ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඇෆ්ඝනිස්ථානය: තාලිබාන් සංවිධානය යටතේ කෙතරම් අබිං ප්‍රමාණයක් නිෂ්පාදනය වී තිබේද?
තමන් අවසන් වරට ඇෆ්ඝනිස්ථානය පාලනය කළ සමයේ ඕපියම් (අබිං) සඳහා පොපි වගා කිරීම නවතා දැමූ බවත්, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වෙළෙඳාමට තිත තැබූ බවත් තාලිබාන් සංවිධානය ප්‍රකාශකර ඇත.
තාලිබාන් සංවිධානය මින් පෙර ඇෆ්ඝනිස්ථානය පාලනය කළ 2001 වසරේ දී එරට ඕපියම් පොපි වගාව සීඝ්‍රයෙන් කඩා වැටුන ද, අනතුරුව පැමිණි වසරවල දී තාලිබාන් පාලනය යටතේ තිබූ පළාත්වල ද නැවතත් පොපි වගාව වර්ධනය විය.
ඇෆ්ඝනිස්ථානයේ අබිං නිශ්පාදනය
ඕපියම් පොපි ශාකයේ කොටස් පිරිපහදු කිරීමෙන් හෙරොයින් ඇතුළු තදබල ඇබ්බැහිකාරක මත්ද්‍රව්‍ය කීපයක්ම නිපදවීමේ දී යොදාගැනෙන මූලික අමුද්‍රව්‍යය ලැබේ.
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයට (UNODC) අනුව, ලොව විශාලතම ඕපියම් නිෂ්පාදකයා ඇෆ්ඝනිස්ථානය ය. ලොව ඕපියම් සැපයුමෙන් 80%කටත් වඩා වැඩි ප්‍රමාණයක් වගා කෙරෙන්නේ එහි ය.
2018 වසරේ දී UNODC ඇස්තමේන්තුගත කළ අන්දමට, ඇෆ්ඝනිස්ථානයේ ආර්ථිකයට ඕපියම් වගාවෙන් ලබාදුන් දායකත්වය 11%ක් පමණ වේ.
ඕපියම් සම්බන්ධයෙන් තාලිබාන් හි ඉදිරි පියවර කුමක් ද?
තාලිබාන් සංවිධානය ඇෆ්ඝනිස්ථානයේ බලය අල්ලාගත් පසු එහි මාධ්‍ය ප්‍රකාශක වන සබිහුල්ලා මුජාහිද් මෙසේ පැවසීය: "අප මින් පෙර බලයේ සිටිය දී (මෙරට) මත්ද්‍රව්‍ය නිපදවීමක් සිදුවූයේ නැහැ."
තම සංවිධානය "ඕපියම් වගා කිරීම නැවතත් බිංදුවටම බස්සවන්නේයැ"යි කී ඔහු, එවිට හොර රහසේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම ද නවතින බව පැවසුවේ ය.
තාලිබාන් සංවිධානයේ 'මතට තිත' ඉතිහාසය
තාලිබාන් පාලනය යටතේ මුල දී ඕපියම් වගාව සැලකිය යුතු පරිමාණයෙන් වර්ධනය විය. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව 1998 දී හෙක්ටයාර 41 000ක් පුරා පැතිරී තිබුණු ඕපියම් වගාබිම් ප්‍රමාණය, වර්ෂ 2000 වන විට හෙක්ටයාර 64 000 දක්වා ඉහළගොස් තිබුණි.
මේ වගාබිම්වලින් බහුතරයක් පිහිටා තිබුණේ තාලිබාන් පාලනය යටතේ පිහිටි හෙල්මන්ඩ් දිස්ත්‍රික්කයේ වන අතර, ලොව නීතිවිරෝධී ඕපියම් නිෂ්පාදනයෙන් 39%ක ප්‍රමාණයක් එහි විය.
නමුත් 2000 වසරේ ජුලි මාසයේ දී සිය පාලන ප්‍රදේශයන් තුළ පොපි වැවීම තහනම් කිරීමට තාලිබාන් සංවිධානය පියවර ගත්තේය.
2001 වසරේ මැයි මාසයේ දී නිකුත් කෙරුණු එක්සත් ජාතීන්ගේ වර්තාවක, "තහනමක් පැනවීම මඟින්, තාලිබාන් සංවිධානය යටතේ පාලනය වන ප්‍රදේශවල සිදුවූ පොපි වගාව මුලිනුපුටා දැමීම සම්පූර්ණයෙන්ම පාහේ සාර්ථකබව නිරීක්ෂණය වී ඇතැ"යි දැක්විණි.
තාලිබාන් සංවිධානය විසින් පොපි වගාව තහනම් කිරීමෙන් අනතුරුව, 2001 සහ 2002 වසරවල දී ලෝකව්‍යාප්තව අත්අඩංගුවට ගැනුණු ඕපියම් සහ හෙරොයින් ප්‍රමාණයේ සැලකිය යුතු අඩුවක් දක්නට ලැබුණි.
කෙසේ නමුත්, මේ වන විට තත්ත්වය වෙනස්ව ඇත.
ඇෆ්ඝනිස්ථානයේ පැවති රජයේ පාලන ප්‍රදේශවල මෑතක් වන තුරුම පොපි වගාව සිදුවූමුත්, වගාබිම්වලින් විශාල ප්‍රමාණයක් පිහිටියේ තාලිබාන් විසින් පාලනය කරන ලද ප්‍රදේශවල ය.
උදාහරණයක් ලෙස, 2020 වසර වන විට පොපි වගාව සඳහා භාවිත වූ ගොවිබිම්වලින් වැඩිම ප්‍රමාණයක් පිහිටා තිබුණේ එවක තාලිබාන් පාලනය යටතේ පැවති දකුණුදිග ඇෆ්ඝනිස්ථානයේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේ ය.
