ලාභ ශ්‍රමය: පැල්පත් මැද ඉදිවූ Amazon ගබඩාව

Shacks are seen at an informal settlement next the new Amazon fulfilment centre, which is under construction at the RMSG Alamar Industrial Park, in Tijuana, Mexico September 7, 2021.

ඡායාරූප මූලාශ්‍රය, Omar Martínez

ඡායාරූප ශීර්ෂ වැකිය, ඡායාරූප ශිල්පී ඔමාර් මාර්ටිනේස් විසින් සිය කැමරාවට හසුකරගනු ලැබූ දර්ශනය

ඇතැමෙකුට මෙය ධනවාදයේ අසමතුලිතභාවය හුවා දැක්වෙන හොඳම ඡායාරූපය විය හැකිය.

මේ ඇමසෝන් (Amazon) ආයතනයට අයත් බෙදාහැරීමේ මධ්‍යස්ථානයකි. එම දැවැන්ත ගබඩාව ඉදිවී ඇත්තේ දරිද්‍රතාව ඉහවහා ගිය පැල්පත්වාසී ජන සමුහයක් මධ්‍යයේය.

ලෝකයේ ධනවත්ම සහ ගෝලීය වශයෙන් වඩාත්ම ව්‍යාප්ත වූ ව්‍යාපාරයක්, එදා වේල යන්තමින් පිරිමසා ගන්නා මිනිසාගේ අල්ලපු වත්තේ ඉදිවීම දෛවෝපගත සිද්ධියක් ලෙස ද ඇතැමෙකුට සිතෙන්නට හැකිය.

ඇමරිකානු ඩොලර් මිලියන 21ක් වැයකොට ඉදිකළ මේ බෙදාහැරීමේ සංකීර්ණය පිළිබඳව ට්විටර් සමාජ ජාලයේ බොහෝ දෙනා අතර කතාබහට ලක්වී තිබුණි. ධනවාදය කෙතරම් කුරිරුදැයි මෙයින් මොනවට පැහැදිලි වන බව ඇතැමුන් ලියා තිබුණි.

මෙය ඉදිවී ඇත්තේ මෙක්සිකෝවේ, ටිජුවානා ප්‍රදේශයේ ය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව උණුසුම් සංවාදයක් ගොඩනැගෙන්නට පටන් ගත්තේ ඡායාරූප ශිල්පී ඔමාර් මාර්ටිනේස් විසින් සිය කැමරාවට හසුකරගනු ලැබූ දර්ශනය බොහෝ දෙනා අතර හුවමාරුවීමෙන් අනතුරුවය.

41 හැවිරිදි ඔමාර් ජීවත් වන්නේ ද ටිජුවානා ප්‍රදේශයේම ය. මෙය එක්සත් ජනපදය හා මෙක්සිකෝව වෙන්කෙරෙන දේශසීමාවට නුදුරු ප්‍රදේශයකි.

"මම මේ ඡායාරුපය ගත්තේ මේ නගරයේ පවතින අසමානතාව පෙන්නුම් කිරීමේ අරමුණ ඇතිව. මගේ ඡායාරූපය නිසා සමාජයේ උණුසුම් සංවාදයක් ඇතිවී තිබීම ගැන මම සතුටු වෙනවා." ඕමාර් බීබීසීයට පැවසුවේය.

මෙම ප්‍රදේශය එතරම් ආරක්‍ෂිත නොවූ හෙයින් මෙම ස්ථානය ඡායරූපගත කිරීම දුෂ්කර කාර්යයක් වූ බව ඔමාර් ප්‍රකාශ කළේය. එබැවින් දුරක සිට ඩ්‍රෝනයක් ආධාරයෙන් කැමරාව ඉහළට යැවීමට ඔමාර් තීරණය කළේය.

"මීට යාබදව තියෙන්නේ වැසිකිලි අපද්‍රව්‍ය බැහැර කෙරෙන ඇල මාර්ගයක්. ඒ අවට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැවසෙනවා. ඒ නිසා ඒ තරම් ආරක්ෂා සහිත නැහැ."

Shacks are seen at an informal settlement next the new Amazon fulfillment center, which is under construction at the RMSG Alamar Industrial Park, in Tijuana, Mexico September 7, 2021.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ගෝලීය ධනවාදය

කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ, ගෝලීයකරණය පිළිබඳ අධ්‍යයන පීඨයේ සහකාර මහාචාර්යවරිය වන චාමෙන් චුවා මේ පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිකුත් කොට තිබිණි. එය මෙසේය.

"ටිජුවානා හි ඉදිවුණු නව බෙදාහැරීමේ මධ්‍යස්ථානය පවතින්නේ දේශීය වෙළෙඳපොළ වෙනුවෙන් නොවේ. අතිශයින් ශ්‍රම සූරාකෑමට ගොදුරුවන මෙක්සිකෝවේ කම්කරුවන් එහි සේවයේ යොදවා දේශ සීමාවෙන් එපිටට භාණ්ඩ යැවෙනු ඇත."

ලොස් ඇන්ජලීස් හි ලෝන්ග් බීච් ප්‍රදේශයේ වරාය සංකීර්ණය මෙම ප්‍රදේශයට ආසන්නයේ පවතින බවත් මෙම දැවැන්ත සමාගමේ වෙළෙඳාමෙන් 40%ක් පමණ සිදුකෙරෙන්නේ ඒ හරහා බවත් මහාචාර්යවරිය පවසන්නීය.

