ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොළඹ, ඉන්දු- චීන රාජ්‍ය තාන්ත්‍රිකයින් ටුවිටර් යුද්ධයකද?
හම්බන්තොට වරායට පැමිණි "යුවාන් වැන්ග් 5" චීන පර්යේෂණ නෞකාව මෙරටින් පිටවගොස් සතියක් ගතව ඇතත් එහි ආන්දෝලනය මෙතෙක් අවසන්ව නැත.
භූ දේශපාලනික අර්බුදයක් දක්වා වර්ධනය වූ එම ප්‍රශ්නය ඉන්දු- චීන තානාපති කාර්යාල අතර ටුවිටර් සටනක් දක්වා පසුගිය සති අන්තයේදී තිව්‍ර විය. ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශේෂඥයින් පෙන්වා දෙන්නේ, මෙය රාජ්‍ය තාන්ත්‍රිකභාවය ඉක්මවා ගිය "ටුවිටර් වෝර්" එකක් බවට පත්ව ඇති බවයි.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොංග් අගෝස්තු 27 වැනිදා මහනුවර සංචාරයක නිරත වූ අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාග් බාග්ලේ ද එදිනම මහනුවර සංචාරය නිරත වීමට තිබුණත් එය හදිසියේ අවලංගු කර තිබුණි.
එදින පස්වරු 4.00ට පමණ අස්ගිරි මහා විහාරයට පැමිණි ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොංග් සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.
පසුව මල්වතු මහා විහාරයට පැමිණි චීන තානාපතිවයා සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් ද බැහැ දුටුවේ ය.
කොළඹ විශ්වවිද්‍යාලයයේ ජාත්‍යන්තර සම්බන්ධතා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය හසිත කන්දඋඩහේවා කියා සිටියේ රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් මතුව ඇති උණුසුම් තත්ත්වයත් සමඟ කොළඹ ඉන්දීය මහකොමසාරිස්වරයා හදිසි හේතුවක් මත මහනුවර සංචාරය අවලංගු කර ඇති බවයි.
"මේකත් එක්ක පැහැදිලිව පේනවා ශ්‍රී ලංකාව තුළ චීනය සහ ඉන්දීය දුත කාර්යාල දෙක ලංකාව ගැන සැලකිල්ලකින් ඉන්නවා. එවගේම එකිනෙකාට චෝදනා කරනවා ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්."
චීන තානාපතිගේ චෝදනාව
"එක්-චීනයක් මූලධර්මයේ සිට "යුවාන් වැන්ග් 5" දක්වා: අපි අත්වැල් බැඳගෙන අපගේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව අධිෂ්ඨානශීලීව සුරකිමු" යන මැයෙන් චීන තානාපතිවරයා නිකුත් කළ ලිපියක් කොළඹ චීන තානාපති කාර්යාලය විසින් සිය ටුවිටර් ගිණුම හරහා ද පළ කළේය.
කොළඹ චීන තානාපති කී සෙන්හොංග් අවධාරණය කර තිබුණේ, චීනය සහ ශ්‍රී ලංකාව තුන්වන පාර්ශ්වයන්ගේ අකාරුණික සහ අසාධාරණ ඇඟිලි ගැසීම්වලට මුලුමනින්ම ප්‍රතිරෝධය දැක්වීමත් සමඟ, ශ්‍රී ලංකා රජයෙන් ලද නව අනුමැතියෙන් පසු චීන විද්‍යාත්මක පර්යේෂණ නෞකාවක් වන "යුවාන් වැන්ග් 5" සාර්ථකව හම්බන්තොට වරායේ නැංඟුරම් දමනු ලැබූ බවයි.
වසර 65 කට පෙර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනැගුණු දා සිට, චීනය සහ ශ්‍රී ලංකාව සෑම විටම මූලික අභිලාශයන් සහ ප්‍රධාන කාරණා පිළිබඳ අන්‍යෝන්‍ය අවබෝධයෙන්, ගරු කරමින් සහ සහයෝගයෙන් කටයුතු කර ඇතැයි චීන තානාපතිවරයා පෙන්වා දුන්නේය.
ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය දෙස ආපසු හැරී බලන විට, 17 වතාවක් උතුරු අසල්වැසියාගේ ආක්‍රමණවලට, වසර 450ක් බටහිරින් යටත් විජිතකරණයට, දශක 3කට ආසන්න කාලයක් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ජයගත් ශ්‍රී ලංකාව, අදටත් ලොව අභීතව සහ ආඩම්බරයෙන් නැගී සිටින බවයි.
