ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉම්රාන් ඛාන්: පාකිස්ථානයේ අගමැති කමින් දැවී ගිය ක්‍රිකට් වීරයා
ඉම්රාන් ඛාන් යනු දේශපාලනඥයෙක් බවට පත් වූ හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් තරුවකි. ඔහු පකිස්ථාන ඉතිහාසයේ විශ්වාසභංගයකින් නෙරපා හරින ලද පළමු අගමැති බවට පත්විය.
ඔහු 2018 ජූලි මාසයේදී තේරී පත් වූයේ දූෂණයට එරෙහිව සටන් කිරීමට සහ ආර්ථිකය යහමඟට ගැනීමට පොරොන්දු වෙමිනි. එහෙත් එම පොරොන්දු ඉටු නොවූ අතර ලෝකයේ දෙවන විශාලතම මුස්ලිම් රට වන පකිස්ථානය මූල්‍ය අර්බුදයකට ගොදුරු විය.
2022 මාර්තු අග වන විට ක්‍රමයෙන් ඔහුගේ පාර්ලිමේන්තු බහුතරය අහිමි වූ අතර විපක්ෂය විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළේය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් සහ හදිසි මැතිවරණයක් කැඳවීමෙන් ඛාන් එම පියවර මඟ හැරීමට උත්සාහ කළ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බවට තීන්දු කළේය.
අප්‍රේල් 10 වැනි දින විශ්වාසභංගයට ඡන්දය ප්‍රකාශ කෙරුණු අතර මන්ත්‍රීවරුන් 342 කින් යුත් මන්ත්‍රී මණ්ඩලයෙන් ඉම්රාන් ඛාන්ගේ විරුද්ධවාදීන්ට ඡන්ද 174ක බහුතරයක් ලැබීම නිසා ඔහු පරාජයට පත් විය.
න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ පකිස්ථානයේ තිරය පිටුපස තීරණාත්මක හස්තයක් වූ පකිස්ථාන හමුදාවේ ප්‍රසාදය ද ඔහුගෙන් ගිලිහී ඇති බවට වාර්තා වී තිබුණි.
ඉම්රාන් ඛාන් බලාපොරොත්තු වූයේ කුමන්ත්‍රණ සහ හමුදා පාලන ඉතිහාසයක් ඇති පකිස්ථානයේ වෙනත් කිසිදු අගමැතිවරයකු සම්පූර්ණ නොකළ, පස් අවුරුදු ධුර කාලයක් දැරීමයි.
ඔහු කියා සිටියේ ඇෆ්ගනිස්ථානය, රුසියාව සහ චීනය සම්බන්ධයෙන් වන ඔහුගේ ප්‍රතිපත්ති නිසා තම දේශපාලන විරුද්ධවාදීන් පාලන තන්ත්‍රයේ වෙනසක් ඇති කිරීමට එක්සත් ජනපදය සමඟ හවුල් වෙමින් සිටින බවයි. එහෙත් ඔහු මේ පිළිබඳ කිසිදු තහවුරු කළ හැකි සාක්ෂියක් ඉදිරිපත් නොකළ අතර ඇමරිකාව එම විදේශ මැදිහත්වීම් පිළිබඳ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය.
හිටපු අගමැති තවමත් සැලකිය යුතු මහජන සහයෝගයක් ලබා සිටියි. ඔහු ධුරයෙන් නෙරපා හරින ලද රාත්‍රියේ දස දහස් ගණනක ජනතාවක් පාකිස්ථාන වීදි පුරා දකින්නට ලැබුණි.
පාකිස්ථානයේ ත්‍රස්ත විරෝධී නීති යටතේ ඛාන්ට චෝදනා එල්ල වන බවට අගෝස්තු මාසයේදී නිවේදනය කිරීමෙන් පසුව ඔහුගේ ආධාරකරුවන් නැවත වරක් ඔහුට සාධාරණය ඉටු කරන බවට ප්‍රතිඥා දී ඇත. ඒ, තම සමීපතම සහායකයෙකු රඳවා තබාගෙන වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් ඔහු පොලිසියට සහ අධිකරණයට එරෙහිව කරන ලද චෝදනා මත පදනම් කරගනිමිනි.
වෙනස් නායකයෙක්
2018 දී ජනප්‍රිය තරුවක් වූ ඛාන් "නව පකිස්ථානයක්" පිළිබඳ දර්ශනයක් මවාපාමින් වසර ගණනාවකට පසුව අනෙකුත් ප්‍රධාන පක්ෂ අභිබවා බලයට පත් විය.
හිටපු ක්‍රිකට් නායකයකු වූ ඔහු දරිද්‍රතාවයට එරෙහි ප්‍රතිසංස්කරණවාදියෙකු ලෙස පෙනී සිටිමින්, ධනය බෙදී යන "ඉස්ලාමීය සුබසාධන රාජ්‍යයක්" ගොඩනැගීමේ ඔහුගේ සිහිනය ගැන කතා කළේය. ඔහු රටේ බදු ක්‍රමය සහ නිලබල ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම වැනි පොරොන්දු ලබා දුන්නේය.
