්වුණු දෙවැනි ජුවාන් පාවුළු පාප් වහන්සේගේ අවමංගල්‍යය වන අතර, ඉතිහාසයේ විශාලතම ක්‍රිස්තියානි එක්රැස්වීම් වලින් එකක් වූ එය හේතුවෙන් මිලියන හතරක ජනගහනයක් රෝමයට පැමිණෙන්නට ඇතැ යි ඇස්තමේන්තුගත ය.

වතිකාන මාධ්‍ය ප්‍රකාශක මතෙයෝ බෘනී මාධ්‍යවේදීන් වෙත පැවසූ පරිදි, බෙනඩික්ට් පාප් වහන්සේ සිය අවමංගල කටයුතු සරලව සිදුකරන්නැ යි ඉල්ලා ඇත.

අමුත්තන්ගේ ලැයිස්තුව පිළිබඳ තොරතුරු තවමත් නිකුත්කර නැතත්, ඉතාලියේ ද, හිටපු පාප් වහන්සේගේ මව්බිම වූ ජර්මනියේ ද නියෝජිතයින් එයට ඇතුළත් බව වතිකානය පවසා තිබේ.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය 'ආදරණීයම' පූර්වගාමියාට එතුමන්ගේ මරණයෙන් පසු උපහාර දැක්වීය.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, හිටපු පාප් වහන්සේ "ජීවිත කාලය පුරා කතෝලික සභාවට දැක්වූ කැපවීම" අගය කළ අතර, ඉතාලි අගමැතිනී ජෝජියා මෙලෝනි එතුමන් "ඉතිහාසය විසින් අමතක නොකරන ශ්‍රේෂ්ඨ මිනිසෙකු" ලෙස අගය කළා ය.

ලොව විශාලතම කතෝලික රාජ්‍යය වන බ්‍රසීලයේ මීළඟ ජනපති ලුයිස් ඉනේසියෝ ලූලා ද සිල්වා පැවසුවේ, "ශුද්ධ වූ පියතුමන්ගේ විශ්වාසවන්තයින්ට සහ අගය කරන්නන්ට" සැනසීම ප්‍රාර්ථනා කරනබව යි.

බෙනඩික්ට් පාප් වහන්සේ ආන්දෝලනාත්මක චරිතයක් වූ අතර, පැවිද්දන්ගේ ලිංගික අපචාර චෝදනා විසඳීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් ඇතැමුන් ඔහු විවේචනයකර තිබේ.