ශ්‍රී ලංකාවේ ජාතික ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීමක් නොඉවසිය යුතු බවද චීන තානාපතිවරයා සිය ලිපියෙන් අවධාරණය කර ඇත.
සැපයුම් ලබා ගැනීම සඳහා විදේශ යාත්‍රාවකට හම්බන්තොට හෝ වෙනත් ඕනෑම වරායක් වෙත පැමිණීම අනුමත කිරීම ශ්‍රී ලංකා රජය විසින් සම්පූර්ණයෙන්ම එහි ස්වෛරීභාවය තුළ ගත් තීරණයක් වන අතර, "යුවාන් වැන්ග් 5" හි සියලුම විද්‍යාත්මක පර්යේෂණ ක්‍රියාකාරකම් ජාත්‍යන්තර නීතියට සහ පොදු ජාත්‍යන්තරයට අනුකූල බව කිය යුතු නැතැයි, චීන තානාපතිවරයා සඳහන් කළේය.
"ඊනියා "ආරක්‍ෂක හේතු" මත පදනම් වූ නමුත් ඇතැම් බලවේගවලින් කිසිදු සාක්ෂියක් නොමැතිව බාහිර බාධා කිරීම් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සහ ස්වාධීනත්වයට නිල නොවන මැදිහත් වීමකි." කී සෙන්හොංග් තානාපතිවරයා පෙන්වා දී ඇත.
වාසනාවකට මෙන්, චීනයේ සහ ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ ප්‍රයත්නයන් සමඟ, සිද්ධිය නිසි ලෙස විසඳන ලද අතර, එය ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කරනවා පමණක් නොව, ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය නැවත වරක් ආරක්ෂා කරන ලද බව චීන තානාපතිවරයා අවධාණය කළේය.
ඔහු පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව මෙන්ම චීනය ද 1840 සිට 1949 දක්වා වසර සියයක අවමානයට ලක්ව ඇති බවයි.
එවැනිම අඳුරු අත්දැකීමක් නිසා චීනය සෑම විටම ශ්‍රී ලංකාවට සිය ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර වේදිකාවල සහාය දක්වන බව චීන තානාපතිවරයා පැවසීය.
"අපි ඒක දිගටම කරගෙන යනවා. ඊට වෙනස්ව, සමහර දුරස්ව හෝ ආසන්නයේ (පිහිටි) රටවල්, සෑම විටම ශ්‍රී ලංකාවට හිරිහැර කිරීමට විවිධ පදනම් විරහිත නිදහසට කරුණු ඉදිරිපත් කරන අතර, ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය නැවත නැවතත් පාගා දමයි."
"ලබන මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිතයි. එහිදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්න යළිත් ඇවිස්සීමට ඉඩ ඇත. ශ්‍රී ලාංකීය ජනතාව තවමත් දැඩි ආර්ථික හා මානුෂීය දුෂ්කරතා සමඟ පොරබදමින් සිටින්නේ. මානව හිමිකම් ගැන නිතරම දේශනා කරන එම රටවල් ඇත්ත වශයෙන්ම කුමක් කරනු ඇත්දැයි බොහෝ දෙනා කල්පනා කළ හැකියි."
චීන තානාපතිවරයා ප්‍රශ්න කර සිටියේ "ස්ථිර සහයෝගයක් ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් අර්බුදය සමනය කිරීමට ඔවුන් උදව් කරයිද? එසේත් නැතිනම් ඔවුන් නැවතත් මානව හිමිකම් මෙවලමක් ලෙස ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට සහ ශ්‍රී ලාංකික ජනතාවගේ තුවාලයට ලුණු තැවරීමට යොදා ගනීවිද? අපි බලාගෙන ඉමු." ඔහු අවධාරණය කළේය.
ඉන්දියාවේ දරුණු ප්‍රතිචාරය
"යුවාන් වැන්ග් 5" ආන්දෝලනාත්මක චීන නෞකාවේ හම්බන්තොට සංචාරය පිළිබඳ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයාගේ මෑත ප්‍රකාශයන්ට තියුණු ප්‍රතිචාරයක් දක්වමින්, කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය චෝදනා කළේ චීන තානාපතිවරයා "මූලික රාජ්‍ය තාන්ත්‍රික ආචාර විධි කඩ කර" ඇති බවයි.
