රික්ත බෝම්බයක් හෝ තාපජ අවියක් යනු කුමක්ද? රුසියාව යුක්රේනයේ දී ඒවා භාවිතා කර තිබේ ද?

රුසියාව යුක්රේනයේ සටන්වල දී තාපජ අවියක් හෝ රික්ත බෝම්බයක් භාවිතා කළ බවට මානව හිමිකම් කණ්ඩායම් සහ එක්සත් ජනපදයේ යුක්රේන තානාපතිවරයා විසින් චෝදනා එල්ලවී තිබේ.

මාර්තු 7 දා යුක්රේනයේ සුමි කලාපයේ ඔක්ටිර්කාහි තෙල් පිරිපහදුවක් විනාශ කළ පිපිරීම තාපජ ආයුධයක් නිසා සිදුවූවක් බවට චෝදනා එල්ල වී ඇතිමුත් මෙය තවමත් ස්වාධීනව තහවුරුකර නොමැත.

ඊසානදිග යුක්රේනයේ පාසලකට රුසියාව ප්‍රහාරයක් එල්ල කළ බවට ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් චෝදනා කරන අතර, තහනම් කරන ලද අවියක් වන පොකුරු බෝම්බ ද භාවිතා කර ඇති බවට චෝදනා එල්ලවී තිබේ.

ඉහළ උෂ්ණත්වයක් සහිත පිපිරීමක් ඇති කිරීම සඳහා අවට වාතයෙන් ඔක්සිජන් ඇදගන්නා රික්තක ආයුධ භාවිතය මානව හිමිකම් සංවිධාන විසින් පොදුවේ හෙළා දකියි.

නමුත් මෙම ආයුධ මොනවාද? BBC ආරක්ෂක වාර්තාකරු ෆ්‍රෑන්ක් ගාඩ්නර් මේවා "රුසියානු අවි ගබඩාවේ ඇති න්‍යෂ්ටික නොවන බලවත්ම අවිය" ලෙස විස්තර කර ඇත. ඇත්ත වශයෙන්ම ඒවාට එතරම් බිය වන්නේ ඇයි?

රික්ත බෝම්බ ක්‍රියා කරන්නේ කෙසේ ද?

'තාපජ බෝම්බ' ලෙස ද හැඳින්වෙන රික්ත බෝම්බ අදියර දෙකකින් ක්‍රියා කරයි.

පළමු අදියර වන්නේ පිපිරුමක් මඟින් ඉන්ධන වළාකුලක් මෙන් විසිරුවා හැරීම යි. එයට ගොඩනැගිලිවලට හෝ අවට පිහිටි වස්තූන්ට ඇතුළුවිය හැකි ය. දෙවන අදියරේ දී විශාල ගිනි බෝලයක් ඇති කරමින් මෙම වලාකුළ දැල්වෙන අතර, පිපිරුම අවට පරිසරයෙන් ඔක්සිජන් ඇදගනිමින් කම්පන තරංගයක් ඇති කරයි.

රෝයල් යුනයිටඩ් සර්විසස් ආයතනයේ පර්යේෂක ජස්ටින් බ්‍රොන්ක් මෙසේ පවසයි: "සාමාන්‍ය බෝම්බයක බරින් 30%ක් ඉන්ධනත්, 70%ක් ඔක්සිකාරකත් වන විට, තාපජ බෝම්බයක අන්තර්ගතය මුළුමනින්ම ඉන්ධන පමණයි. එය භාවිතා කරන්නේ වාතයේ ඇති ඔක්සිජන්. එබැවින් ඒවා ඒවායේ ප්‍රමාණයට සාපේක්ෂව වඩාත් බලවත්."

මෙහි බලපෑම් මොනවාද?

තාපය හා පීඩන බලපෑම් ඉතා බරපතල වන අතර, ආරම්භක පිපිරීමට හසුවන ඕනෑම අයෙකු ක්ෂණයෙන් වාෂ්ප වී යයි. අවට ප්‍රදේශයේ සිටීමෙන් එයට හසුවූ ඕනෑම කෙනෙකුට කම්පන තරංගය හේතුවෙන් දරුණු අභ්‍යන්තර තුවාල සිදුවේ.