එහෙත් ඒ වෙනුවට, උද්ධමනය ඉහළ ගියේය. පකිස්ථානු රුපියල කඩා වැටී රට ණය බරින් ඉතිරී ගියේ ය. ඛාන් ආර්ථිකය වැරදි ලෙස හසුරුවා ඇති බවට විවේචන දසතින් එල්ල වන්නට පටන් ගත්තේය.
ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) උපකාර ලබා නොගන්නා බවට ප්‍රතිඥා දුන් නමුත් ණය ගෙවීමේ අර්බුදයක් විසඳීම සඳහා ඩොලර් බිලියන 6 ක ණය සහන පැකේජයක් ගැන සාකච්ඡා කරන්නට සිදුවිය.
ජාත්‍යන්තර වශයෙන් පකිස්ථානයේ වඩාත්ම ප්‍රසිද්ධ චරිත වලින් එකක් වන 69 හැවිරිදි ඛාන් තම ප්‍රසිද්ධිය, ඡන්ද බවට පත් කර ගැනීමට වසර ගණනාවක් වෙහෙස විය.
ඔහු 1996 දී ඔහුගේ පාකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂය ආරම්භ කළ නමුත් එය ඉහළට ආවේ 2013 මහ මැතිවරණයේ දී ය.
වසර පහකට පසු දෝලනය වූ විශාල ඡන්ද ප්‍රමාණයකින් ඔහුව බලයට පත්විය .
සෘජුව තේරී පත් වූ ජාතික සභා ආසන 272 න් හරි අඩකට වඩා හිමි පන්ජාබ් පළාතේ නවාස් සහ ෂෙබාස් ෂරීෆ්ගේ බල ප්‍රදේශ තුළ PTI පක්ෂය විශාල ජයග්‍රහණ ලබා ගත්තේය.
ඛාන් "වෙනස්" අපේක්ෂකයෙකු ලෙස සලකනු ලැබූ අතර, පැරණි දේශපාලන ක්‍රමය ගැන කලකිරී සිටින ඡන්දදායකයින් සමඟ නව පිරිසිදු දේශපාලන පන්තියක් බිහි කරන බවට පොරොන්දු විය.
පකිස්ථාන හමුදාවේ ප්‍රියතම අපේක්ෂකයා ලෙස ද ඔහු පුළුල් ලෙස සැලකෙන අතර, ඔහුගේ ප්‍රතිවාදීන්ට එරෙහිව මතය හැරවීමට එය ද මැදිහත් වූ බවට චෝදනා තිබේ. එහෙත් දෙපාර්ශවය ම එය ප්‍රතික්ෂේප කරයි.
බොහෝ නිරීක්ෂකයින් දැන් පවසන්නේ ඔහුගේ ලොකුම ගැටලුව වූයේ 1947 නිදහසින් පසු පකිස්ථානය ආධිපත්‍යය දැරූ ජෙනරාල්වරුන්ගේ සහයෝගය ඔහුට අහිමි වීම බවයි.
පකිස්ථානයේ ඇතැම් මූලික මට්ටමේ ගැටලු විසඳීමට උත්සාහ කළ සිවිල් නායකයන් අතීතයේ දී විවිධ ගැටුම් වලට මුහුණ දී තිබේ.
PTI නායකයාට දේශපාලන මිතුරන් ද හිඟ විය. "රාජවංශික දේශපාලනය" පිරිසිදු කිරීම වෙනුවට, විරුද්ධවාදීන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වන අතර, ඔහුගේ පාලන සමයේදී දූෂණ චෝදනා මත බොහෝ දෙනෙකු සිරගත කරන ලදී. මේ නිසා ඔහුගේ විරුද්ධවාදීන් ඔහුව ඉවත් කිරීමට එක්සත් විය.
රාත්‍රී සමාජශාලාවල සෙල්ලක්කාරයෙක්
1952 දී සිවිල් ඉංජිනේරුවෙකුට දාව උපන් ඉම්රාන් ඛාන් සහ ඔහුගේ සහෝදරියන් හතර දෙනා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර, ලාහෝරයේ ඔවුන්ට වරප්‍රසාද වලින් ආඪ්‍ය ළමා කාලයක් තිබුණි.
මෙම කාලයේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වූ ඔහුගේ දක්ෂතා කැපී පෙනෙන්නට පටන් ගත් අතර එය ඔහුට 1992 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් අවසන් වූ දශක දෙකක් පුරා දිවෙන කීර්තිමත් ජාත්‍යන්තර ජීවිතයකට මඟ පෑදීය.
තමා කිසි විටෙකත් මත්පැන් පානය කර ඇතැයි ප්‍රතික්ෂේප කරන නමුත්, ඔහු තරුණ අවධියේදී ලන්ඩන් රාත්‍රී සමාජශාලාවල සෙල්ලක්කාරයකු ලෙස කීර්තියක් ලබා සිටියේය.
ඔහු 1992 දී පාකිස්ථානය ජයග්‍රහණය කරා ගෙන ගිය පසු ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් ඔහු, තම මව සිහිවීම පිණිස පිළිකා රෝහලක් සඳහා ඩොලර් මිලියන ගණනක් අරමුදල් රැස් කළේය.
