ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජාතික ලැයිස්තුවේ 'බැසිලියානුකරණය' දේශපාලන විද්‍යාඥයන්ගේ ඇසින්
- Author, උපාලි ගජනායක
- Role, බීබීසී සිංහල
ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැර දැමීමට අකමැතිවීම හේතුවෙන් 2020 මහ මැතිවරණයට තරඟවැදීමේ අවස්ථාව අහිමි වූ බැසිල් රෝහණ රාජපක්ෂ විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව, ජාතික ලැයිස්තුව පාවිච්චිකරමින් පාර්ලිමේන්තුවට ඇතුල්විය.
ඒ සමඟ ශ්‍රී ලංකාවේ නියෝජන ක්‍රමය තුළ ජාතික ලැයිස්තු ක්‍රමය සම්බන්ධයෙන් යළිත් සාකච්ඡාවක් ආරම්භ වී ඇත.
1978 ජේ ආර් ජයවර්ධන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය මගින් ව්‍යවස්ථාපිත කරන ලද ජාතික ලැයිස්තුව නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ ගැඹුරු දේශපාලන අර්ථය සුං කරනු ලබන දේශපාලන උපාංගයක් වී ඇති බවට විවේචන එල්ලවෙමින් පවතී. ජාතික ලැයිස්තුව යනු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පිවිසීමේ 'හොර පාරක්' දැයි එම විවේචන මගින් ප්‍රශ්න කෙරෙයි.
"මෙම කාරණය න්‍යායික තලයේ විග්‍රහකළොත් මෙවැනි නියෝජන සම්ප්‍රදායයන් බහුතරයේ නියෝජනය තුළ මතුවෙන අසමතු ලිතභාවයට විසඳුමක් ලෙසත් දකින්න පුළුවන්. සමාජ බහුතරය නිතරම මෙන් ඡන්දය දෙන්නේ හැඟීම්බර දේවල් අනුව. එය දේශපාලන සමාජයක් නරක දිශාවකට ගමන්කිරීමට හේතුවෙන්න පුළුවන්ය කියන මතවාදය මුල ඉඳලම තිබුණා. එම ප්‍රශ්නයට පිළිතුරක් විධියට බුද්ධිමතුන් ද ඇතුලත් කුසලතා පූර්ණ පුද්ගලයන් ව්‍යවස්ථා සම්පාදන කාර්යයට සහභාගිකර ගැනීමේ උවමනාව සම්බන්ධයෙන් මුල පටන්ම අදහසක් තිබුණා," නාමකරණය මගින් මහජන නියෝජිතයන් පත්කරගනු ලැබීමේ දේශපාලන සම්ප්‍රදාය ගැන අදහස් දක්වන කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමිත් චාමින්ද පවසයි.
ශ්‍රී ලංකාවේ නිදහසින් පසුව සිවිල් සමාජය ද ඇතුළුව බුද්ධිමතුන් මෙන්ම ජාතිකවාදී කණ්ඩායම් දේශපාලනය කෙරෙහි ඇතිකරන බලපෑම ආරම්භයේ පටන්ම දක්නට ලැබෙන බවත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමිත් චාමින්ද පෙන්වාදෙයි.
බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවක දී අදහස් දැක්වූ දේශපාලන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා 1956 මහ මැතිවරණයේ දී ආණ්ඩු පරිවර්තනයක් සිදුකිරීමට පවා හේතු වූ එම බලපෑම නිදසුනක් වශයෙන් සඳහන් කළේය.
"1956 විතරක් නොවෙයි, 1994 සහ 2015 දීත් එම සිවිල් සමාජ බලපෑම දකින්න ලැබුනා. 2005 දී ජාතිකවාදී බලපෑම දකින්න ලැබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ සුවිශේෂී තත්වයක්. ඒ අනුව මෙම ජාතික ලැයිස්තු නියෝජනය එකී බලපෑමත් සමඟ යම්කිසි සම්බන්ධයක් ඇති කියල මම හිතනවා."
