ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලංග්‍යා වෛරසය;නැගෙනහිර චීනයේ පුද්ගලයින් 35 දෙනෙකුට ආසාදනය වෙයි
සතුන් මඟින් පැතිරෙන නව වෛරසයක් නැගෙනහිර චීනයේ පැතිරෙමින් පවතින අතර දැන් එය සැලකිය යුතු ප්‍රමාණයක ජනතාවකට වැළඳී තිබේ.
නව ලන්ග්‍යා හෙනිපාවෛරසය (LayV) ෂැන්ඩොං සහ හෙනාන් පළාත්වල පුද්ගලයන් 35 දෙනෙකුට වැළඳී තිබුණි. උණ, තෙහෙට්ටුව සහ කැස්ස වැනි රෝග ලක්ෂණ ඔවුන් අතර දකින්නට ලැබී තිබේ.
ඔවුන්ට වෛරසය වැළඳී ඇත්තේ සතුන්ගෙන් බවට විශ්වාස කෙරේ. මිනිසුන් හරහා LayV පැතිරෙන බවට සාධක නොමැත.
පර්යේෂකයන්ට මෙය හමුවී ඇත්තේ කුඩා ක්ෂීරපායි මෞල නමැති ඉත්තෑවන්ට හා මීයන්ට නෑකම් කියන සත්ත්ව වර්ගයක් තුළිනි.
ඒ සම්බන්ධයෙන් චීනය, සිංගප්පූරුව සහ ඕස්ට්‍රේලියාවේ පර්යේෂකයන් විසින් ලියන ලද වාර්තාවක් මෙම මාසයේ New England Journal of Medicine නමැති ජර්නලයේ ප්‍රකාශයට පත් කර තිබේ.
සිංගප්පූරුවේ Duke-NUS වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂකයකු වූ වැන්ග් ලින්ෆා, චීන රජයේ පුවත් සේවයක් වන ග්ලෝබල් ටයිම්ස් වෙත පැවසුවේ, මෙතෙක් සොයාගෙන ඇති LayV රෝගීන් මාරාන්තික හෝ ඉතා බරපතල තත්ත්වයක පසු නොවන බැවින් "බිය විය යුතු නොමැති" බවයි.
කෙසේ වෙතත්, වැන්ග් පැවසුවේ, ස්වභාවධර්මයේ පවතින බොහෝ වෛරස් මිනිසුන්ට ආසාදනය වීමේදී අනපේක්ෂිත ප්‍රතිඵල ලබා දෙන බැවින් අවධානයෙන් සිටිය යුතු බවයි.
විද්‍යාඥයින් පැවසුවේ, ඔවුන් පරීක්‍ෂා කළ මෙම සතුන්ගෙන් 27% ක LayV වෛරසය තිබී සොයා ගත් බවත්, පැතිරීම වැඩි වශයෙන් ඔවුන් හරහා සිදුවිය හැකි බවත් ය. පරීක්ෂා කළ බල්ලන්ගෙන් 5%කට සහ එළුවන්ගෙන් 2%කට ද මෙය වැළඳී තිබුණි.
තායිවානයේ රෝග පාලන මධ්‍යස්ථානය ඉරිදා පැවසුවේ එය LayV හි පැතිරීම කෙරෙහි "දැඩි අවධානය" යොමු කරන බවයි.
LayV යනු සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය හැකි සතුන්ගෙන් බෝවන (zoonotic) වෛරස් ප්‍රභේදයේ හෙනිපාවෛරස් වර්ගයට අයත් එකකි.
සූනොටික් වෛරස් ඉතා සුලබ නමුත් කොවිඩ් වසංගතය ආරම්භයේ සිට ඒ වෙත වැඩි අවධානයක් ලැබී ඇත.
එක්සත් ජනපදයේ රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථානය පැවසුවේ මිනිසුන්ට වැළඳෙන බෝවන රෝග හතරකින් තුනක්ම සතුන්ගෙන් පැමිණෙන බවට විද්‍යාඥයන් සොයාගෙන ඇති බවයි.
වනජීවී සූරාකෑම සහ දේශගුණික විපර්යාස වැඩි වීමත් සමඟ මෙවැනි රෝග වැඩි වැඩියෙන් ලොව පැතිරෙනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය මීට පෙර අනතුරු අඟවා තිබුණි.
ඇතැම් සූනොටික් වෛරස් මිනිසුන්ට මාරාන්තික විය හැක. ආසියාවේ සතුන් සහ මිනිසුන් අතර වරින් වර පැතිර යන නීපා වෛරසය සහ ඕස්ට්‍රේලියාවේ අශ්වයන්ගෙන් සොයා ගත් හෙන්ඩ්‍රා වෛරසය ඊට උදාහරණ වේ.
මෙම සතුන් ගෙන් පැතිරෙන තවත් හෙනිපාවයිරසයන්, වවුලන් සහ මීයන් තුළින් සොයාගෙන ඇත.