චීනය සහ ඇමරිකාව අතර වෙළෙඳ යුද්ධය උණුසුම් වූ දා පටන් ක්‍රියාත්මක වූ තීරුබදු හේතුවෙන් දෙරට අතර සෘජු භාණ්ඩ හුවමාරුව ඉතා මිල අධික තත්වයකට පැමිණියේය.

"විසඳුම මෙක්සිකෝව ද?" මහාචාර්යවරිය ප්‍රශ්න කළාය.

Shipping containers are unloaded from a ship at a container terminal at the Port of Long Beach-Port of Los Angeles complex, April 2021

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, චීනය සහ ඇමරිකාව අතර වෙළඳ යුද්ධය උණුසුම් වූ දා පටන්...

"එක්සත් ජනපදයට වඩා මෙක්සිකෝවේ කම්කරු ශ්‍රමය ඉතා ලාබයි." කැලිෆෝනියා-Irvine සරසවියේ, ආචාර්ය උපාධිය හදාරන ස්පෙන්සර් පොටිකර් පැවසීය. සිය ආචාර්ය උපාධිය සඳහා ඔහුගේ පර්යේෂණයට පාදක වී ඇත්තේ එක්සත් ජනපදය සහ මෙක්සිකෝව වෙන්කෙරෙන දේශසීමාවට අදාළව පවතින වෙළෙඳ ගනුදෙනු පිළිබඳවය.

ඔහු බීබීසීයට කියා සිටියේ එක්සත් ජනපදයේ කම්කරුවෙකුට පැයකට ඩොලර් 15ක වැටුපක් ගෙවද්දී මෙක්සිකෝවේ කම්කරුවෙකුගේ පැයක වැටුප ඩොලර් 2ත් 4ත් අතර ප්‍රමාණයකට සීමාවී ඇති බවය.

ඇමසෝන් ආයතනය ටිජුවානා හි ඉදිකළ බෙදාහැරීමේ මධ්‍යස්ථානය "ගෝලීය අසමානතාව" නියෝජනය කරන බවත් දේශ සීමාව දෙපස ම බෙදාහැරීමේ මධ්‍යස්ථාන ඉදිවීමේ ප්‍රවනතාවක් ඇතිවී තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

එරට මෙක්සිකෝ සිටි අගනුවරට නුදුරින් පිහිටි, ඇමසෝන් සමාගමට අයත් බෙදාහැරීමේ මධ්‍යස්ථානයක කම්කරුවන්ට නීතියෙන් අවසරය ලැබී ඇති පැය ගණන ඉක්මවා වැඩ කිරීම සඳහා බලහත්කාරයෙන් යොදවා ඇති බවත් කොවිඩ් 19 වැළඳුනු කම්කරුවන් සේවයෙන් පහ කිරීමට හෝ ඉල්ලා අස්වීමට බලකෙරෙන බවත් රොයිටර් විශේෂ වාර්තාවකින් හෙළිකර තිබුණි.

එක්සත් ජනපදය තුළ පවා පවතින තත්වය මතභේදයට තුඩු දී තිබේ. භාණ්ඩ බෙදාහැරීමේ ලබා දී ඇති කාලසීමාව ඉතා කෙටිවීම හේතුවෙන් ඇතැම් රියදුරන්ට මුත්‍රා කිරීමට සිදුවී ඇත්තේ වාහනය තුළ තබාගෙන සිටින ප්ලාස්ටික් බෝතල්වලට බව මෑතකදී වාර්තා විය.

දේශීය සංවර්ධනය

People walk near an informal settlement next the new Amazon fulfilment centre, which is under construction at the RMSG Alamar Industrial Park, in Tijuana, Mexico September 7, 2021.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, "ආර්ථිකය ප්‍රතිසක්‍රිය වී පළාතේ පවුල්වලට ශුභ සාධනය" - නගරාධිපති

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන විවේචන ප්‍රතික්ෂේප කරමින් ටිජුවානා හි නගරාධිපතිවරයා කියා සිටියේ මෙම බෙදාහැරීමේ මධ්‍යස්ථානය තම පලාතට සංවර්ධනය කැඳවාගෙන එන බවය.

මෙම ආයෝජනය හේතුවෙන් නව රැකියා අවස්ථා බිහිවන බවත් "ආර්ථිකය ප්‍රතිසක්‍රිය වී පළාතේ පවුල්වලට ශුභ සාධනය" ගෙන එන බවත් නගරාධිපති කාර්ලා රුයිස් මැක්ෆාර්ලන්ඩ් පැවසීය.

ඇමසෝන් සමාගම බීබීසීයට කියා සිටියේ තම ව්‍යාපාර මෙහෙයවන රටවල සහ ප්‍රජාවේ සංවර්ධනය වෙනුවෙන් තම සමාගම කැපවී සිටින බවය.

මෙම බෙදාහැරීමේ මධ්‍යස්ථානය මෙක්සිකෝවේ ඉදිකළ 11වැනි මධ්‍යස්ථානය බව ද ඇමසෝන් සමාගම තවදුරටත් පැවසීය.

"මෙක්සිකෝවට පැමිණීමෙන් පසුව අප රැකියා අවස්ථා 15,000කට වඩා රට තුළ බිහිකර තියෙනවා. දැන් ටිජුවානා මධ්‍යස්ථානයේ රැකියා අවස්ථා 250ක් ඇතිවෙනවා. තරඟකාරී වැටුපක් සහ ප්‍රතිලාභ සියලුම සේවකයන්ට ලබාදෙනවා." ඇමසෝන් සමාගම ප්‍රකාශ කළේය.