ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නෙළුම් කුලුන: ගත්ත ණය ගෙවන්න අවුරුදු 203 ක් ගතවෙයිද?
දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුලුන ලෙස සැලකෙන 'නෙළුම් කුලුන' අද (15) සිට ජනතාවට විවෘත වෙයි.
නෙළුම් කුලුන සඳහා ඇතුළු වීමට දේශීය නරඹන්නන් රුපියල් 2000ක හෝ රුපියල් 500ක ප්‍රවේශ පත්‍රයක් මිල දී ගත යුතුය.
රුපියල් 2000ක ප්‍රවේශ පත්‍රයක් මිල දී ගන්නා පුද්ගලයන්ට තනිව කුලුන නැරඹීමේ අවස්ථාව හිමි වෙයි.
රුපියල් 500ක් වටිනා ප්‍රවේශ පත්‍රයක් මිල දී ගන්නා පුද්ගලයන්ට කණ්ඩායම් වශයෙන් කුලුන නැරඹීමට අවස්ථාව හිමිවනු ඇත.
විදේශිකයන්ගෙන් මේ සඳහා ඩොලර් 20ක මුදලක් අය කෙරෙයි.
පාසල් ළමුන් සඳහා රුපියල් 200කට නෙළුම් කුලුන නැරඹීමේ අවස්ථාව හිමි වන අතර ඒ සඳහා විදුහල්පතිවරයා මඟින් පෙර දැනුම් දීමක් කළ යුතු බවට කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන පරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ පැවසීය.
අන්තර්ජාලය මඟින් ප්‍රවේශ පත්‍ර වෙන් කර ගැනීමේ අවස්ථාව ද ඇත.
සතියේ දිනවල පස්වරු 2 සිට රාත්‍රී 10 දක්වාත්, සතිඅන්තයේ දවල් 12 සිට රාත්‍රී 11 දක්වාත් කාලය තුළ නෙළුම් කුලුන නරඹන්නන් සඳහා විවෘතය.
වසර 50ක කාලයක් සඳහා මහා භාණ්ඩාගාරය යටතේ පිහිටු වූ කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගමට මේ කුලුන බදු දී ඇත.
මීටර් 300ක් පමණ උසින් යුත් නෙළුම් කුලුන මඟින් වාණිජමය වශයෙන් ප්‍රතිලාභ ගැනීමේ අරමුණෙන් ආයෝජන සඳහා විවෘත කිරීමට ද කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම පියවර ගෙන තිබේ.
පහසුකම්
මෙහි පාදම මහල් හතරකින් යුක්තය. මුළුතැන්ගෙය, වායුසමීකරණ පද්ධතිය හා විදුලි මෙහෙයුම් පද්ධතිය පතුල් මහලේ පිහිටා ඇත.
බිම් මහල අමුත්තන්ගේ පිවිසුම් මහලය.
සාප්පු සංකිර්ණ සඳහා කුලුනේ පළමු හා දෙවැනි මහල් වෙන්කර ඇත.
විවෘත සංදර්ශන හා රැස්වීම් සඳහා තෙවැනි මහල වෙන්වී තිබේ.
හතරවැනි මහල උත්සව ශාලාවන්ගෙන් සමන්විතය.
ආසන 600 කින් යුත් කැරකෙන ආපන ශාලාව පිහිටා ඇත්තේ පස්වැනි තට්ටුවේය.
රාජ්‍ය අමුත්තන් සඳහා වෙන් වූ කාමර අටකින් යුත් හය වැනි මහලත්, නැරඹුම් කුටියකින් යුත් හත්වැනි මහලත් වායුසමීකරණය කරන ලද ප්ලාන්ට් රූම් සහ විදුලි සෝපාන ප්ලාන්ට් රූම් අඩංගු අටවෙනි මහලත් අඩංගු නෙළුම් කුලුනේ මූලික ආදායම් මාර්ගය වන්නේ සංචාරක ව්‍යාපාරය සහ ගුවන් විදුලි, රූපවාහිනී හා දුරකථන සම්ප්‍රේෂණ ඇන්ටනා බදු දීම හරහාය.
මෙම කුලුනට ගුවන්විදුලි සහ රූපවාහිනී සම්ප්‍රේෂණ ඇන්ටනාවක් ලෙස ක්‍රියාත්මක වීමට හැකියාව පවතින බැවින් රූපවාහිනී සේවා 50 කටත් දුරකථන සන්නිවේදන සේවා ආයතන 20 කටත් පහසුකම් සැපයීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරේ.
2012 වසරේ වැඩ ආරම්භ කෙරුණු මෙම කුලුනේ වැඩ අවසන් කිරීමට වසර 7 කට ආසන්න කාලයක් ගත විය.
