ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නොබෙල් සාම ත්‍යාගය: මේ එහි වඩාත්ම ආන්දෝලනාත්මක ජයග්‍රාහකයින් සයදෙනා ද?
2021 වසරට නොබෙල් සාම ත්‍යාගයේ ජයග්‍රාහකයා මේ සිකුරාදා පස්වරු 3ට ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය. මින්පෙර කීප වරක දීම සිදුවූවා සේම, මෙවර ද එය මතභේදාත්මක තත්ත්වයකට මුල්වනු ඇති ද?
ලොව ඉතා ගෞරවාන්විත සම්මානයන්ගෙන් එකක් ලෙස සැලකෙන නොබෙල් සාම ත්‍යාගය, ස්වීඩන් ජාතික විද්‍යාඥයෙකු, ව්‍යාපාරිකයෙකු, සහ දානපතියෙකු වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් විසින් නිර්මාණය කෙරුණු සම්මාන සයෙන් එකකි.
නමුත් සාම ත්‍යාගයේ ඇති දේශපාලනික ස්වභාවය හේතුවෙන් එය අනෙක් ක්ෂේත්‍රයන් පහට සාපේක්ෂව වැඩි වශයෙන් මතභේදයන්ට තුඩු දී ඇත. එවැනි ඉතා ආන්දෝලනාත්මක අවස්ථා කීපයක් සහ සැලකිය යුතු අන්දමේ ප්‍රමාද දෝෂයක් මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
බැරැක් ඔබාමා
හිටපු එක්සත් ජනපද ජනපති බැරැක් ඔබාමා 2009 දී නොබෙල් සාම ත්‍යාගය දිනාගත් විට ඔහු ද ඇතුළුව බොහෝදෙනෙක් විස්මයට පත්වූහ.
එම නිවේදනයට සිය පළමු ප්‍රතිචාරය වූයේ "[මම] මොකක් කළාට ද?" යන්න බව ඔබාමා ඔහු 2020 දී ලියූ "A Promised Land" නම් සිහිවටන සටහන් පොතේ පවා සඳහන් කළේ ය.
ත්‍යාගය ලබන විට ඔබාමා ජනපති තනතුරට පත්ව ගෙවීගොස් තිබුණේ මාස 9ක් පමණක් වූ අතර, ඔහු ත්‍යාගය සඳහා යෝජනා කිරීම අනවශ්‍ය ලෙස ඉක්මන් තීරණයක් බව විවේචකයෝ ප්‍රකාශ කළහ. කොටින්ම කියතොත්, ත්‍යාගය සඳහා නාමයෝජනා භාරදීමේ කාලය අවසන්ව තිබුණේ ඔබාමාගේ පදවි ප්‍රාප්තියෙන් දින 12කට පසුව ය.
නොබෙල් ආයතනයේ හිටපු අධ්‍යක්ෂක ගයිර් ලුන්ඩස්ටාඩ් 2015 දී BBCය වෙත අඟවා සිටියේ, එම ත්‍යාගය ප්‍රදානයට තීරණය කළ කමිටුව පසුව ඒ පිළිබඳ පසුතැවුණුබව යි.
ජනපති ඔබාමාගේ ධුර කාලයන් ද්විත්වය පුරාවටම එක්සත් ජනපද හමුදාවෝ ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ, සහ සිරියාවේ සටන්වල නිරත වෙමින් උන්හ.
යසර් අර්ෆත්
ඔස්ලෝ සාම ගිවිසුම සම්බන්ධයෙන් කටයුතු කිරීම නිසා, 1994 වසරේ දී ඊශ්‍රායලයේ අගමැති ඉසාක් රබීන් සහ ඊශ්‍රායලයේ විදේශ ඇමැති ෂිමෝන් පෙරේස් හා සමව දිවංගත පලස්තීන නායකයාට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුණි. 1990 දශකයේ දී ඊශ්‍රායල - පලස්තීන අර්බුදයට විසඳුමක් ලැබෙතැ යි බලාපොරොත්තු දල්වන්නට ඔස්ලෝ සාම ගිවිසුම සමත් විය.
ඉන්පෙර නොනිල සන්නද්ධ හමුදාවන්ට සම්බන්ධව සිටි අයෙකු වූ යසර් අර්ෆත්ට එම ත්‍යාගය පිරිනැමීමට ගත් තීරණය ඊශ්‍රායලයේත්, ඉන් එපිටත් බොහෝ විවේචනයන් මතු කිරීමට සමත් විය.
ඇත්ත වශයෙන්ම අර්ෆත්ගේ නාමයෝජනාව නොබෙල් කමිටුව තුළ පවා කලබල ඇති කළේ ය.
කමිටුවේ සාමාජිකයෙකු වූ කාරේ ක්‍රිස්ටියන්සන් නම් නෝවීජියානු ජාතික දේශපාලඥයා එයට විරෝධය දැක්වීමක් ලෙස කමිටුවෙන් ඉල්ලා අස්විය.
අවුං සාන් සූ චී
මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව දියත් කළ අවිහිංසාවාදී අරගලය හේතුවෙන්, මේ බුරුම ජාතික දේශපාලඥයා 1991 දී ඉතා කීර්තිමත් අයුරින් නොබෙල් සාම ත්‍යාගය දිනා ගත්තා ය.
නමුත් ඉන් වසර 20කටත් වැඩි කාලයකට පසු, එක්සත් ජාතීන්ගේ සංවිධානය "ජන සංහාරයක්" ලෙස හඳුන්වන ලද මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වන සමූල ඝාතනයන් සහ බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට විරෝධය පෑමට අපොහොසත් වීම හේතුවෙන්, අවුං සාන් සූ චී දැඩි විවේචනයන්ට ලක්විය.
