බලුමස් කෑම ගැන රටක ජනපති අගමැතිගෙන් අසයි!

ඡායාරූප මූලාශ්‍රය, AFP
ශ්‍රී ලංකාවේදී නම් සුනඛයා යනු ගෘහාශ්‍රිත සුරතල් සතෙකි. නමුත් ඇතැම් රටවල ආහාර සංස්කෘතිය තුළ සුනඛ මාංශ අනුභවය තවමත් සිදුවේ.
චීනය, දකුණු කොරියාව සහ පිලිපීනය එවැනි රටවල් අතර සිටිති.
දකුණු දිග චීනයේ වාර්ෂික බලු මස් සැණකෙළියක් ද පැවැත්වේ. යුලින් පළාතේ දින දහයක් පුරා පැවැත්වෙන මෙම සැණකෙළිය මතභේදයට තුඩුදී ඇති මාතෘකාවකි.
එහිදී සුනඛයන් සහ බළලුන් දස දහසක් පමණ ආහාර පිණිස මරා දැමෙන බව වාර්තා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ද බලුමස් ජාවාරමක් පවතින බවට සැකය පළකරමින් මීට වසර කීපයකට පෙර (2014) පුවත් වාර්තා පළවී තිබුණි.
මුව මස් වලට සුනඛයන්ගේ මස් මිශ්‍ර කොට විකිණීමේ සැක කටයුතු ජාවාරමක් පිළිබඳව හම්බන්තොට වන ජීවී නිලධාරීහු තොරතුරු විමසමින් සිටියහ.
එවකට, හම්බන්තොට වන අඩවි ආරක්ෂක ඩබ්ලිව්.ඒ.ගුණතුංග බීබීසියට පැවසුවේ සුනඛයන් මරා මුව මස් සමඟ මිශ්‍ර කරන ලද බවට සැක කෙරෙන ස්ථානයක් මුර සංචාරයකදී සොයා ගත් බවය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
තායිවානය මෑතකදී බලු මස් ආහාරයට ගැනීම තහනම් කළේය.
දකුණු කොරියාව ද එවැනි ක්‍රියාමාර්ගයකට සැරසෙන බව අලුත්ම පුවතකින් පෙනී යයි.
අලුත්ම පුවත
තම රට තුළ බලුමස් පරිභෝජනය තහනම් කිරීමට පවතින ඉඩකඩ ගැන දකුණු කොරියාවේ ජනාධිපති මූන් ජේ-ඉන් අදහස් පළකර ඇති බව එම පුවතින් කියැවිණ.
කෙසේ නමුත් බලු මසට ඇති ඉල්ලුම දකුණු කොරියාව තුළ මෑත කාලයේදී පහත වැටී ඇත. බොහෝ කොරියානුවන් කිසිදා බලුමස් ආහාරයට ගෙන නොමැති බව පැවසෙති.
තත්ත්වය එසේ වී නමුදු, දකුණු කොරියාව තුළ තවමත්, සෑම වසරකම සුනඛයන් දශ ලක්ෂයක් පමණ මසට මරා දමන බව ඇස්තමේන්තු කර තිබේ.
මේ පිළිබඳව කතා බහට ලක්වී ඇත්තේ දකුණු කොරියානු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවැති සාකච්ඡාවකදී ය.
තම රට තුළ සුනඛ මස් පරිභෝජනය තහනම් කිරීම සඳහා "විචක්ෂණශීලීව සලකා බැලීමට" කාලය එළැඹ ඇත්දැයි ජනාධිපති මූන් මෙම හමුවේ දී ප්‍රශ්න කළේය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
සුනඛ මසට පුර්ණ තහනමක් ගෙන ඒම කෙරෙහි මූන් ජනාධිපතිවරයාගෙන් අදහසක් මතුවූයේ ප්‍රථම වරටය. සුරතලයට සුනඛයන් ඇතිකිරීම ගැන දැඩි ඇල්මක් පවතින පුද්ගලයෙකු ලෙස ජනාධිපති මූන් ප්‍රකටය.
