චීනයේ දේශපාලන මණ්ඩලය: චීනය පාලනය කරන්නට ජනාධිපති ෂී ජින්පින් තෝරා ගෙන ඇති සාමාජිකයින් කවුරුන්ද?

චීන දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් සත්දෙනෙකුගෙන් යුත් ස්ථාවර කමිටුව, වෙනත් රටවල කැබිනට් මණ්ඩලයට සමාන වේ.

එය පක්ෂය තුළ ප්‍රභූ පැලැන්තියේ ද ඉහළතම මට්ටම ලෙස සලකනු ලබන අතර, එයට පිවිසීමට නම් බොහෝ විට දේශපාලන ශූරත්වය පමණක් නොව අභ්‍යන්තර එදිරිවාදිකම්වලට මුහුණදීමේ දක්ෂතාව ද අවශ්‍ය වේ.

ස්ථාවර කමිටුවේ සභාවාරයක් අවසන්වීමෙන් පසු විශාල සංශෝධන සිදුවීම අසාමාන්‍ය දෙයක් නොවන අතර මෙවර ද එවැන්නක්ම සිදුවී තිබේ.

ජනාධිපති ෂී ජින්පින් විසින්ම තෝරාගනු ලබන මෙම මණ්ඩලයේ ෂාඕ ලෙයිජි සහ වං හනිං හැර, වැඩිදෙනා එම මණ්ඩලයට නවකයින් වේ.

සාමාජිකයින් 24 දෙනෙකුගෙන් යුත් නව දේශපාලන මණ්ඩලයේ කාන්තා නියෝජනයක් නැත. ස්ථාවර කමිටුව තෝරාගැනෙන්නේ මෙම දේශපාලන මණ්ඩලයෙනි. දශක ගණනාවක අත්දැකීම් ඇති, රාජ්‍ය මන්ත්‍රණ සභාවේ උප අගමැතිවරියක වන සන් චුන්ලාන් පසුගිය දේශපාලන මණ්ඩලයේ සිටි එකම කාන්තාව වූ නමුත් ඇය වයස අවුරුදු 72 දී විශ්‍රාමගොස් ඇත.ඉදිරි වසර පහ තුළ චීනය පාලනය කරන්නේ කවුරුන් ද යන්න චීන කොමියුනිස්ට් පක්ෂය හෙළිදරව් කර තිබේ.

මෙනිසා මෙහි නායක ෂී ජිංපිං ඔහු කැමති කලක් රාජ්‍ය නායකත්වයේ රැඳී සිටිනු ඇති අතර, අනාගතයේ යම් දේශපාලන පෙරළියක් ඔහු ඉවත් කරන තුරුම එය එසේ පවතිනු ඇත.

මෙම මණ්ඩලය ෂී ජිංපිං විසින් කොමියුනිස්ට් පක්ෂයේ පාලනය තමා වෙත තබාගැනීම සඳහා තෝරා පත්කරන ලද්දකැ යි කිසිවෙකු නොසිතුවේ ද නැත.

එපමණක්ද නොව, මෙම නව කණ්ඩායම සම්පූර්ණයෙන්ම ඔහුට හිතවාදීන්ගෙන් පිරී ඇත. ඔහුට වඩා වෙනස් දෘෂ්ටිකෝණයකින් අංශු මාත්‍රයක් හෝ ඇති කිසිවෙකු මෙයට ඇතුළත් කර නැත.

එහිදී සිදුවූ විශේෂිතම පත්වීම වන්නේ ලී ක්වියැං අගමැති ලෙස පත්කිරීම යි. එමඟින් ඔහු චීනයේ උපනායකයාබවට පත්වන අතර චීනයේ ආර්ථිකය කළමනාකරණය ඔහුගේ යටතට වැටේ.

ෂැන්හයිහි දුර්භාග්‍යමත් ලොක්ඩවුන් කිරීමට (මේ හරහා මිලියන ගණනක වැසියන්ට සැලකිය යුතු තරම් ආහාර අහේනියක් ඇතිවිය) වගකිව යුතු තැනැත්තා යටතට රටේ ආර්ථිකය සැලසුම් කිරීමේ බලය ලබාදීමෙන් පෙන්නුම් කෙරෙන්නේ, යමෙකුගේ හැකියාවට වඩා ඔහු ෂී ජිංපිං වෙත දක්වන හිතෛෂීබව වැදගත්බව යි.

එහෙත් මෙනිසා, ආර්ථික කටයුතු සහ ඉලක්ක සාක්ෂාත්කර ගැනීමට කළ යුතු දේ කුමක්ද යන්න පිළිබඳව මහලේකම් ෂී ජිංපිංට ස්ථිර අවබෝධයක් නොමැතිදැ යි ඇතැමුන්ට සිතෙනු ඇත. නැතිනම් අඩුම තරමින් ඔහු එය ප්‍රමුඛතාවක් ලෙස නොදකිනවා විය හැකි ය.