තත්පරයට මීටර් 7 ක වේගයෙන් දිවෙන මෙහි විදුලි සෝපානයෙන් තත්ත්පර 35 කදි කුලුනේ මුදුනත නැරඹුම් වේදිකාව ඇති 29 වැනි මහල වෙත ගමන් කළ හැකිය.
මෙම කුලුනු ගොඩනැගිල්ල අධි තාක්ෂණික ගොඩනැගිල්ලක් වන අතර එය වේගවත් විදුලි සෝපාන තුනකින් සමන්විතය.
ඉන් සෝපාන දෙකකින් එකවර 80 දෙනෙකු කුලුන මුදුනට රැගෙන යාමේ හැකියාව ඇත. එකවර දහසක පමණ පිරිසකට කුලුනේ ඉහළම මහලේ රැඳී සිටීමට පහසුකම් ඇත.
නිරීක්ෂණ වේදිකාව දක්වා නෙළුම් කුලුනේ උස මීටර් 245 කි, නැතිනම් අඩි 803 කි. මුහුදු මට්ටමේ සිට ගතහොත් තවත් මීටර් 6 ක් එකතු විය යුතුයි. එනම් මීටර් 251 කි.
නැරඹුම් වේදිකාවෙන් එක් මහලක් පහළට ගිය පසු හමුවන්නේ කාමර 8 කින් යුත් හෝටලයි.
පස්වැනි මහලේ පිහිටි හෝටලය විනාඩි 90 කදී අංශක 360 ක් එනම් සම්පූර්ණ වටයක් පැයකට එකවරක් බැගින් කැරකීම මෙහි ඇති විශේෂත්වයයි.
එය දක්ෂිණ වෘතව කැරකෙයි. ඊට අමතරව නෙළුම් පොහොට්ටුවේ යට තට්ටු දෙකේ ප්‍රියසම්භාෂණ උත්සවශාලා දෙකක් පිහිටා ඇත.
විවෘත කළේ ජනපති මෛත්‍රීපාල සිරිසේනයි
නෙළුම් කුලුන 2019 වසරේ සැප්තැම්බර් 16 දා එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතින් විවෘත කෙරිණි.
එහෙත් මෙතෙක් කුලුන ජනතාවට විවෘත නොවීය.
කොළඹ ඩී. ආර්. විජයවර්ධන මාවතේ බේරේ වැව ආසන්නයේ වර්ග මීටර් 30,600 ක භූමියක ඉදිකර තිබෙන නෙළුම් කුලුන පිළිබඳ යෝජනාව ගෙන ආවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේදීය.
කුලුනේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊට මුල්ගල් තැබුවේ 2012 ජනවාරි 20 වැනිදාය.
මීටර 350 ක් උසැති මීටර් 30,600 ක වපසරියකින් යුත් කුලුනක් වන මෙය නෙළුම් පොහොට්ටුවක හැඩ ඇති නිසා 'නෙළුම් කුලුන' ලෙස නම් කෙරිණ.
ආන්දෝලනය
'නෙළුම් කුලුන' ඉදිකිරිම සඳහා තෝරාගත් කොන්ත්‍රාත් සමාගම් දෙක චීන සමාගම් වූ අතර මෙය ඉදිකිරීම සඳහා චීන එක්සිම් බැංකුව ණය මුදලක් ලබාදීමට කටයුතු කර තිබිණි.
චීනය ක්‍රියාත්මක කරමින් සිටින එක් තීරයක් හා එක් මාවතක් (BRI - Belt and Road Initiative) නම් වැඩපිළිවෙල යටතේ ඒ සඳහා වන ගිවිසුම්වලට අත්සන් තැබිණි.
චීනයේ එක්සිම් බැංකුව ව්‍යාපෘතියට යන මුදලින් 80%ක් ද ඉතිරි මුදල විදුලි සංදේශ නියාමන කොමිසම ද යෙදවීමට එහිදී තීරණය වී තිබිණි.
එම සැලසුමට අනුව තීරණය කෙරුණේ නෙළුම් කුලුන මඟින් ලබාගන්නා ආදායමෙන් වසර 40කින් එම ණය මුදල ගෙවීමය. දින 912කින් එනම් 2015 වසරේ ඉදිකිරීම් අවසන් කිරීමේ අරමුණින් වැඩ ආරම්භ කළත් ඊට වසර 7ක් ගත විය.
දකුණු ආසියාවේ උසම කුලුන වූ මෙම කුලුනේ ඉදිකිරිම් හා එහි මෙහෙයුම් සඳහා චීනය සම්බන්ධ වීමත් සමඟ ඉන්දියාව මෙම කුලුන සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර තිබිණි. විශේෂයෙන්ම ඉන්දීය මාධ්‍යවල මෙම කුලුන දකුණු ආසියාවේ ආවේක්ෂණ කටයුතු සඳහා භාවිත කිරීමට චීනය සුදානම් වන බවට ද වාර්තා පළකර තිබිණි.