මූලික රාජ්‍ය තාන්ත්‍රික ආචාර විධි උල්ලංඝනය කිරීම ඔහුගේ පුද්ගලික ලක්ෂණයක් හෝ සාමාන්‍ය ජාතික ආකල්පයක් පිළිබිඹු කිරීමක් විය හැකි බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අවධාරණය කළේය.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, "විද්‍යාත්මක පර්යේෂණ නෞකාවක් බව කියන නෞකාවේ සංචාරය සඳහා චීන තානාපතිවරයා විසින් භූ දේශපාලනික සංදර්භයක් ආරෝපණය කිරීම විසින්ම එම සංචාරයේ අරමුණ පැහැදිලි" වූ බවයි.
"ශ්‍රී ලංකාවේ අසල්වැසියා පිළිබඳ එතුමාගේ අදහස් එතුමාගේම රට හැසිරෙන ආකාරය අනුව සකස් වී ඇතුවා විය හැක. ඉන්දියාව එයිට වඩා බෙහෙවින් වෙනස් බව අපි එතුමාට සහතික කර සිටිමු." ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ටුවිටර් පනිවිඩ මාලාවක් නිකුත් කරමින් පෙන්වා දුන්නේය.
කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ විනිවිද නොපෙනෙන සුළු බව සහ ණය පදනම් කරගත් න්‍යාය පත්‍ර මේ වන විට විශේෂයෙන්ම කුඩා රටවලට විශාල අභියෝගයක් බවයි. මෑත කාලීන වර්ධනයන් අනතුරු ඇඟවීමක් බවද එහි දැක්විණි.
ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය මිස අනවශ්‍ය පීඩනය හෝ තවත් රටක න්‍යාය පත්‍රයන් ඉටු කරන අනවශ්‍ය මතභේද නොවන බවද ඉන්දීය තානාපති කාර්යාලය අවධාරණය කළේය.
ඉන්දු - චීන මත ගැටුම් ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙසේද?
කොළඹ විශ්වවිද්‍යාලයයේ ජාත්‍යන්තර සම්බන්ධතා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය හසිත කන්දඋඩහේවා කියා සිටියේ ජිනීවා සම්මුතීන් අනුව කිසිදු විදේශ දූත මෙහෙවරකට රටක අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත් විය නොහැකි බවයි. "ඔවුන් අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වෙන්නේ නැහැ. නමුත් දෙපාර්ශවය එකිනෙකාට චෝදනා කර ගන්නවා."
ඔහු සඳහන් කළේ, මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට දෙපාර්ශවයේම උදව් අවශ්‍ය බවයි.
"ඉන්දියාවේ උදව් ඕනේ ඉස්සරහට අවශ්‍ය බඩුටික ගන්න. අනික් පැත්තෙන් චීනයේ උදව් ඕනේ IMF එකට යන්න. ඉතින් මේ හින්ද ලංකාව උත්සාහ කරනවා අලුත් ජනාධිපතිවරයාගේ විදේශ ප්‍රතිපත්තිය තුළ මේ දෙකම තුලනය කර ගනිමින් කටයුතු කරන්න. අපි කියනවා මේකට හෙජින් විදේශ ප්‍රතිපත්තිය කියලා. (Hedging foreign policy) ඒකෙන් කියන්නේ අවස්ථානුකූලව වරප්‍රසාද දෙපාර්ශවයට ප්‍රදානය කරමින්, දෙපාර්ශවයේම හොඳ හිත දිනා ගනිමින් පවත්වා ගෙන යාමක් තමා කරන්න හදන්නේ. මේක තමා 2015 - 2017 කාලේදිත් කළේ."
ආචාර්ය හසිත කන්දඋඩහේවා වැඩිදුරටත් කියා සිටියේ "හැබැයි මේකේ ප්‍රතිඵලය වෙන්නේ;රටක් විදිහට ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ලොකු ගැටලු මතුවෙන්න පුලුවන් ඉස්සරහට. ඉස්සරහට මෙයිට වඩා දෙපාර්ශවයම ඉල්ලීම් කරයි. ඉතින් ඒ ඉල්ලීම් දෙකටම අපිට කන්දෙන්න වෙනවා."