තාලිබාන් සංවිධානය පොපිමලෙන් මුදල් උපයන්නේ මෙහෙම යි
ඕපියම් වගාව ඇෆ්ඝනිස්ථානය තුළ රැකියා අවස්ථා ඇතිකරන ප්‍රභවයන් අතරින් ප්‍රධාන ය. UNODC විසින් කරන ලද ඇෆ්ඝනිස්ථාන ඕපියම් සමීක්ෂණයට අනුව, 2019 වසරේ දී ඕපියම් නෙලීමේ කර්මාන්තය එරට 120 000ක් පමණ දෙනාට රැකියා අවස්ථාවන් උදාකර දී ඇත.
තාලිබාන් සංවිධානය ඕපියම් වගාව මත බදු පැනවීමෙන් ලාභ ලබන අතර, ඕපියම් පිරිසැකසුම සහ නීතිවිරෝධී ජාවාරම මඟින් ද වක්‍ර ආදායමක් ලබනබව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව කියයි. ඕපියම් ගොවියන්ගෙන් 10%ක වගා බද්දක් අයකර ගන්නා බව ද පැවසේ.
ඕපියම්වලින් හෙරොයින් නිපදවන රසායනාගාර වලින්ද, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය රහසේ ප්‍රවාහනය කරන ව්‍යාපාරිකයින්ගෙන් ද එලෙසම බදු අයකෙරේ.
නීතිවිරෝධී මත්ද්‍රව්‍යවලින් තාලිබානයට වාර්ෂිකව ලැබෙන ආදායම ඇ.ඩො. මිලියන 100 සිට 400 දක්වා විය හැකි බවට ඇස්තමේන්තුගත කර ඇත.
තලිබාන් සංවිධානයේ වාර්ෂික ආදායමෙන් 60%ක් මත්ද්‍රව්‍ය වෙළෙඳාම හරහා ඉපැයෙන බව, එක්සත් ජනපද අණදෙන නිලධාරී ජෙනරල් ජෝන් නිකොල්සන් 'ඇෆ්ඝනිස්ථානය ගොඩනැගීම සඳහා වන විශේෂ ඉන්ස්පෙක්ටර් ජෙනරල් (Sigar) වාර්තාවේ' සඳහන් කරයි.
එනමුත් ඇතැම් විශේෂඥයෝ මෙම සංඛ්‍යාව නොපිළිගනිති.
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වෙළෙඳාම පිළිබඳ පර්යේෂකයෙකු වන ඩේවිඩ් මෑන්ස්ෆීල්ඩ් මෙසේ පවසයි: "එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, අනෙකුත් සංවිධානත් විස්තර කරන ආකාරයේ බදු පිළිවෙතක් ඇෆ්ඝනිස්ථානයේ දී දැකගන්නට බැහැ. භුමියේ තත්ත්වය අනුව එවැන්නක් ආර්ථික අතිනුත්, පරිපාලනමය අතිනුත් ප්‍රායෝගිකව සකසන්නට බැහැ."
"ඕපියම් මත්ද්‍රව්‍යවලින් වසරකට උපරිම ඇ.ඩො. මිලියන 40ක බදු ආදායමක් ලැබේවි."
මත්ද්‍රව්‍යවල ගමනාන්තය කොහි ද?
යුරෝපයේ මත්ද්‍රව්‍ය වෙළෙඳපොළේ විකිණෙන හෙරොයින්වලින් 95%ක්ම ඇෆ්ඝනිස්ථානයේ වැවුණු ඕපියම්වලින් නිෂ්පාදිත ය.
කෙසේ නමුත්, ඇමරිකා එක්සත් ජනපදයේ භාවිත වන හෙරොයින්වලින් 1%ක් පමණක් ඇෆ්ඝනිස්ථානයෙන් පැමිණෙන බව එක්සත් ජනපද මත්ද්‍රව්‍ය විරෝධී නීතිය බලාත්මක කිරීමේ ඒජන්සිය ප්‍රකාශ කරයි. මත්ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් එරටට සැපයෙනුයේ මෙක්සිකෝවෙනි.
2017 සහ 2020 අතර කාල වකවානුවේ දී ඕපියොයිඩ මත්ද්‍රව්‍යවලින් 90%ක්ම ප්‍රවාහනය කර තිබෙන්නේ ගොඩබිම මාර්ග ඔස්සේය.
නමුත් මෑත කාලයේ දී, ඉන්දියානු සාගරය සහ යුරෝපය අතර මුහුදු මාර්ගවල දී සිදුවූ මත්ද්‍රව්‍ය වැටලීම්වල යම් වැඩිවීමක් දක්නට හැකි ය.
ගෙවුණු දශක දෙක තුළ දී දක්නට ලැබුණේ, ඕපියම් නිෂ්පාදනය සහ ඕපියම් මත්ද්‍රව්‍ය වැටලීම් විචල්‍යයන් සහිතව නමුදු ඇෆ්ඝනිස්ථාන පොපි වගාවට අනුකූලව ඉහළ යන ප්‍රවණතාවකි.
Sigar වාර්තාව පෙන්වාදෙන පරිදි මත්ද්‍රව්‍ය වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් එරට පොපි වගාවට බලපා ඇත්තේ අවම වශයෙනි.
2008 වසරේ සිට සිදුකෙරුණු වැටලීම්වලින් අනාවරණය කරගත් ඕපියම් ප්‍රමාණය, 2019 වසරේ දී පමණක් ඇෆ්ඝනිස්ථානය විසින් නිපදවන ලද ඕපියම්වලින් 8%ක් පමණකැ යි වාර්තාවේ සඳහන් වේ.