'මරණ බියෙන්' රැකියාවේ යෙදෙන ඉන්දියාවේ වෛද්‍යවරු නීතියක් ඉල්ලා සටනට

වෛද්‍ය සියුජ් කුමාර් සේනාපතිට තමන් මරණ මංචකයට ලං වූ ජූනි මස එම දින ගැන පැහැදිලි මතකයක් ඇත්තේය.

එය ඔහුගේ පළමු රැකියාව වන අතර ඉන්දියාවේ ඊසානදිග ඇසෑම් ප්‍රාන්තයේ හොජයි දිස්ත්‍රික්කයේ කොවිඩ් සත්කාර මධ්‍යස්ථානයේ සේවය කළ දෙවෙනි දිනය විය.

එදින උදෑසන ඇතුළත් කළ රෝගියෙකු පරීක්ෂා කරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියේය. ඔහු එම රාජකාරිය ඉටු කරන විට දැකගත වූයේ රෝගියා ප්‍රතිචාර නොදක්වන බවය.

එම පුද්ගලයා මියගොස් ඇති බව පැවසූ විට රෝගියාගේ පවුලේ අය කෝපයට පත් වූහ.

මොහොතකින් සියල්ල අපායකට හැරුණු බව වෛද්‍ය සේනාපති සිහිපත් කළේය. රෝගියාගේ ඥාතීන් කාමරය පුරා පුටු විසි කර, ජනේල කඩා දමා, කාර්ය මණ්ඩලයට බැණ වැදීම ආරම්භ කළ බව ඔහු පැවසීය.

වෛද්‍ය සේනාපති සැඟවීමට දිව ගිය නමුත් වැඩි වේලා නොගොස් තවත් පුද්ගලයන් එම පවුලේ අයට එකතු වූ අතර ඔවුහු වෛද්‍යවරයා සොයා ගත්හ.

එම බිහිසුණු ප්‍රහාරයේ වීඩියෝ දර්ශනවලින් දැක්වෙන්නේ පුරුෂයන් වැඩි ප්‍රමාණයක් සිටින කණ්ඩායමක් වෛද්‍ය සේනාපතිට පා පහර එල්ල කරමින් ඔහුගේ හිසට ඇඳ පෝච්චියකින් පහර දෙන ආකාරයයි. ඉන්පසු ඔවුන් ඔහුව පිටතට ඇදගෙන ගොස් ද පහර දෙන ආකාරය දක්නට හැකිය.

ලේ වැගිරෙන හා උඩුකය නිරුවත් වෛද්‍ය සේනාපති වේදනාවෙන් හා බියෙන් කෑගසනු ඇසෙයි.

"මම හිතුවා මම බේරෙන්නේ නැහැ කියලා," ඔහු පැවසීය.

පසුගිය වසරේ ඉන්දියාවේ වසංගතය ආරම්භ වූ දා සිට වෛද්‍යවරුන් කීපදෙනෙකුට කොවිඩ් රෝගීන්ගේ ඥාතීන් පහරදී තිබේ. එම ඥාතීන්ගේ ආදරණීයයන්ට නිසි ප්‍රතිකාර ලබා නොදීම හෝ නියමිත වේලාවට ඇඳක් ලබා නොදීම නිතර ඇසෙන පැමිණිලිය.

මේ සම්බන්ධයෙන් දැඩි නීති පනවන ලෙසත් ඔවුන් මත ඇති පීඩනය අවම කිරීම සඳහා වැඩි කාර්ය මණ්ඩලයක් සහ වඩා හොඳ යටිතල පහසුකම් ලබා දෙන ලෙසත් ඉල්ලා වෛද්‍යවරු විරෝධතා හා වැඩ වර්ජනයක නිරත වී සිටිති.

මෙවැනි සිද්ධීන්වලට මුහුණ දීමට රෝහල් ද සූදානම් වී නොතිබිණි. වෛද්‍ය සේනපතිට පහර දෙන විට ඉතිරි කාර්ය මණ්ඩලය ද පහර දීමට ලක්ව හෝ සැඟවී සිටි බැවින් කිසිවෙකුත් ඔහු බේරා ගැනීමට නොපැමිණියහ. එහි සිටි තනි ආරක්ෂක භටයා මෙම මැර පිරිස ඉදිරියේ අසරණ විය.

"මගේ ඇඳුම් ඉරා දමා, මගේ රන් දම්වැල උදුරාගත්තා. මගේ ජංගම දුරකථනය සහ ඇස් කණ්ණාඩි කුඩු කර දැමුවා. නමුත් විනාඩි විස්සකට පමණ පස්සේ මට පැන යාමට පුළුවන් වුණා" යැයි වෛද්‍ය සේනාපති පැවසීය.

ඔහු ප්‍රදේශයේ පොලිසියට ගොස් පැමිණිල්ලක් ලියාපදිංචි කළේය. එතැන් පටන් සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් ඇති මෙම ප්‍රහාරයේ වීඩියෝ පටයට දැඩි අවධානයක් යොමු විය. කඩිනම් පියවර ගන්නා බවට ප්‍රාන්ත රජය පොරොන්දු වූ අතර බාල වයස්කරුවන් තිදෙනෙකු ඇතුළු 36 දෙනෙකුට මෙම පහරදීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කර තිබේ.

