එක්සත් රාජධානියේ අගමැතිවීමට යමෙකුට අවශ්‍යවනු ඇත්තේ ඇයි?

No 10; Chequers; Buckingham Palace

ඡායාරූප මූලාශ්‍රය, PA/Reuters

යමෙකුට - විශේෂයෙන්ම එක්සත් රාජධානියේ කොන්සර්වටිව් පක්ෂ නායකත්වය දරන අයෙකුට - එරට අගමැතිවීමට අවශ්‍යවනු ඇත්තේ මන්ද?

ඔබ එක්සත් රාජධානියේ අගමැතිධුරය හොබවන්නට තේරී පත්වුවහොත්, මධ්‍යම ලන්ඩනයේ පිහිටි ජෝර්ජියානු යුගයට අයත් පෞරාණික, සුඛෝපභෝගී නිවෙසක්, සියගණනක කාර්යයමණ්ඩලයක්, පුද්ගලික සංචාර මෙන්ම, සෑම සතියක දීම රජු සමග කතාබස් කිරීමේ වරප්‍රසාදය ද ඔබට හිමිවේ.

එමෙන්ම රටවැසියන් උදෙසා යම් යහපත් දේ සිදුකිරීමට මෙන්ම ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට ද ඔබට අවස්ථාව ලැබේ. එලෙසින්ම, කුමක් සිදුවුවත්, නිසැක ලෙසම රටේ ඉතිහාසයේ ද ඉඩක් ඔබ වෙනුවෙන් වෙන්වනු ඇත.

එහෙත්, මේ මොහොතේ එරට පවත්නා තත්ත්වය හමුවේ, නිරවුල් මනසකින් යුතු කිසිවෙකු මෙම තනතුර ලබාගැනීම සඳහා නායකත්ව මැතිවරණයකට ඉදිරිපත්වන්නේ ඇයි ද යන්න විමසා බැලිය යුතු ය.

මා මේ පැනය අගමැති කාර්යාලයයේ සේවය කළ පළපුරුදු නිලධාරියෙකුගෙන් ඇසූවිට ඔහු මෙසේ කියා සිටියේ ය: "අවංකවම, මට ඒකට උත්තරයක් දෙන්න බැහැ."

පත්වන අගමැතිවරයාට මුහුණදීමට සිදුවන ගැටළු අතරින් වඩාත්ම බියකරු දෙය වන්නේ එක්සත් රාජධානිය මේ වන විට මුහුණදී ඇති ආර්ථික ගැටළුව යි.

රට කෙමෙන් දිළිඳු වෙමින් පවතින අතර මහජනතාවට එය දැනෙමින් තිබේ. එක් කැබිනට් අමාත්‍යවරයෙකු පසුගිය දා මේ පිළිබඳව අදහස් දක්වමින්, "අපට මින්පෙර තිබූ ප්‍රශ්න සියල්ලමත් තියෙන ගමන්ම ආර්ථික අර්බුදයකුත් පැමිණ තිබෙනවා," යනුවෙන් කියා සිටියේ ය.

ලිස් ට්‍රස්ගේ කෙටිකාලීන පාලනය විසින් නිර්මාණය කරන ලද අවුල්සහගත තත්ත්වය කොන්සර්වටිව් පක්ෂය දැඩි අසීරු තත්ත්වයකට ඇද දමා තිබේ. ඇය විසින් ගන්නා ලද තීරණ රැසක් පසුව ඇය විසින්ම ඉවත්වූ අතර, එම තීරණ එක්සත් රාජධානිය මූල්‍ය වෙළඳපොළ දැඩි අර්බුධයකට ඇදදැමුවේ ය.

අගමැති ලෙස පත්වීමෙන් දින 45කට පසු ලිස් ට්‍රස් ඉල්ලා අස්වූයේ, ඇගේ ධුරකාලය එරට ඉතිහාසයේ අගමැතිවරයෙකු දැරූ කෙටිම ධුරකාලයබවට පත් කරමිනි.

