රුසියානු සයිබර් කල්ලියක හැකර්වරයෙකුව සිටිබව කැනේඩියානු ජාතිකයෙක් පිළිගනියි

තමා රුසියානු සයිබර් අපරාධ කණ්ඩායමක ඉහළ මට්ටමේ හැකර්වරයෙකු ලෙස කටයුතු කළ බව කැනේඩියානු රජයේ හිටපු තොරතුරු තාක්ෂණ සේවකයෙකු පිළිගෙන ඇත.

කැනඩාවේ කියූබෙක්හි සෙබස්තියන් වැශොං-ඩෙජාඩින් එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාහි අධිකරණයක දී මෙලෙස වරද පිළිගත්තේ ය.

තිස්හතර හැවිරිදි ඔහු, එක්සත් ජනපදයේ සමාගම්, නගර සභා, රෝහල්, පාසල්, සහ විශ්වවිද්‍යාලවලට සයිබර් ප්‍රහාර එල්ලකළ නෙට්වෝකර් නම් රැන්සම්වෙයා සංවිධානයට අනුබද්ධව කටයුතු කර ඇත.

ඔහුව අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඩොලර් මිලියන 27ක් (පවුම් මිලියන 22.2ක්) වටිනා බිට්කොයින් ඔහු සතුව තිබී පොලිසිය සොයා ගැනුණි.

මෙම නඩුව රුසියානු සයිබර් අපරාධ කණ්ඩායමක් සඳහා සේවය කරන හැකර්වරයෙකු සාර්ථක ලෙස අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට හැකිවූ අවස්ථාවකට දුර්ලබ උදාහරණයකි.

එක්සත් ජනපද අධිකරණ ලේඛනවලින් ප්‍රකාශ කෙරෙන්නේ සෙබස්තියන් වැශොං යන නම භාවිතා කළ මෙම කැනේඩියානු ජාතිකයා නෙට්වෝකර්හි ඉහළම ආදායම් ලැබූ සාමාජිකයකු බව යි.

පොලිසිය රැස් කරන ලද සාක්ෂිවලින් පෙනී යන්නේ, 2020 අප්‍රේල් සහ දෙසැම්බර් අතර සමයේ දී ඔහු කැනේඩියානු සමාගම් 17කට සහ ලොව පුරා තවත් ආයතන රැසකට සයිබර් ප්‍රහාර එල්ල කිරීමේ ජාවාරමක නිරත වී ඇති බව යි.

නෙට්වෝකර් සංවිධානය සේවාවක් ලෙස රැන්සම්වෙයා සපයන අපරාධ ව්‍යාපාරයක් ගෙනගියේ ය. ඔවුන් සිය හානිකර මෘදුකාංග සහ කප්පම් ඉල්ලීමට යොදා ගන්න‍ා වෙබ් අඩවිය තමන් හා අනුබද්ධ හැකර්වරුන් වෙත ලබාදුන්නේ ය.

සංවිධානයේ නායකයෝ රුසියානු භාෂාවෙන් අන්තර්ජාලය හරහා සන්නිවේදනය කරන අතර, තමන්ගේ හානිකර මෘදුකාංග රුසියානු හෝ ස්වාධීන රාජ්‍යයන්ගේ පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයන් වන පැරණි සෝවියට් රටවල පරිගණක පද්ධතිවලට ආසාදනය නොවීමට වගබලා ගනිති.

ඉහළ වටිනාකමක් ඇති ගොදුරු හඳුනාගැනීමට සහ රැන්සම්වෙයා භාවිතයෙන් සයිබර් පහරදීම් සිදුකිරීමට වැශොං-ඩෙජාර්ඩින් වැනි අනුබද්ධිතයන් වගබලා ගනියි.

වින්දිතයෙකු කප්පම ගෙවීමෙන් පසු, හානිකර මෘදුකාංග සංවර්ධකයින් සහ අනුබද්ධිත හැකර්වරුන් කප්පම් මුදල බෙදාගනිති. වින්දිතයා කප්පම ගෙවීම ප්‍රතික්ෂේප කළහොත්, ඔහුගේ පුද්ගලික දත්ත අන්තර්ජාලය පුරා විකුණා මුදල් ලබාගනු ලැබේ.