"ඒවායින් මූලික වශයෙන්ම මරණය සිදු කරන්නේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් හා පෙනහළු පුපුරා යන තරම් අතිශය බලවත් පිපිරුම් තරංගයක් නිර්මාණය කිරීමෙන්," බ්‍රොන්ක් පවසයි.

"මෙම කම්පන තරංගය කුඩා අවකාශයන්ටත් රිංගා යනවා. එබැවින් එය භූගත බංකර හෝ ගුහා වැනි ස්ථානවල සිටින පුද්ගලයින්ට එරෙහිව විශේෂයෙන් මාරාන්තික යි. ඒවා අංශක දහස් ගණනක අතිශය ඉහළ උෂ්ණත්වයක් ඇති කරන අතර බිහිසුණු පිළිස්සුම් සිදු කරනවා."

යුක්රේනයේ දී ඒවා භාවිතා කර ඇති බවට සාක්ෂි තිබේ ද?

එක්සත් ජනපදයේ යුක්රේන තානාපති ඔක්සානා මාකරෝවා එක්සත් ජනපද කොන්ග්‍රස් සාමාජිකයින් හමුවීමෙන් පසුව මාධ්‍යවේදීන්ට පැවසුවේ රුසියාව "අද රික්ත බෝම්බයක් භාවිතා කර ඇත," යන්න යි.

"රුසියාව යුක්රේනයට සිදුකිරීමට උත්සාහ දරන විනාශය විශාල යි," ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

යුක්රේන දේශසීමා ආසන්නයේ දී CNN වාර්තාකරුවෙකු විසින් ලබාගන්නා ලද වීඩියෝ පටයකින් TOS-1 බහුවිධ රොකට් විදිනයන් රුසියානු නගරයක් වන බෙල්ගොරොද් අසලට ප්‍රවාහනය කරන ආකාරය දැක්වේ.

TOS-1 ඒකක, රුසියාවේ යුක්රේන දේශ සීමාවට ආසන්නයේ පිහිටි වෙනත් ප්‍රදේශවලට ද ප්‍රවාහනය කෙරෙන බව පෙන්වන තහවුරු නොකළ තවත් වීඩියෝ කිහිපයක් ද සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතියි.

කෙසේ වෙතත්, මෙම ප්‍රකාශයන්හි සත්‍යතාව තහවුරු කිරීමට BBCයට හැකිවූයේ නැත.

ඒවා භාවිතා කර ඇති අනෙකුත් ස්ථාන මොනවා ද?

මෙම ආයුධ 1960 ගණන්වල සිට රුසියානු සහ බටහිර හමුදා විසින් භාවිතා කර තිබේ. අල්කයිඩා සෙබළුන් සැඟවී සිටි බවට සැලකෙන ඇෆ්ගනිස්ථානයේ ගුහා සංකීර්ණවලට පහරදීමට ද එක්සත් ජනපදය මූලික වශයෙන් ඒවා භාවිතා කර තිබේ.

රුසියාව මෙම ආයුධ චෙච්නියාවේ දී භාවිතා කළ බව වාර්තාවීමත් සමග හියුමන් රයිට්ස් වොච් විසින් 2000 දී රුසියාව හෙළා දකින ලදී. වඩාත් මෑතක දී ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වාර්තා කළේ, රුසියානු රජය සහ සිරියානු රජය සිරියාවේ කැරලිකරුවන්ට එරෙහිව තාපජ බෝම්බ භාවිතා කළ බව යි.

චෙච්නියාවේ දී සිදුකළ පරිද්දෙන්ම එවැනි ආයුධ විශාල යුක්රේන නගරවල නාගරික පරිසරය තුළ භාවිතා කරන්නේ නම් සිවිල් වැසියන්ට සිදුවන හානිය අතිශයින් දරුණු විය හැකි ය.