පරිත්‍යාගශීලිත්වය සඳහා වූ එම ප්‍රවේශය ඔහුට දේශපාලනය සඳහා දොරටුවක් විය.
ඔහුගේ පෙනුම සහ කීර්තිය නිසා ඔහු ජාත්‍යන්තර මාධ්‍යවල පවා අවධානය දිනා ගත්තේය.
1995 දී එනම්, වයස අවුරුදු 43 දී, ඔහු 21 හැවිරිදි බ්‍රිතාන්‍ය සම්භවයක් ඇති ජෙමීමා ගෝල්ඩ්ස්මිත් සමඟ විවාහ විය. ඇය එවකට ලොව ඉහළ පෙළේ ධනවතෙකු වූ ශ්‍රීමත් ජේම්ස් ගෝල්ඩ්ස්මිත්ගේ දියණිය යි. මෙම විවාහය පිරිමි ළමයින් දෙදෙනෙකු බිහි කළ නමුත් එය 2004 දී දික්කසාදයකින් කෙළවර විය.
ඊට වසරකටත් අඩු කාලයක දී එනම්, 2015 දී මාධ්‍යවේදී රෙහාම් ඛාන් සමඟ දෙවන වරටත් අතිනත ගැනුනි. හිටපු බීබීසී කාලගුණ නිවේදිකාවක වන ඇය චෝදනා කරන්නේ ඔහුගේ ආධාරකරුවන් ඇයට හිරිහැර කළ බවත්, තම මතක සටහන් ලියා ඇති බවත්ය.
ඛාන් 2018 දී නැවතත් රහසිගතව මෙන් විවාහ විය. පස්දරු මවක් වන ඔහුගේ තෙවැනි බිරිඳ බුෂ්රා වට්ටෝ ඔහුගේ අධ්‍යාත්මික උපදේශිකාව ලෙස හැඳින්වුණි. නිරීක්ෂකයින් පවසන්නේ ඔහුගේ ඉස්ලාම් භක්තිය පෙන්වීම සඳහා එය ඉවහල් වූ බවයි.
'තාලිබාන් ඛාන්'
දේශපාලනඥයෙකු ලෙස ඉම්රාන් ඛාන් ප්‍රසිද්ධියේ ලිබරල්වාදය වෙනුවෙන් පෙනී සිටියි. නමුත් ඒ සමඟම ඉස්ලාමීය සාරධර්ම සහ බටහිර විරෝධී හැඟීම්වලට සහාය දක්වයි.
ඔහුගේ ධුර කාලයේ දී පකිස්ථානයේ ඉස්ලාමීය සටන්කාමීත්වයේ සැළකිය යුතු නැගීමක් දක්නට ලැබෙන අතර ආගමික අන්තවාදීන් එම කාලයේදී ඔවුන්ගේ ස්ථාවරත්වය ශක්තිමත් කර ගෙන ඇත.
ඔහු තාලිබාන්වරුන් කෙරෙහි අනුකම්පාව දක්වන අයෙකු ලෙස විවේචනයට ලක්ව ඇති අතර විරුද්ධවාදීන් ඔහුව "තාලිබාන් ඛාන්" ලෙස හංවඩු ගසා ඇත. 2020 දී ඔසාමා බින් ලාඩන් ආගම වෙනුවෙන් දිවි පිදූවකු ලෙස හැඳින්වීම ඊට හේතු විය.
පාකිස්ථානය "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට" අකමැති වුවද බටහිර රටවල දිගුකාලීන මිත්‍ර රාජ්‍යයක් ලෙස ඔහුගේ නායකත්වය යටතේ චීනය සමඟ සබඳතා ශක්තිමත් කර ගත්තේය. 2022 මුලදී රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් පැවති එක්සත් ජාතීන්ගේ ඡන්දයේ දී පාකිස්ථානය ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
ඔහුගේ පාලන කාලය තුළ පාකිස්ථානයේ ඓතිහාසික ප්‍රතිවාදියා වන අසල්වැසි ඉන්දියාව සමඟ ගැටුම් වැඩි වූයේ නැත.
ඔහු කළ සාර්ථක දෑ නැතිවා ම නොවේ.
පාකිස්ථානයේ කොවිඩ් වාර්තාව දකුණු ආසියාවේ හොඳම වාර්තාව වන අතර දරිද්‍රතාවය පිටුදැකීමේ වැඩසටහනක් ද ඉහළ ප්‍රගතියක් ලබා ඇත.
පළාත් දෙකකට ගෝලීය සෞඛ්‍ය සේවා ලබා දීම ඇතැම් විට ඔහුගේ වඩාත්ම කැපී පෙනෙන ජයග්‍රහණය විය හැකිය. එය 2023 අග වන විට පැවැත්වීමට නියමිත මැතිවරණවලදී ඔහුට වාසියක් විය හැකි නමුත් ඊට පෙර මැතිවරණ පවත්වනු ලැබිය හැක.