ඇය ලැබූ සම්මානය අවලංගු කරන්නැ යි ඉල්ලීම් ද ඉදිරිපත් වූ නමුත්, නොබෙල් ත්‍යාගයන් නියාමනය කෙරෙන නීති මඟින් එවැනි පියවරකට ඇති ඉඩකඩ අහුරා තිබුණි.
අබී අහ්මඩ්
අසල්වැසි එරිත්‍රියාව සමග පැවති දීර්ඝකාලීන දේශසීමා ගැටුම විසඳීමට ගත් උත්සාහය හේතුවෙන් 2020 වසරේ දෙසැම්බරයේ දී ඉතියෝපියානු අගමැති අබී අහ්මඩ්ට නොබෙල් සාම ත්‍යාගය පිරිනමනු ලැබුණි.
නමුත් එය නිවැරදි තීරණයදැ යි යන ගැටලුව පැන නැගුණේ ඉන් වසරක් ගෙවී වැඩි කලක් යන්නටත් මත්තෙනි.
ඉතියෝපියාවේ සිවිල් යුද්ධයක් පවතින ටිග්‍රේ ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයන්ට අබී අහ්මඩ් එරට හමුදාව පිටත්කර හැරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවේ විවේචන මතුවිය.
එහි ඇතිවූ සටන්වලින් දහස් ගණනක් වැසියන් මරුමුවට පත්වූ අතර, එක්සත් ජාතීන් එය 'සිත් බිඳවන මහා විනාශයක්' ලෙස හැඳින්වීය.
වංගරි මාතයි
2004 දී නොබෙල් ත්‍යාගය දිනාගත් මෙම දිවංගත කෙන්යානු ජාතික සමාජ ක්‍රියාකාරිනිය එම ත්‍යාගය දිනූ ප්‍රථම අප්‍රිකානු කාන්තාව බවට පත්වූවා ය.
නමුත් HIV සහ Aids පිළිබඳව ඇය විසින් පලකෙරුණු අදහස් කීපයක් ප්‍රසිද්ධියට පත්වීමෙන් පසු, ඇගේ එම ජයග්‍රහණය විවේචක දෑස්වල දැඩි නිරීක්ෂණයට භාජනය විය.
HIV වෛරසය කළු සම ඇති ජනතාව විනාශ කිරීම සඳහාම කෘත්‍රිමව නිපදවන ලද ජෛව අවියක්බව ඇඟවෙන අදහස් වංගරි මාතයි විසින් ප්‍රකාශ වී තිබුණි.
ඇගේ ප්‍රකාශය තහවුරු කිරීමට විද්‍යාත්මක සාධක නොමැත.
හෙන්රි කිසින්ජර්
1973 දී එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් හෙන්රි කිසින්ජර් නොබෙල් සාම ත්‍යාගය දිනාගත්තේ ය.
නමුත් කාම්බෝජයට බෝම්බ හෙලීමේ රහසිගත යුද ව්‍යාපාරයන්ට සහ දකුණු ඇමරිකාවේ මිනීමරු මිලිටරි පාලන තන්ත්‍රයන්ට සහයෝගය දැක්වීම වැනි, එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ වඩාත්ම මතභේදාත්මක පරිච්ඡේදයන්ට සහභාගී වූ මිනිසෙකුට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම බොහෝ දෙනාගේ විමතියට සහ අප්‍රසාදයට හේතු විය.
කිසින්ජර්ට සාම ත්‍යාගය පිරිනමනු ලැබුණේ වියට්නාම් යුද්ධය සඳහා සටන් විරාමයක් ගිවිස ගැනීමේ දී සිදුකළ කාර්යභාරය වෙනුවෙන්, උතුරු වියට්නාමයේ නායක ලේ ඩුක් තෝ හා සමව ය.
මෙයට විරෝධය දැක්වීමක් වශයෙන් නොබෙල් ත්‍යාග කමිටුවේ සාමාජිකයින් දෙදෙනෙකු ඉල්ලා අස්වූ අතර, නිව් යෝක් ටයිම්ස් පුවත්පත එම සම්මානය "නොබෙල් සංග්‍රාම ත්‍යාගය' ලෙස හඳුන්වමින් සිය විරෝධය පලකළේ ය.
හිස් අතින් ගිය ගාන්ධි
නොබෙල් ත්‍යාගය එහි ඇතැම් අඩුලුහුඬුකම් නිසා ද ප්‍රසිද්ධියක් උසුලයි.
සාම ත්‍යාග කාණ්ඩය තුළ, ඇතැම් විට වඩාත්ම කැපී පෙනෙන හිස්තැන මහත්මා ගාන්ධිගේ ය.
ඔහුගේ නම මෙම ත්‍යාගය සඳහා කීප විටෙකම යෝජනා වුව ද, විසිවැනි ශතවර්ෂයේ දී අවිහිංසාවාදී ව්‍යාපාරයේ සංකේතයක් බවට පත්වූ මේ ඉන්දියානු ජාතික දේශපාලඥයා වෙත එය කිසිදා ප්‍රදානය නොකෙරුණි.
2006 දී, සාම ත්‍යාගලාභීන් තෝරාගන්නා කමිටුවේ එවකට සභාපතිව සිටි නෝර්වීජියානු ජාතික ඉතිහාසඥ ගයිර් ලුන්ඩස්ටාඩ් ප්‍රකාශ කළේ ගාන්ධිගේ කාර්යභාරයට පිළිගැනීමක් නොමැතිවීම නොබෙල් ඉතිහාසයේ සිදුවූ ලොකුම පැහැරහැරීම බව යි.