ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොවිඩ් 19: ගඳ-සුවඳ නොදැනීමට අලුත් ප්‍රතිකාරයක්!
කොවිඩ් 19ට ගොදුරු වීමෙන් අනතුරුව ගඳ-සුවඳ නොදැනීයාම හෝ එහි අඩුවක් දැනීම සඳහා ප්‍රතිකාරයක් වශයෙන්, නාස්පුඩු තුළට ලබාදෙන විටමින් A දියරය (Vitamin A nasal drops) යොදා ගැනීමේ හැකියාවක් පවතින බව එක්සත් රාජධානියේ පර්යේෂකයෝ පවසති.
මේ පිළිබඳව සති 12ක සායනික අත්හදා බැලීමක් ඊස්ට් ඇන්ග්ලියා විශ්වවිද්‍යාලය විසින් දියත් කරනු ලැබ තිබේ.
මෙම අත්හදා බැලීම සඳහා යොදා ගන්නා රෝගීන්ගෙන් ඇතැමුන්ට පමණක් විටමින් A ප්‍රතිකාරය ලබා දෙනු ලැබේ. ඉන් අනතුරුව රෝගීන් සියලු දෙනාගේම ගඳ-සුවඳ දැනීම විමර්ශනය කර බැලෙනු ඇත.
මේ අතරතුර ගඳ-සුවඳ දැනීම වෙනුවෙන් ඔවුන්ගේ මොළයේ පවතින ස්නායු, ස්කෑන් පරීක්ෂාවකට ලක් කෙරේ. එහිදී පරීක්ෂා කරනු ලබන්නේ කලින් හානියට පත්වී ඇති අදාළ ස්නායු විටමින් A ප්‍රතිකාරය මගින් යථා තත්වයට පත්වන්නේද යන වගයි.
සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවකදී වුවද ගඳ-සුවඳ දැනීම අඩුවීම හෝ වෙනස්වීම සිදුවිය හැකි නමුත් එය කොවිඩ් 19ට ගොදුරු වුවන් විසින් පෙන්නුම් කරනු ලැබූ ප්‍රධාන රෝග ලක්ෂණයක් විය.
කොවිඩ් 19 සුව වීමෙන් දෙසතියක අවෑමෙන් බොහෝ රෝගීන්ගෙන් මෙම තත්ත්වය ස්වභාවිකව ම පහව යන නමුත් ඇතැමුන්ට එය දීර්ඝ කාලීනව පවතී.
ලන්ඩනයේ ජීවත් වන, 29 හැවිරිදි ලීනා අල්නාදි කොවිඩ් 19ට ගොදුරු වූ කාන්තාවකි. රෝගය සුව වීමෙන් අනතුරුව ද ඇයගේ ගඳ-සුවඳ දැනීම යථා තත්ත්වයට පත්වූයේ නැත. මෙම තත්ත්වය වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වන්නේ parosmia නමිනි. එහිදී සිදු වන්නේ බොහෝ දේවලින් දැනෙන සාමාන්‍ය ගන්ධය වෙනස් වීමය.
උදාහරණයක් ලෙස දක්වතොත්, නල ජලයෙන් ඇයට දැනෙන්නේ දරාගත නොහැකි පිළිකුල් සහගත ගන්ධයකි. කොත්තමල්ලි සුවඳ ඇයට දැනෙන්නේ සුවඳ විලවුන් වර්ගයකින් ගෙනෙන සුවඳක් ලෙසිනි. ලීනාගේ ප්‍රියතම ආහාරයක්ව පැවති බිත්තර වලින් ගෙන එන්නේ පිළිස්සුනු රබර් ගන්ධයකි.
"ගඳ-සුවඳ හරියාකාරව දැනීම කෙතරම් වටිනා දායාදයක් ද කියල තේරෙන්නෙ ඒක අහිමි වුනදාට තමයි." ලීනා පැවසුවාය.
"එය අහිමි වීම නිසා මගේ ජීවිතය කඩා වැටුනා. මගේ කෑම වේලට ඒක තදින්ම බලපෑවා."
"සමහර කෑම වර්ගවලට මට ලංවෙන්නවත් බැහැ. ඒක හරිම වේදනාකාරී දෙයක්."
ජීවිතයට අලුත් ක්‍රම
ලීනාට මුහුණ දීමට සිදුවී ඇති මෙම රෝගී තත්ත්වය නිසා දියනෑම සහ දත් මැදීම වැනි එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය චර්යාවන් ද අතිශය පිළිකුල් සහගත වී තිබේ.