පවුල්වලට සහ සමාගම්වලට සිය එදිනෙදා අවශ්‍යතා සපුරාගැනීම කෙමෙන් දුෂ්කරවෙමින් පවතින අතර ඉන් බොහෝදෙනෙකු මෙම මූල්‍ය අර්බුදයට වගකිවයුත්තන් ලෙස දොස් පවරනු ඇත්තේ ටෝරිවරුන්ට ය (කොන්සර්වටිව් පක්ෂයට).

එමෙන්ම අංක 10 අගමැති නිවෙස නිල වශයෙන් භාරගත් නව අගමැතිට මහජන සේවාවන් වෙනුවෙන් ලැබෙනු ඇත්තේ පෙරට වඩා සැබවින්ම අඩු මුදලකි.

එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය ද එහි උපරිම ධාරිතාවට ආසන්නවෙමින් ඇති අතර, වයස්ගත සහ අබාධිත පුද්ගලයන් වෙනුවෙන් සපයනු ලැබූ පහසුකම් ද අභියෝගයට ලක්වෙමින් තිබේ. එමෙන්ම කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසු එරට අධ්‍යාපනය ද පෙර තිබූ තත්ත්වයට ළඟාවීමට දැඩි ප්‍රයත්නයක් දරමින් සිටියි.

ප්‍රවාහන ගැටලු ද උග්‍රවෙමින් ඇති අතර, නිවාස ඉදිකිරීමේ ගැටලු මෙන්ම දේශගුණික විපර්යාසය සහ බලශක්ති සැපයුම ද අභියෝගබවට පත්වී ඇත.

ඔබ දැඩි ආතතියට පත්කිරීමේ අවදානම ගනිමින්, මෙම ලැයිස්තුවට දිගින් දිගටම කරුණු එකතුකිරීමට අපට හැකි ය.

මේ ඕනෑම අභියෝගයක් රජයක දේශපාලන අවධානය මුළුමනින් ලබාගැනීමට ප්‍රමාණවත් වනු ඇත.

එහෙත් ඉදිරියේ දී පොදු කටයුතු සඳහා වන අයවැය හැකිලීමෙන් පසු, මහජන අවශ්‍යතා ඉටුකිරීම බොහෝ රජයේ දෙපාර්තමේන්තුවලට තවත් දුෂ්කර නොවනු ඇතැ යි සිතීම ළාමකබවකි.

චාන්සලර් ජෙරමි හන්ට්, ඉදිරියේ දී තවත් "දුෂ්කර තීරණ" ගැනීමට සිදුවනු ඇතැ යි පැවසීමට හේතුවක් තිබේ.

ඉදිරියේ දී බොහෝ කප්පාදු සිදුවනු ඇති අතර, එයට එකම හේතුව උද්ධමනය නොවේ.

රුසියා යුක්රේන අර්බුධයේ දී එක්සත් රාජධානිය යුක්රේනයට සහය දැක්වීම ගැටලුවක් නොවන නමුත්, යුද්ධය කොපමණ කලක් පවතිනු ඇත්ද හෝ එය අවසන්වනු ඇත්තේ කෙසේ ද යන්න පිළිබඳව තවමත් පිළිතුරක් නැත.

එක්සත් රාජධානිය සහ එහි මිත්‍ර රටවල් චීනය සමග කටයුතු කළ යුත්තේ කෙසේ ද? බ්‍රෙක්සිට්හි නිමානොවූ ගැටලුවක්වූ අයර්ලන්ත දේශසීමා සම්බන්ධයෙන් යුරෝපා සංගමය සමග ඇති ප්‍රශ්නය ද තව දුරටත් ඇදෙමින් තිබේ.

