හැරී කුමරු සහ මේගන් ජුබිලි උත්සවවල දී අවධානයක් නොලබා සිටීමේ උත්සාහයක

Prince Harry with Savannah Phillips and Mia Tindall in the Major General's office overlooking The Trooping of the Colour on Horse Guards Parade

ඡායාරූප මූලාශ්‍රය, GoffPhotos

ඡායාරූප ශීර්ෂ වැකිය, රැජිණගේ ජුබිලි උත්සව සඳහා හැරී කුමරු මේගන් සමග නැවත එක්සත් රාජධානියට ගොස් සිටියි

සසෙක්ස්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය, රැජිණගේ ප්ලැටිනම් ජුබිලිය සැමරුම් උත්සවයේ පළමු දිනයේ දී කිසිවෙකුගේ වැඩි අවධානයක් නොලබා සිටීමට උත්සාහ දරන ආකාරයක් දක්නට ලැබිණි.

ජුබිලි සති අන්තය සඳහා හැරී කුමරු සහ මේගන් එක්සත් ජනපදයේ සිට එංගලන්තය බලා පැමිණීම ඇතැමුන් විසින් සලකනු ලැබුවේ ළඟ එන කුණාටුවක් මෙනි.

රණ්ඩු සරුවල් ඇතිවනු ඇතැ යි අපේක්ෂා කෙරිණි. රාජකීයයන් පවා හානි සිදුවනු ඇතැ යි බියෙන් පසුවීය. එහෙත් මහජන අවධානය දැඩිව ලබන දෙපළක් මෙසේ කිසිදු අවධානයක් නොලබා සිටීම පුදුමයට කරුණක් වුණි.

ඔවුන් සැමරුම් පෙළපාලි නැරඹුවේ රාජකීය පවුල එක්රැස් වන බකිංහැම් මාලිගාවේ බැල්කනියේ සිට හෝ රථ පෙළපාලියේ ගමන් කරමින් නොව, හුදෙක් ජනේලයකිනි.

ඔවුන් එක්සත් රාජධානියේ ගුවන්තොටුපොළ වෙත පැමිණි විට ඡායාරූපවලට පෙනී සිටීමෙන් වැළකුණි. රැජිණ ඔවුන් සඳහා පුද්ගලික ගුවන් තොටුපොළට එවා තිබූ කාර් රථවල නැගී සැඟවීම රට තුළට පැමිණියේ ය.

Prince Harry and Meghan, Duchess of Sussex seen in the back of a car in London o n2 June, 2022

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ආරංචි මාර්ග පවසන ආකාරයට, හැරී කුමරු සහ මේගන්ට පුද්ගලික ගුවන්තොටුපළෙන් පිටවීම සඳහා රැජිණ විසින් කාර් රථවල එවා තිබේ. ඔවුහු රහසේම ඒවායින් පැමිණි ඇති අතර, තමා වෙත අවධානය යොමු නොවීමට වග බලාගත්හ

70-වසරක් රාජ්‍ය පාලනය සමරන රැජිණට මෙය ඉතා වැදගත්ම සති අන්තය විය. එබැවින්, ජුබිලි උත්සව අංගයන් වෙතින් අවධානය වෙනතකට ඇදගන්නා ආකාරයේ යමක් සිදුනොවීමට වගබලාගන්නැ යි ඔවුනට අනතුරු ඇඟවීම් ලැබී තිබුණා විය හැකි ය.

එසේම, ඍජුව සබයට නොපැමිණ, කඩතුරා පිටුපස සිටින්නැ යි ඔවුන්ට උපදෙස් දී තිබුණා වීමේ වියහැකියාව ඉතා ඉහළ ය.

මෙය බිඳුණු බැමි අලුත්වැඩියා කිරීමේ උපක්‍රමයක් ලෙස ඇතැමුන් දකියි. 2020 දී සිය රාජකීය භූමිකාවෙන් ඉවත්ව ගිය සසෙක්ස්හි ආදිපාද යුවළ දැන් විශාල උත්සවයකට සහභාගීවීමට නැවත පැමිණ සිටිති.

එක් හැවිරිදි ඔවුන්ගේ දියණිය ලිලිබෙට් පසුගිය සතිය වනතෙක්ම ඇගේ මීමිත්තණිය වූ රැජිණ හමුවී තිබුණේ නැත.

සම්මුඛ සාකච්ඡා නොමැතිව, ප්‍රසිද්ධ පෙනීසිටීම්වලට සහභාගී වීමෙන් තොරව සිදුවූ මෙම නිහඬ ප්‍රවේශය, පවුල් සබඳතා සහ මාළිගාව සමග වූ සබඳතා යළි ස්ථාපනය කිරීමේ ඇරඹුමක් විය හැකි ය.