නමුත් ජීවිතයට අලුත් ක්‍රම සහ විධි යොදා ගැනීම මගින් යම් ප්‍රගතියක් ලබා ගැනීමට ලීනා සමත් වූවාය.
"ආහාරයට දෙහි ඇඹුල් හෝ මිරිස් ටිකක් මිශ්‍ර කර ගත්තම එයින් හොඳ සුවඳක් එනවා." තමන් සොයා ගත් ක්‍රමවේද කීපයක් ලීනා විස්තර කළාය.
"සමහර කෑමවලින් එන සුවඳ නිසා මට වමනයට එනවා. එහෙම නොවන කෑම වර්ග මොනවද කියල හොයාගෙන මම ඒවා ලැයිස්තුගත කළා."
"මගේ පෝෂණයට ප්‍රමාණවත් පරිදි ආහාර ලබා ගැනීමට මගේ කෑම වේල සහ වට්ටෝරුව නිර්මාණශීලීව වෙනස් කිරීමට වග බලා ගත්තා."
ආඝ්‍රාණය සහ විටමින් A
"විටමින් A දියර බින්දු කිහිපයක් නාස් පුඩු තුළට දැමීමෙන්, ගඳ-සුවඳ දැනීම සඳහා පණිවිඩ ගෙනයාමට මොලයේ පවතින මාර්ගයේ ක්‍රියාකාරිත්වය ඉහළ යනවද කියල සොයා බලන්නයි අපට අවශ්‍ය." ඉහත කී පර්යේෂණයේ ප්‍රධානියා වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නෝරිච් වෛද්‍ය විද්‍යාලයේ සහ එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවා පදනමේ ජේම්ස් පැජට් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කාල් ෆිල්පොට් පැවසීය.
"ආඝ්‍රාණ බුබුළු වල ප්‍රමාණයේ වෙනසක් ඇති වෙනවද කියල අපි පරීක්ෂා කරනවා. ඒ වගේම ආඝ්‍රාණ ස්නායු සහ මොළයේ ස්නායු එකිනෙක සම්බන්ධවන, නාස්පුඩු වල ඉහළ කොටසේ සිදුවන වෙනස්කම් පරීක්ෂාවට ලක්වෙනවා."
"ගඳ-සුවඳ හඳුනාගැනීම සඳහා මොලය තුළ පවතින කොටස් තුළ සිදුවන ක්‍රියාකාරකම් කෙරෙහිත් අපේ අවධානය යොමු කරනවා." මහාචාර්යවරයා විස්තර කළේය.
විටමින් A වලින් ඇති ප්‍රයෝජන:
- රෝග සහ ආසාදනයන්ට එරෙහිව සටන් කිරීම සඳහා සිරුර තුළ ප්‍රතිශක්තිය වර්ධනය කිරීම.
- ඇස් පෙනීම; විශේෂයෙන්ම අඩ අඳුරේදී පෙනීම පවත්වාගැනීම.
- සම සහ නාස්පුඩු ඇතුළු ඇතැම් අවයව වල පිටත වැස්ම නිරෝගිව තැබීම.
කිරි සහිත බොහෝ ආහාර වර්ගවල සහ ඇතැම් එළවළු වල මෙම විටමිනය බහුලව පවතී.
නමුත් පෙති සහ කරල් මාර්ගයෙන් අතිරේකව විටමින් A ලබා ගැනීමේදී ප්‍රමාණය ඉක්මවා එය ලබාගැනීම හානිකර විය හැකි බව සිහි තබාගත යුතුය.
- "මම අම්මව මරා ගත්තලු! අනේ අම්මේ මට සමා වෙන්න"
- කොරෝනා වෛරසය: "පදනමක් නැති උපදෙස් පිළිපදින්න එපා"
- චීනය දින හයෙන් රෝහලක් ඉදි කරන්නේ කෙසේද?
- කොරෝනාවෛරසය ගැන ඔබට ඇති ගැටලුවලට පිළිතුරු
- මුඛ ආවරණ පළඳින ලෙස දුන් උපදෙස් වෙනස් වුණේ ඇයි?
- කොරෝනා වෛරසය: "රෝග ලක්ෂණ මතුවෙන්න දින 24ක් දක්වා ගත විය හැකියි"
- කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ රෝග ලක්ෂණ මොනවා ද? ඔබ ආරක්ෂාවන්නේ කෙසේද?
- කොවිඩ් හැදුනොත් ස්නානය අගුණ ද?
- කොවිඩ් නිසා එක පාරම හුස්ම හිර වෙන්න පුළුවන්ද?