ඔහුට මූලිකවම අවශ්‍යවන්නේ තම නායකත්වය යටතේ පක්ෂයේ විනය සහ ජාතිකවාදී සහයෝගය පවත්වාගැනීම පමණක් වන අතර, අනෙක් සියල්ලම ඊට දෙවැනි වේ.

කොවිඩ් නිසා බිඳවැටී ඇති ආර්ථිකයක් ගොඩනැගීමට එවන් තීරණයක් ගැනීමෙන්ම ඔහුගේ අවශ්‍යතාව තහවුරු වේ.

එසේම, චීනයේ මෙම ඉහළම සත් සාමාජික මණ්ඩලය තුළ කාන්තා නියෝජනයක් නොමැතිවීම ෂී ජිංපිංට ද ගැටලුවක් වන බවක් පෙනෙන්නට නැත. මෙහි එකම ව්‍යතිරේකය වූයේ, මීට පෙර සිව් සාමාජික මණ්ඩලය තිබිය දී එහි මාඕ මැතිණිය සිටීම යි. එය ද එය නිල තනතුරක් වූයේ නැත.

මෙය බොහෝ දෙනෙකුට බලාපොරොත්තු සුන්වීමක් ලෙස දැනුනත් පුදුමයක් නොවනු ඇත.

චීනයේ මධ්‍යම බලය වෙනුවෙන් ෂී ජිංපිං ජනපතිවරයා පත් කළ අය මෙසේ යි:

ලී කියැං

වයස: 63

වත්මන් දේශපාලන තනතුර: ෂැංහයිහි පක්ෂ ලේකම්

ජනපතිගේ විශ්වාසවන්තම කනිෂ්ඨයා ලෙස සැලකෙන මොහු, සීජියැං පළාතේ කුඩා ප්‍රාන්තවල සේවය කළේ ය. ෂී ජිංපිං සීජියැංහි පක්ෂ ප්‍රධානියාව සිටි සමයේ දී ලී ඔහුගේ කාර්යයමණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළේ ය.

මෙම වසර මුල දී ෂැංහයිහි කොවිඩ් පැතිරීම සම්බන්ධයෙන් ඔහුගේ කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය විවාදාත්මක වූ අතර ජනතා විවේචනයන් ද එල්ලවිය. මෙය ඔහුගේ දේශපාලන අනාගතයට බලපෑ හැකිද යන්න පිළිබඳව මතයක් ද පැවතිණි.

නමුත් මෙම පත්වීමත් සමග, ජනපති වෙත ඔහු දක්වන පක්ෂපාතීත්වය ඔහුව ඉහළ තනතුරකට ගෙන ආ බව පැහැදිලි ය. කමිටු සාමාජිකයින්ගේ තනතුරු ලබන වසරේ ස්ථිර කරනු ඇති අතර, බොහෝ දෙනා විශ්වාස කරන්නේ ඔහු මීළඟ අගමැති වනු ඇති බව යි.

ෂාඕ ලෙයිජි

වයස: 65

වත්මන් දේශපාලන තනතුර: විනය පරීක්ෂණ සඳහා වූ රාජ්‍ය කොමිසමේ ප්‍රධානී

ෂාඕ චීන නායකත්වයේ නැගී එන තරුවක් ලෙස සලකනු ලැබ ඇති අතර, ෂී ජිංපිං සේම ෂාන්සි පළාතට සමීප සබඳතා දක්වයි.

කිංහායි පළාත් රජයට ඇතුළුවූ පසු ඔහු සීඝ්‍රයෙන් ඉහළ නැගුනු අතර, වයස අවුරුදු 42 දී ආණ්ඩුකාරවරයා බවට පත්විය. පළාත් ආණ්ඩුකාරවරයෙකු බවට පත්වූ ළාබාලම පුද්ගලයා ඔහු යි.

දූෂණ විරෝධී ආයතනයේ ප්‍රධානියා ලෙස ෂාඕ පක්ෂයේ විනය පවත්වාගෙන යාමේ වගකීම දරයි. ඔහු වසර ගණනාවක් තිස්සේ, අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගණනාවක් හසුකර දී ඇත.

වැං හනිං

වයස: 67

වත්මන් දේශපාලන තනතුර: කොමියුනිස්ට් පක්ෂ ලේකම් කාර්යාලයයේ පළමු ලේකම්

හිටපු විද්‍යාර්ථියෙකු හා මහාචාර්යවරයකු වන වැන්ග්, ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්ගේ ඇස ගැටීමෙන් පසු තනතුරු අතරින් ඉහළට ගමන් කළේ ය. ඔහු එවකට ජනාධිපති ජියැං සෙමින් වෙත නිර්දේශ කෙරුණු අතර, ඉන්පසු ජනපති උපදේශක තනතුර වෙත උසස් කරන ලදී.