2021 ජනවාරි මාසයේ දී, එක්සත් ජනපදය නෙට්වෝකර් සයිබර් අපරාධ කණ්ඩායම පිළිබඳව විමර්ශනයක් ආරම්භ කිරීමෙන් පසුව වැශොං-ඩෙජාර්ඩින් කැනඩාවේ දී අත්අඩංගුවට ගනු ලැබ පිටුවහල් කෙරුණි. ඉන් අපරාධකරුවන්ගේ මෙහෙයුම බිඳ වැටුණු අතර අනුබද්ධිතයන්ගේ තොරතුරු සමුදායක් අනාවරණය විය.

නෙට්වෝකර් සමූහයට අනුබද්ධිතයන් ඇතුළුව සාමාජිකයින් 100ක් පමණ සිටින බවත්, ඔවුන් වින්දිතයන්ගෙන් අවම වශයෙන් ඩොලර් මිලියන 40ක් කප්පම් ලෙස ලබාගෙන ඇති බවත් එයින් හෙළිවිය.

එක් අවස්ථාවක කොවිඩ්-19 එන්නතක් නිපදවීමට උත්සාහ කරන එක්සත් ජනපද විශ්වවිද්‍යාලයයකින් මෙම කණ්ඩායම ඩොලර් මිලියන 1.14ක මුදලක් කප්පම් ලෙස ලබාගෙන තිබුණි.

2020 සැප්තැම්බර් මාසයේ දී ඩුසල්ඩෝෆ් විශ්වවිද්‍යාල සායනයට නෙට්වෝකර් සයිබර් ප්‍රහාරයක් එල්ල වූ අතර, එනිසා රෝගියෙකු ප්‍රතිකාර සඳහා වෙනත් රෝහලකට මාරු කිරීමෙන් එම රෝගියා මරණයට පත්වීමට ද ඔවුන් දායක වූ බව සැලකේ.

වින්දිතයින්ගේ ආසාදිත පරිගණකවල තිරයේ "Hi! Your files are encrypted by NetWalker." ("හායි, නෙට්වෝකර් විසින් ඔබේ තොරතුරු ආකේතනය කරන ලදී") යි පණිවිඩයක් දිස්වේ.

"අපගේ ආකේතන ඇල්ගොරිතම ඉතා ශක්තිමත් වන අතර, ඔබේ ලිපිගොනු සුරක්ෂිතව පවතියි. ඔබට ඒවා නැවත අවශ්‍ය නම් අපි පවසන පරිදි කටයුතු කර විකේතන මෘදුකාංගය ලබා ගන්න. අපට මෙය හුදෙක් ව්‍යාපාරික ගනුදෙනුවක් පමණි."

පොලිසිය වැශොං-ඩෙජාර්ඩින්ගේ නිවසේ තිබී පරිගණක සහ දත්ත ගබඩා කිරීමේ උපාංග දුසිම් ගණනක්, දළ වශයෙන් කැනේඩියානු ඩොලර් මිලියන 35ක් (ඇමරිකානු ඩොලර් මිලියන 27, යූරෝ මිලියන 22ක්) වටිනා බිට්කොයින් 719ක්, සහ කැනේඩියානු ඩොලර් 790,000ක මුදලක් අත්අඩංගුවට පත්ව ඇත.

මෙම හැකර්වරයා කැනඩාවේ රාජ්‍ය කටයුතු සහ රාජ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ හිටපු තොරතුරු තාක්ෂණ උපදේශකයෙකි.

ඔහු 2010 සිට විවිධ රාජ්‍ය දෙපාර්තමේන්තු සඳහා සේවය කළ බව ඔහුගේ ලින්ක්ඩ්-ඉන් පිටුවේ දැක්වෙන අතර, සයිබර් ආරක්ෂණ සිදුවීම්වලට ප්‍රතිචාර දැක්වීමේ විශේෂඥතාවක් ඇති බව ද දැක්වේ.

ඔහු පරිගණක වංචාවකට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවකට සහ ආරක්ෂිත පරිගණකයකට හානි කිරීම හා බැඳි කප්පම් ඉල්ලීමේ චෝදනාවකට තමා වරදකරු බව පිළිගෙන තිබේ.

තවත් චෝදනා දෙකක් විභාග නොකිරීමට අධිකරණය එකඟ වී තිබේ.

ඉදිරි දිනක දී ඔහුට දඬුවම් නියම කෙරෙනු ඇති අතර, වසර 10ක සිරදඬුවමකට ලක්වීමේ ඉඩකඩක් තිබේ.