ඔහු මෙම අදහස පල කර ඇත්තේ, අතහැර දමන ලද සතුන් ආරක්ෂා කිරීම සඳහා දකුණු කොරියාවේ ක්‍රියාවට නැගීමට සැරසෙන නව සැලැස්මක් පිළිබඳව ඔහු දැනුවත් කෙරෙන අතරතුරය.
බල්ලන් සහ බළලුන් ඝාතනය
බල්ලන් සහ බළලුන් කෘර ලෙස ඝාතනය කිරීම දකුණු කොරියාව දැනටමත් තහනම් කර ඇති නමුත් බලු හෝ බළල් මාංශ පරිභෝජනය තහනම් කොට නැත.
කෙසේ නමුත් මෑතක සිට සුනඛ මාංශ පරිභෝජනයෙන් ජනතාව ඈත්වී සිටින අතර මෙවැනි සතුන් සුරතලයට ඇතිකිරීමේ ප්‍රවනතාවයක් දක්නට ලැබේ.
මෙහි ප්‍රතිඵලයක් වශයෙන් දකුණු කොරියාවේ පිහිටි විශාලතම සුනඛ මස් වෙළඳ පොළ තුනක් මේ වන විට වසා දමා තිබේ.
2020 දී අන්තර්ජාතික ආයතනයක් මගින් (Nielsen for Humane Society International) සිදුකරනු ලැබූ සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ දකුණු කොරියානුවන්ගෙන් 84%ක් කිසිදා බලුමස් අනුභව කොට නොමැති බවය. ඉදිරියේදී ද බලුමස් නොකන බව එම පිරිස පවසා ඇත.
එම සමීක්ෂණයෙන් තහවුරු වී ඇති තවත් කරුණක් වන්නේ රට තුළ බලුමස් තහමනමක් පැනවීම කෙරෙහි ජනගහනයෙන් 59%ක ප්‍රමාණයක් කැමැත්තෙන් සිටින බවය.
සුනඛ මාංශ පරිභෝජනය තහනම් කරන ලෙස දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලා සිටින සත්ත්ව ආරක්ෂණ සංවිධාන, ජනාධිපති මූන් පළකර ඇති අදහස් පිළිබඳව සතුට පළකර සිටිති.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
තායිවානය
මාංශ පරිභෝජනය සඳහා සුනඛයන් සහ බළලුන් ඝාතනය කිරීම තහනම් කරමින් තායිවානයේ පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කළේ 2017දී ය.
එම නීතිය කඩකළ අයෙකු විශාල දඩයකට හෝ දෙවසරක සිර දඬුවමකට යටත් වනු ඇති අතර ඔහුගේ නම සහ ඡායාරූපය ප්‍රසිද්ධ කෙරෙනු ඇත.
මාංශ සඳහා සුනඛයන් සහ බළලුන් මැරීම තහනම් කරමින් නව පනත සම්මත කරන ලද්දේ තායිවානයේ සත්ත්ව ආරක්ෂණ නීති තරකිරීම සඳහාය.
මෙවැනි නීතියක් ආසියාවේ සම්මත වූ ප්‍රථම අවස්ථාව මෙය බවට සැළකේ.
වසර පන්සීයක සම්ප්‍රදාය
මාංශ පරිභෝජනය සඳහා සුනඛයන් සහ බළලුන් ඝාතනය කිරීමට එරෙහිව ආසියානු කලාපයේ අනෙකුත් රටවලින්ද මෑතක සිට විරෝධතා මතුවී තිබුණි.
චීනය, දකුණු කොරියාව ඇතුළු ඇතැම් රටවල බලු මස් ආහාරයට ගැනීමේ සම්ප්‍රදාය වසර පන්සීයක් පමණ ඈතට දිව යන්නකි.
සනීපාරක්ෂක නොවන තත්ත්වයන් යටතේ ප්‍රවාහනය කරන, මරා දැමීමට නියමිත සුනඛයන්ට ආහාර සහ ජලය ලබා නොදෙන බවත් ඒ හේතුවෙන් පහසුවෙන් රෝග පැතිර යා හැකි බවත් සත්ත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයෝ පවසති.