පක්ෂයේ දේශපාලන න්‍යායාචාර්යවරයා ලෙස නායකයින් තිදෙනෙකුගේ මතවාදයන් (ජියැං සෙමින්ගේ නිර්දේශ තුන, හූ ජින්තාවෝගේ සංවර්ධනය පිළිබඳ විද්‍යාත්මක දැක්ම, සහ ෂී ජිංපිංගේ චින්තනය) ගොඩනැගීම ඇතුළු බොහෝ කොමියුනිස්ට් පක්ෂ සංකල්ප පිටුපස සිටින්නේ වැන්ග්යැ යි සැලකේ. චීනයේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් වැඩසටහන ද ඔහුගේ අදහසකැ යි විශ්වාස කෙරිණි.

ඔහු පක්‍ෂයේ සියලුම පාර්ශවයන් සමග සුහදව කටයුතු කරන බව ද පැවසේ.

සායි කි

වයස: 66

වත්මන් දේශපාලන තනතුර: බීජිංහි නගරාධිපති

ෂීගේ සමීප සගයෙකු වන ඔහු ෆුජියන් සහ ෂෙජියැන්ග් පළාත්වල චීන නායකයා යටතේ කටයුතු කර ඇති අතර, ෂී වෙත පූර්ණ පක්ෂපාතිත්වය ප්‍රකාශකර ඇත.

මෙම වසර මුල - වසංගතයේ උච්චතම අවස්ථාවෙහි දී - බීජිං ශීත ඍතු ඔලිම්පික් උළෙල පැවැත්වීම සාර්ථකත්වය පිළිබිඹු කිරීමක් ලෙස පක්ෂය තුළ දී සලකනු ලැබූ අතර, එය ඔහුට වාසිසහගත විය.

නමුත් ඔහු 2017 දී අගනුවර ජනගහණය අඩු කිරීම සඳහා සැලැස්මක් දියත් කරමින් අඩු ආදායම්ලාභීන් බොහෝදෙනෙකු නගරයෙන් ඉවත්කළ අතර එය මතභේදයට තුඩුදුන්නේ ය.

ඩිං ෂෝෂියැං

වයස: 60

වත්මන් දේශපාලන තනතුර: මහලේකම් කාර්යාලයයේ සහ ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ

පුහුණු ඉංජිනේරුවෙකු වන ඩිං සිය දේශපාලන ජීවිතය ආරම්භ කළේ ෂැංහයිහි රජයට අනුබද්ධ පර්යේෂණ මධ්‍යස්ථානයකිනි.

ඔහුට පළාත් මට්ටමේ පක්ෂ ලේකම්වරයෙකු හෝ ආණ්ඩුකාරවරයෙකු ලෙස පළපුරුද්දක් නොතිබුණ ද (සාමාන්‍යයෙන් එය බලයට පැමිණීමේ දී අත්‍යවශ්‍යයැ යි සැලකේ), 2007 දී ෂීගේ ලේකම්බවට පත්විය. 2014 සිට ඔහු ජනාධිපති කාර්යාලයයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර, ෂීගේ කාර්යයමණ්ඩල ප්‍රධානියා ලෙස ද ක්‍රියා කරයි.

ෂීං ජිංපිංගේ චින්තනයේ ප්‍රබල උපදේශකයෙකු වන ඔහු ජනපතිගේ විශ්වාසවන්තම සහායකයෙකි. ඔහු චීනය තුළ මෙන්ම විදේශයන්හි බොහෝ සංචාර සඳහා ජනපති සමග ගොස් ඇත. නිරීක්ෂකයින් පවසන්නේ මෑත වසරවල අනෙකුත් නිලධාරීන්ට වඩා ඔහු ෂී සමග වැඩි කාලයක් ගතකර ඇති බව යි.

ලී ෂී

වයස: 66

වත්මන් දේශපාලන තනතුර: ගුවැංඩොං පළාතේ පක්ෂ ලේකම්

ජනපති පවුල සමග සමීප සබඳතා ඇති ඔහු ෂීට පක්ෂපාතියෙකි. අර්බුද විසඳන්නෙකු ලෙස සැලකෙන ඔහු 2017 දී ලියැඔනිං පළාතේ ව්‍යාජ ආර්ථික දත්ත සම්බන්ධ සිද්ධිය හොඳින් හසුරුවනු ලැබීය.

දෙවන ලෝක සංග්‍රාමයේ දී මාඕ සේතුං පක්ෂයේ මූලස්ථානය ලෙස භාවිතා කළ, ෂී ජිංපිං වසර හතක් වෙහෙස මහන්සි වී වැඩ කළ, දේශපාලනමය වැදගත්කමක් ඇති යනාන් නගරයේ පක්ෂ නායකයා ඔහු විය.

ගුවැංඩොංහි තාක්ෂණික කර්මාන්තයේ දියුණුව සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ඔහු මැදිහත් විය. ඔහු නව වෙළඳ ප්‍රතිපත්ති නිකුත් කළ අතර ප්‍රදේශයේ කලාපීය ඒකාබද්ධතාව ද ප්‍රවර්ධනය කළේ ය.