බකිංහැම් බැල්කනිය "රාජකාරියේ නියුතු රාජකීයයන්" සඳහා - එනම්, හැරී කුමරු, මේගන්, සහ ඇන්ඩෲ කුමරු හැර - පමණක් විවෘත වූ නමුත්, දැනට කැලිෆෝනියාවේ වසන මේ රාජකීයයන් දෙදෙනා පවුලේ අනෙකුත් හමුවන්ට සහභාගී විය.

පසුගිය බ්‍රහස්පතින්දා ඇතැමුන් සැක මුසු මවිතයට පත්කරමින්, ඇන්ඩෲ කුමරුට කොවිඩ් වැළඳී ඇති බවට පුවතක් පැමිණි අතර, මෙනිසා ඔහු ශාන්ත පාවුළු දේවස්ථානයේ පවත්වනු ලබන තුති පිදීමේ දේව මෙහෙයට සහභාගී නොවන බව දන්වනු ලැබුණි. නමුත් හැරී කුමරු සහ මේගන් එහි සිටිනු ඇත.

බකිංහැම් මාලිගයේ අභිලාෂය හැරී කුමරු සහ මේගන් කිසිවෙකුගේ අවධානය නොලබා එයට සහභාගී වීම නම්, එය පහසු නොවනු ඇත. මන්ද, ඔවුන් වෙත එල්ලවන මහජන උනන්දුවෙන් සහ පුවත් සිරස්තලවලින් ඔවුනට ගැලවීමක් නැත.

Meghan Markle with Savannah Phillips and Mia Tindall in the Major General's office overlooking Trooping the Colour on Horse Guards Parade

ඡායාරූප මූලාශ්‍රය, GoffPhotos

ඡායාරූප ශීර්ෂ වැකිය, සැවානා ෆිලිප්ස් සහ මියා ටින්ඩල් සමග මේගන් රැළිය නරඹමින්

ජුබිලි උත්සවයේ බොහෝ අංගයන් කෙතරම් වැදගත් වුවත්, දෙපළ ජාතිය, නියෝජනය, ප්‍රසිද්ධිය, සහ ධනය යන මාතෘකා අලලා පුවත් මවන්නට හැරී සහ මේගන්ට හැකි ය. උත්සාහයක් නොදරාම පුවත් උල්පත්බවට පත්වීමට ඔවුහු සමත්ව සිටිති.

ඔවුන් නිසැකවම සමාජය තුළ ධනාත්මක හා ඍණාත්මක ප්‍රතිචාර ගොඩනගයි. ඔවුන් වෙත පිරිස ආකර්ෂණය වන්නා සේම, විකර්ෂණය ද වේ. එවන් ගති ලක්ෂණ විශාල මාධ්‍ය අවධානයක් ගෙනඑන අතර, ඒ අළලා මැවෙන පුවත් විසින් ආලෝකය දෙසට සලබයන් ඇදී එන්නාක් මෙන් වෙබ් අඩවි වෙත ජනතා ආකර්ෂණය රැගෙන එනු ඇත.

මෙම සතියේ YouGov කළ සමීක්ෂණයකට අනුව, තරුණ වයසේ පසුවන්නන් හැරී කුමරුට සහ මේගන්ට සහයෝගය දැක්වීමට වැඩි ඉඩක් ඇත. නමුත් සමස්තයක් ලෙස ගත්කල, මෙම යුවළට එක්සත් රාජධානියේ බහුතර මහජන අනුකම්පාව අහිමිවී ඇති අතර, ඔවුන්ගේ ජනප්‍රියත්වය අවම වාර්තාගත‍ මට්ටමක පවතියි. නමුත් සෑම කෙනෙකුටම මතයක් තිබේ.

ජුබිලි සති අන්තය ගෙවී යැමත් සමග සසෙක්ස් ආදිපාද පවුල කෙරෙහි වැඩි අවධානයක් යොමුවනු ඇත.

ඔවුන් රැජිණ මුණගැසෙනු ඇතැ යි අපේක්ෂා කෙරේ. එනමුත් එවැනි ඕනෑම හමුවීමක් පුද්ගලික ලෙස සලකනු ලබනු ඇති අතර, තොරතුරු ද මාධ්‍යයට හෙළි නොවනු ඇත.

ඔවුන්ගේ මේ පැමිණීම අනාගත සිදුවීමක පෙරනිමිත්තක් ලෙස සැලකුවහොත්, මාධ්‍ය වෙත ‍මුහුණදීම අතින් නම් ඔවුන්ගේ හැසිරීම ඉතා හොඳ උපාය මාර්ගයකැ යි කිව හැකි ය.