කොවිඩ් සමයේදී සෞඛ්‍ය සේවකයින්ට පහරදීම් අවධානයට ලක්ව ඇති නමුත්, එවැනි සිද්ධීන් වසංගතයට පෙර ද භයානක ලෙස සිදුවිය. එහෙත් බොහෝ සිදුවීම් පොලිස් පැමිණිලි හෝ විමර්ශනවලට තුඩු දෙන්නේ නැත. ඔවුන් එසේ කළ විට, චූදිතයන් බොහෝ විට ඉක්‌මණින් ඇප මත මුදා හරිනු ලබන අතර නඩුව උසාවියෙන් පිටත විසඳා ගනු ලැබේ.

මෙම වසර මුලදී, ඉන්දියාවේ විනාශකාරී දෙවෙනි රැල්ලෙන් මියගිය කොවිඩ් රෝගියෙකුගේ ඥාතීන් දිල්ලි අගනුවර පිහිටි ඇපලෝ රෝහලේ දේපළවලට හානි කළ අතර කාර්ය මණ්ඩලයට ද බැන වැදී තිබිණි.

මේ තොරතුරු ද කියවන්න:

ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලක් වුවද එය චෝදනා ගොනු කළේ නැත. ඇත්ත වශයෙන්ම, රෝහල් පරිපාලනය එවැනි අවස්ථාවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ කලාතුරකිනි. මේ හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩල වඩාත් අවදානමට ලක්ව ඇත.

වෛද්‍යවරුන් පවසන පරිදි ඔවුන් ආරක්ෂා කිරීමට නිශ්චිත නීතියක් නොමැති වීම මෙම තත්ත්වයට එක් හේතුවක් වී තිබේ.

"පවත්නා නීති ඵලදායී නොවන බව අපි සොයාගෙන තිබෙනවා. ඒ නිසා මේ තත්ත්වයන් වළක්වන්න බැරි වෙලා තිබෙනවා. ශක්තිමත් නීතියක් කඩිනමින් අවශ්‍ය වෙනවා. එහෙම වුණොත්, වෛද්‍යවරුන්ට පහර දීමෙන් ප්‍රතිවිපාක ඇතිවිය හැකි බව ජනතාව තේරුම් ගනියි" යැයි ඉන්දියානු වෛද්‍ය සංගමයේ (IMA) මහලේකම් වෛද්‍ය ජයේෂ් ලේලේ පැවසීය.

වෛද්‍යවරුන් 330,000 කට වැඩි සංඛ්‍යාවක් සාමාජිකයන් ලෙස සිටින ඉන්දියානු වෛද්‍ය සංගමය, සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ට එරෙහි ප්‍රහාර වැළැක්වීම සඳහා දැඩි නීති සම්පාදනය කරන ලෙස ඉල්ලා විශාල සටනක් දියත් කර තිබේ.

නමුත් නීතියකට ගැටලුව විසඳිය හැකිද?

"මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා කල්තියා සැලසුම් කරන්නේ නැහැ. මරණය නිසා ඇතිවන චිත්තවේගයේ ප්‍රතිඵලයක් ලෙස මේවා සිදු වෙනවා. එබැවින් මෙය නීති මඟින් වළක්වන්න බැහැ" යැයි වෛද්‍යවරුන්ට එරෙහි හිංසනය නිරීක්ෂණය කරන ශ්‍රියා ශ්‍රීවාස්තවා පැවසීය.

ශ්‍රියා ශ්‍රීවාස්තවා 2018 ජනවාරි සිට 2019 සැප්තැම්බර් දක්වා කාලය තුළ ප්‍රහාර 56 ක් පිළිබඳ පුවත්පත් වාර්තා අධ්‍යයනය කරන නීති ප්‍රතිපත්ති පිළිබඳ මධ්‍යස්ථානයේ පර්යේෂණ කණ්ඩායමක කෙනෙකි. එම ප්‍රහාරවලට හේතු සහ ඒවා වළක්වා ගත හැක්කේ කෙසේද යන්න අවබෝධ කර ගැනීම මෙහි දී සිදු වේ.

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන සෞඛ්‍ය සේවකයින්ට පහරදීම්වලට එරෙහිව වසර හතක් දක්වා සිර දඬුවමක් නියම කිරීමට ඉන්දීය රජය පියවර ගත්තේය. නමුත් එයින් ඵලක් වූයේ නැත.

දකුණු හයිද්‍රාබාද්හි ගාන්ධි රෝහලේ වෛද්‍යවරයකු වන වෛද්‍ය විකාස් රෙඩ්ඩිට, පසුගිය වසරේ ජූනි මාසයේදී කොවිඩ් හේතුවෙන් මියගිය පුද්ගලයෙකුගේ ඥාතීන් යකඩ හා ප්ලාස්ටික් පුටු වලින් පහර දී තිබිණි. ඔහු පොලිස් පැමිණිල්ලක් ගොනු කළ නමුත් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

"නැවත රස්සාවට යන එක දුෂ්කර වුණා," වෛද්‍ය විකාස් රෙඩ්ඩි පැවසීය.