Liz Truss
ඡායාරූප ශීර්ෂ වැකිය, ලිස් ට්‍රස් ධුරයට පත්වී දින 45කින් ඉල්ලා අස්වූයේ ඇගේ ධුරකාලය එරට ඉතිහාසයේ සියලු අගමැතිවරුන් දැරූ කෙටිම ධුරකාලයබවට පත් කරමිනි

සාමාන්‍ය නියමයට අනුව නම් එම ගැටලු විසඳීම ආරම්භ කිරීමේ දේශපාලන හැකියාව නව අගමැතිවරයාට තිබිය යුතු ය. මන්දයත් ඓතිහාසිකව ගත්කල මේ වනවිට කොන්සර්වටිව් පක්ෂයට පාර්ලිමේන්තුවේ ඇත්තේ විශාල බහුතරයකි.

නමුත් ටෝරිවරුන් අතර ඇති අභ්‍යන්තර මතගැටුම්වලට පින්සිදුවන්නට මෙම බහුතරය සැබවින්ම උපකල්පිත බහුතරයක්ව තිබේ. "පක්ෂය පාලනය කළ නොහැකි තත්ත්වයක පවතින්නේ යැ" යි කැබිනට් අමාත්‍යවරයෙක් පවසා සිටියේ ය.

නව අගමැතිගේ පෞරුෂය අදාළ වන්නේ මෙහි දී ය (එය පුද්ගලයාගේ පෞරුෂය අනුව වෙනස්වන්නක් නොවෙතැ යි ඔබ අතරින් ඇතැමෙකු විශ්වාස කරනවා වන්නට පුළුවන).

පෞරුෂයන් අතරින් වඩා විශාලතම පෞරුෂයක් හිමි අයෙකුවූයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් ය. ඔහු ඔහුගේ සගයන් විසින් පසුගිය ගිම්හානයේ දී ධුරයෙන් ඉවත් කරවනු ලැබිණ.

නමුත් ටෝරි මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක්, ඔහු ධුරයෙන් ඉවත්වන විට අත්පුඩි ගසමින් සතුට පළකළ අතර, තවත් පිරිසක් ඔහු ඉවත් වනවිට 'හඬන්නට තරම්' ශෝකයෙන් පසුවිය. අර්බුදයට පිළිතුර ඔහුබව මේ වනවිට ඔවුහු ඒත්තුගෙන සිටිති.

කැබිනට්ටුවේ ඔහුගේ සහායකයෙකු පවසා සිටියේ "2019 දී එය අපට අනුභූතියක් සැපයූ අතර, දැන් එය යළිත් අපේ අනුභූතියබවට පත්ව තිබේ" යනුවෙනි. එමෙන්ම "ලාසරස්ගෙන් පසු වැදගත්ම නැවත පැමිණීමට තමන් කුමන්ත්‍රණය කරමින් සිටියි" යනුවෙන් ඔහු විහිළුවක් ද කළේ ය. ලාසරස් යනු ජේසුතුමන් විසින් මරණයෙන් නැගිටවූබව පැවසෙන මිනිසෙකි.

එය හොඳ අදහසක් ද, එය ප්‍රායෝගික ද යන්න පිළිබඳව මේ වන විට පුවත්පත් තීරු ලිපි රාශියක් ලියැවී තිබේ. සැබවින්ම ඔහු යළි පැමිණියහොත් එය ඔහුගේ සගයන් බොහෝ දෙනෙකුට භීතියක් ඇතිකරවිය හැකි අතර, ඔහු ඉවත්විය යුතුයැ යි ප්‍රසිද්ධියේ අදහස් පළකළ ඔහුගේ එවකට සහායකයින් බොහෝදෙනෙකුට ද සිය මන්ත්‍රීධුර දැරීම අපහසු කරවනු ඇත.

එක් හිටපු අමාත්‍යවරයෙකු සිය කණස්සල්ල පළ කරමින් මෙසේ කියා සිටියේ ය: "[එය සිදුවුවහොත්] පක්ෂයෙන් අඩක් මෙන්ම රටේ ජනතාවගෙන් 90%ක් නොසතුටට පත්වේවි."