එහෙත් එම චෝදනා ඉදිකිරීම් සමාගම් විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබ තිබූ අතර එවැනි කිසිදු උපකරණ එහි නොමැති බව ඔවුහු අවධාරණය කළහ.
මෙහි හිමිකාරීත්වය ඇත්තේ චීනයට නොව ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිසමට බව ද චීන සමාගම එම චෝදනාවට ලබාදුන් පිළිතුරුවල සඳහන් වේ.
මේ අතර 2019 සැප්තැම්බර් 16 වැනිදා කොළඹ නෙළුම් කුලුන විවෘත කිරීමේ උත්සවයේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ මෙම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරුවකු වූ චීනයේ 'ඒලිට්' නැමැති සමාගමක් ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිසමෙන් දුන් රුපියල් බිලියන දෙකක (ඒ කාලයේ හැටියට ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක) අත්තිකාරම් මුදල රැගෙන අතුරුදහන් වූ බවයි.
මේ චෝදනාව රොයිටර් පුවත් සේවය ඇතුළු විදේශීය ප්‍රවෘත්ති සේවා මඟින් සැනෙකින් මුළු ලෝකය පුරාම ප්‍රචාරය කිරීම හේතුවෙන් එය ආසියානු රටවල් ගණනාවක මාධ්‍යවල ප්‍රධාන පුවතක් බවට ද පත් විය.
මේ ප්‍රකාශය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ 2019 අප්‍රෙල් මාසයේදී මෙම කුලුන සම්බන්ධයෙන් පළවූ පිටු 670 ක විගණකාධිපතිවරයාගේ විශේෂ වාර්තාවේ ද රුපියල් බිලියන දෙකක් රැගෙන අතුරුදන් වූ චීන කොන්ත්‍රාත්කරුවකු පිළිබඳ කිසිදු සඳහනක් නැති බවයි.
ණය ගෙවන්නේ කොහොමද?
2019 වසරේදී විවෘත කළ නෙළුම් කුලුන මේ දක්වා මහජනතාව සඳහා විවෘත නොවීම හේතුවෙන් මෙය චීන ණය උගුලට හසුවූ තවත් සුදු අලියෙකු බවට විපක්ෂයෙන් චෝදනා එල්ල විය. ඇතැම් විපක්ෂ දේශපාලනඥයින් මෙය 'ණය කුලුන' ලෙසද හඳුන්වා දී තිබුණි.
නෙලුම් කුලුන ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 113කි. එය ශ්‍රී ලංකා රුපියල් වලින් මිලියන 40,680කි.
චීන එක්සිම් බැංකුවෙන් ලබා දී ඇති ණය මුදල අමෙරිකානු ඩොලර් මිලියන 67.25කි. ණය සඳහා ගෙවිය යුතු පොලී ප්‍රතිශතය ආසන්න වශයෙන් 7.75%කි.
2023 වසරේදී මෙහි අපේක්ෂිත ආදයම රුපියල් මිලියන 680කි. 2024 දී රුපියල් මිලියන 1000ක ආදායමක් මින් අපේක්ෂිතය. 2024 වසරේ සිට රුපියල් මිලියන 200ක මෙහෙයුම් ලාභයක් ලැබීමට අපේක්ෂා කරන බවට කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම පැවසීය.
ඒ අනුව ගණන් බැලු විට එහි මුලික පිරිවැය පියවාගැනීමට වසර 203ක් පමණ කාලයක් ගතවනු ඇති බවට ආර්ථික විශේෂඥයින් පවසයි.
කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම පැවසුවේ අදාළ ණය මුදල පියවීම ශ්‍රී ලංකා විදුලිසංදේශ නියාමන කොමිසන් සභාව මඟින් සිදුකරනු ඇති බවත් තම සමගම එහි මෙහෙයිම් පමණක් භාරව කටයුතු කරන බවයි.
උද්ධමනය අධික ලෙස ඉහළගොස් ඇති අවස්ථාවක මෙන්ම රට ආර්ථික අර්බුදයකට මුහුණුදී ඇති මේ අවස්ථාවේදී නෙළුම් කුලුන මහජනතාවට විවෘත කිරීම තුළින් මේසා විශාල අදායමක් උපයා ගත හැකිද යන්න ප්‍රශ්නාර්ථයකි.
ඒ අනුව ව්‍යාපෘතිය සඳහා වැය වූ වියදම පියවා ගැනීම සඳහා තවත් කොපමණ වසර ගණනාවක් ගතවේද යන්න ද ප්‍රශ්නාර්ථයක් බව විචාරකයෝ පෙන්වා දෙති.