"අසාධ්‍ය රෝගීන් සිටි මම වැඩ කළ වාට්ටුවේම මටත් රෝගියෙක් විදිහට ඉන්න වුණා. මගේ සිතේ සැරෙන් සැරේ ප්‍රහාරය මැවිලා පෙනෙනවා."

සිදු වූ දේ ගැන සිතමින් බොහෝ කාලයක් ගත කළ බව ඔහු පැවසීය.

"මම ලොකු ප්‍රශ්නයක සිටියේ," ඔහු පැවසීය. වෙනත් ප්‍රහාරයක් වළක්වා ගනිමින් රෝග විනිශ්චය පැහැදිලි කරන්නේ කෙසේද යන්න හෝ ඛේදජනක පුවතක් වඩා හොඳින් ඥාතීන්ට පවසන්නේ කෙසේදැයි යන්න දැනගැනීමට ඔහුට අවශ්‍ය වීය.

"අපට කළ හැකි හා කළ නොහැකි දේ පැහැදිලි කිරීම සඳහා රෝගීන් සහ ඔවුන්ගේ පවුල් සමඟ කාලය ගත කළ යුතු බව මම තේරුම් ගත්තා. ඔවුන් එකඟ නොවන්නේ නම්, ඔවුන් රෝගියා වෙනත් රෝහලකට ගෙන යා යුතුයි. නමුත් අපට එවැනි ආකාරයේ කාලයක් ලැබෙන්නේ නැහැ. මම දිනකට රෝගීන් 20-30 ක් බලනවා."

ඉන්දියාව ගෝලීය වශයෙන් දරුණුතම වෛද්‍ය-රෝගීන් අනුපාතයක් පවතින රටකි. ලෝක බැංකු ඇස්තමේන්තුවලට අනුව 2018 දී පුද්ගලයන් 100,000 කට වෛද්‍යවරුන් සිටියේ 90ක් පමණය. එය චීනය (200), එක්සත් ජනපදය (260) හෝ රුසියාව (400) ට වඩා බෙහෙවින් අඩු ප්‍රමාණයකි.

දැනටමත් අවම මට්ටමක පවතින ශ්‍රම බලකාය කොවිඩ් වසංගතය නිසා තවත් ගැටලු සහගත වී ඇත.

සාමාන්‍යයෙන් සෞඛ්‍ය සේවකයින්ට පහරදීම් සිදුව ඇත්තේ රෝගීන් හදිසි වාට්ටුවල හෝ දැඩි සත්කාර ඒකකවල සිටින විට, එක් රෝහලක සිට තවත් රෝහලකට මාරු කරන විට හෝ ඔවුන් මිය යන විට බව ශ්‍රියා ශ්‍රීවාස්තවාගේ පර්යේෂණයෙන් හෙළි විය. වසංගතය තුළ මේ සියල්ල නිතර සිදුවෙමින් තිබේ.

"කෝවිඩ් වාට්ටුවක වැඩකිරීම යුද්ධයට සමානයි" යැයි වෛද්‍ය ලෙලේ පැවසීය.

මෙහි විශ්වාසය පිළිබඳ ගැටලුවක් ද තිබේ.

ඉන්දියාවේ සෞඛ්‍ය සේවාවලින් තුනෙන් දෙකක් සපයන්නේ නියාමනය නොකළ හා මිල අධික විශාල පෞද්ගලික අංශයක් විසිනි.

ශ්‍රියා ශ්‍රීවාස්තවා පැවසුවේ මිල අධික ප්‍රතිකාර ද ලබා ජනතාව කොවිඩ්වලින් මිය යාම නිසා සෞඛ්‍ය පද්ධතිය ගැන විශ්වාසය බිඳ වැටෙමින් ඇති බවය. වෛද්‍ය නොසැලකිල්ල පිළිබඳ මාධ්‍ය වාර්තාවලට, වෛද්‍යවරුන්ගේ අරගලය පිළිබඳ කථාවලට වඩා වැඩි ඉඩක් ලැබීම නිසා මිනිසුන්ගේ සැකය තවත් වැඩි වී තිබේ.

"අපට කළ හැකි හොඳම දේ රෝගියාට අපගේ උපරිමය ලබා දීමයි" වෛද්‍ය රෙඩ්ඩි පැවසීය. "සෑම රෝගියෙකුම හෝ පවුලක් අපට යහපත් ලෙස සළකයි යැයි අපේක්ෂා කරන්න බැහැ. ඔවුන් වෘත්තිකයන් ලෙස අපට ගරු කරන අතරම ජීවිත බේරා ගැනීම සඳහා අප මෙම වෘත්තිය තෝරා ගත් බවට ගරු කරයි."