එඩ්වඩ් ස්නෝඩන්ට රුසියානු පුරවැසිභාවය ලබා දෙයි

Edward Snowden

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, එඩ්වඩ් ස්නෝඩන්ට නැවත එක්සත් ජනපදයට යාමට අවශ්‍ය නමුත් ඔහු ආපසු පැමිණියහොත් ඔත්තු බැලීමේ චෝදනාවලට ඔහුට මුහුණ දීමට සිදුවෙයි.

එක්සත් ජනපදයේ ඔත්තු සේවා නිරීක්ෂණ මෙහෙයුම් තොරතුරු පිටතට ලබා දුන් එක්සත් ජනපද හිටපු බුද්ධි කොන්ත්‍රාත්කරුවෙකු වන එඩ්වඩ් ස්නෝඩන්ට රුසියානු පුරවැසිභාවය ලබා දී ඇත.

අදාළ නියෝගයට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් පසුගිය සඳුදා දින අත්සන් කරන ලදී.

39 හැවිරිදි ස්නෝඩන් 2013 දී මිලියන සංඛ්‍යාත ඇමරිකානුවන්ට බලපාන ජාතික ආරක්ෂක ඒජන්සියේ (NSA) වැඩසටහන් හෙළිදරව් කිරීමෙන් පසු එක්සත් ජනපදයෙන් පිටත්ව රුසියාවේදී ජීවත් විය.

එක්සත් ජනපදයේ ඔත්තු බැලීමේ චෝදනාවලට මුහුණ දෙන ස්නෝඩන් කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර නොමැත.

2020 දී, මිලියන ගණනක ඇමරිකානුවන්ගේ දුරකථන සංවාදවලට ඔත්තු බැලීම සඳහා NSA විසින් ජනතාව නොදැනුවත්ව සවන්දීම එක්සත් ජනපද අභියාචනාධිකරණය විසින් නීති විරෝධී බව තීන්දු කරන ලදී.

ස්නෝඩන් ඉන් පසුව කියා සිටියේ මෙම තීන්දුවෙන් තමා නිදොස් වූ බව හැඟෙන බවයි.

ස්නෝඩන් සාක්ෂි හෙලිදරව් කරන තුරු, එක්සත් ජනපදයේ ඉහලම බුද්ධි අංශ නිලධාරීන් ප්‍රසිද්ධියේ අවධාරනය කර සිටියේ NSA කිසි විටෙක දැන දැනම පුද්ගලික දුරකථන වාර්තා වලින් දත්ත රැස් කර නොතිබූ බවයි.

මෙම හෙළිදරව්වෙන් පසුව, නිලධාරීන් පැවසුවේ දේශීය ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේදී NSA හි නිරීක්ෂණ වැඩසටහන තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇති බවත්, ඊට සැන් ඩියාගෝහි අල්-ෂබාබ් සටන්කාමීන්ට ආධාර සැපයීම වෙනුවෙන් බාසාලි සයීඩ් මොලින්, අහමඩ් නසීර් තාලිල් මොහොමඩ්, මොහොමඩ් මහමුද් සහ සැන් දියේගෝ හි ඉසා ඩෝරේ යන ත්‍රස්තයන්ව නිතිය හමුවට ගෙන ඒමට කල මෙහෙයුම් ද ඇතුලත් බවයි.

පසුගිය සඳුදා දින රුසියානු රාජ්‍ය පුවත් ඒජන්සිය විසින් ස්නෝඩන්ගේ නීතීඥ ඇනටොලි කුචේරෙනා ව උපුටා දක්වමින් පවසා සිටියේ තම සේවාදායකයා කිසි විටෙක රුසියානු හමුදාවේ සේවය කර නොමැති බවයි, එබැවින් පසුගිය සතියේ ජනාධිපති පුටින් විසින් ප්‍රකාශයට පත් කරන ලද අර්ධ බලමුලු ගැන්වීමේ කොටසක් ලෙස ඔහුව කැඳවනු නොලැබෙන බවයි.

වැඩෙන මහජන විරෝධය මධ්‍යයේ යුක්රේනයේ සටන් කිරීම සඳහා හමුදා සංචිතකරුවන් 300,000 ක් බඳවා ගැනීමට අවශ්‍ය බව රුසියානු බලධාරීහු පවසති.

විපක්ෂ රුසියානු මාධ්‍යවල වාර්තා කරන්නේ මිලියනයක් දක්වා ජනතාව කැඳවිය හැකි බවයි.