තවත් මන්ත්‍රීවරයෙක් පවසන්නේ, "මම ඉවරයක් නැති නරක හීනයක් දකිනවා කියලා මට දිගින් දිගටම හිතෙනවා. එතකොට මට අවබෝධ වෙනවා මම ඇත්තටම එහෙම නරක හීනයක් දකිනවා කියලා. මම මගේ සගයන්ගෙන් නැවත නැවතත් අහාන්නේ ඔවුන්ගේ මතකය නැතිවෙලා ද කියලයි."

බොරිස් ජොන්සන් යනු ඔවුන් සතු විශාලතම දේශපාලන ප්‍රසිද්ධිය හිමි පුද්ගලයාබවට සැකයක් නැත. නමුත් ඔහුගේ බොහෝ සගයන් විශ්වාස කරන්නේ දැන් එම ප්‍රසිද්ධිය වඩාත් ළඟ අපකීර්තියකට මිස අගය කිරීමකට නොවන බව යි.

පසුගිය සමයේ ඔහුගේ නායකත්වය යටතේ පක්ෂය ද බෙදීගොස් තිබුණි. මේ මොහොතේ ඔහු සාර්ථක වනු ඇති බවට විශ්වාස කරන්නේ ඇයි? බයිබලයට අනුව ලාසරස් මළවුන්ගෙන් උත්ථානවූ නමුත්, ඔහු නැවත කිසිදිනෙක සිනාසී නැත.

ඇතැමුන් ජොන්සන්ගේ බිඳවැටීම සම්බන්ධයෙන් දොස් පවරන්නේ වර්තමාන අගමැති වන රිෂී සූනක්ට වන අතර, ජොන්සන් යළි ජයග්‍රහණය කළේ නම් කිසිවිටෙක සියල්ලන් ඔහු නායකයා ලෙස පිළිනොගනු ඇතැ යි පැවසේ. එක් මූලාශ්‍රයක් පවසන්නේ, "රිෂි යටතේ සේවය කිරීමට අකමැති සැලකිය යුතු කොටසක් කොන්සර්වටිව් පක්ෂයේ ඇත" යන්න යි.

සූනක්ගේ සහ ජොන්සන්ගේ කඳවුරු ඉරිතලා ගිය කැඩපතකින් ඔවුන් දෙපාර්ශ්වය පිළිබිඹු කරනවා වැනි ය. එහෙයින් ඔවුන් දෙදෙනාගෙන් කිසිවෙකුට පක්ෂය එක් මතයකට ගෙන ඒම දුෂ්කරවනු ඇත. එක් කැබිනට් අමාත්‍යවරයෙකු පැවසුවේ එය කවදාවත් නිම නොවන තර්ක චක්‍රයක් කරා පක්ෂය ගෙනයනු ඇති බව යි.

මහජනතාව බොහෝවිට පාර්ලිමේන්තුවේ සිදුවන දෙයට එතරම් අවධානයක් යොමු නොකළත්, මෙවර එය වෙනස්වී තිබේ. මෙම සිදුවීම් මහජන අවධානයට ලක්ව ඇති අතර, කොන්සර්වටිව්වරුන්ගේ ක්‍රියාකලාපය ඔවුන්ගෙන් බහුතරයක් දෙනා අනුමත නොකරයි.

එසේනම් යමෙකුට මෙම ධුරය අවශ්‍ය වන්නේ ඇයි?

දේශපාලනය යනු එය යි. එය ජනතා සේවය සඳහා ඇති උසස් අභිලාෂයේ ද, බලය වෙනුවෙන් ඇති පහත් තෘෂ්ණාවේ ද මිශ්‍රණය යි.

එක් හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු පවසන පරිදි : "පොරොන්දුවූ දේශයට සෑම කෙනෙකුම ගෙනයා හැක්කේ තමන්යැ යි විශ්වාස කරන අයෙකු සෑමවිටම ටෝරි පක්‍ෂයේ සිටියි."