කියවන්න:
සෝල්බරි යුගයේ නාමකරණය
මහජන ඡන්දයෙන් කෙලින්ම පත්වෙන නියෝජිතයන්ට අමතරව නාමකරණයෙන් පිරිසක් පාර්ලිමේන්තුවට ඇතුල්කර ගැනීමේ එක්තරා ව්‍යවස්ථාමය විධිවිධානයක් සෝල්බරි ආණ්ඩුක්‍රමය තුළත් දක්නට ලැබුණි. එම ව්‍යවස්ථාව අනුව මහජන ඡන්දයෙන් තේරී පත්වෙන මන්ත්‍රීවරුන් 95 දෙනාට අතිරේකව තවත් හයදෙනෙකු නාමකරණයෙන් පත්කර ගැනීමට බලයේ සිටින අගමැතිවරයාට අවස්ථාව ලැබුණි.
එපරිද්දෙන් මන්ත්‍රීවරුන් සුළු සංඛ්‍යාවක් එවකට වූ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නාමකරණය මගින් පත්කර ගැනීමට විධිවිධාන සලසා තිබුනේ මහජන ඡන්දයෙන් නියෝජනය නොවන ජනකොටස්වලට පාර්ලිමේන්තු නියෝජනයක් ලබාදීම සඳහාය.
එලෙස නාමකරණයෙන් පත්කරගන්නා ලද මන්ත්‍රීවරුන්ට අමතරව එවකට පැවති ද්වි-මාණ්ඩලික ව්‍යවස්ථාදායකයේ ඉහළ මන්ත්‍රණ සභාව වූ සෙනේට් සභාව මගින් ද මහජන ඡන්දයෙන් නියෝජනයක් නොලැබෙන ජනකොටස් සහ බුද්ධිමතුන්, විශේෂ වෘත්තිකයන් වැනි සමාජ කණ්ඩායම්වලට නියෝජනයක් සැලසීමේ අවශ්‍යතාව පෙන්නුම්කරනු ලැබ තිබුණි.
සෙනේට් සභාව මන්ත්‍රීවරුන් තිස්දෙනෙකුගෙන් සමන්විත වූ අතර එයින් පහළොස් දෙනකුම පත්කරගන්නා ලද්දේ බලයේ සිටින අගමැතිවරයාගේ නිර්දේශ අනුවය. ඉතිරි පහළොස් දෙනා වුවද තෝරා පත්කරගන්නා ලද්දේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ නියෝජනය වෙන දේශපාලන පක්ෂවල අභිමතය අනුවය.
ඉහත සඳහන් කරන ලද පරිදි නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා නාමකරණයෙන් මන්ත්‍රීවරුන් පත්කරනු ලැබීම සහ සෙනේට් සභා නියෝජනය මගින් එහි මුල් අපේක්‍ෂිත අරමුණු ඉටුනොවූ අතර ඒවා වෙනත් දේශපාලන බල අරමුණු ඉටුකර ගැනීමේ මෙවලම් බවට පත්ව ඇත යන චෝදනාව සමාජගතවීමත් සමඟ 1970 දී බලයට පත් රජය විසින් එකී නියෝජන රටාව සහමුලින්ම අහෝසිකරනු ලැබුණි.
ඉන් අනතුරුව 1978 ජයවර්ධන ප්‍රතිසංස්කරණය තෙක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය අනුව නාමකරණය මගින් මන්ත්‍රීවරුන් පත්කර ගැනීමට කිසිදු ඉඩක් නොලැබුණි.
ජාතික ලැයිස්තුවක් අවශ්‍ය කරන්නේ ඇයි?
දේශපාලන සමාජයක ගැටුම් සහිත "මැතිවරණ ක්‍රීඩාවට" පැටලීමට අකැමැති එහෙත් ජාතික මට්ටමින් වැදගත් චරිත ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට එකතුකර ගනිමින් ඔවුන්ගේ සේවය ලබාගැනීම ඍජු මහජන නියෝජනයට අතිරේකව නාමකරණය මගින් මන්ත්‍රීවරුන් පත්කරගැනීමේ මූලික උවමනාව වී තිබුණ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාංශයේ සම්මානිත මහාචාර්ය පියදාස අතුකෝරල පවසයි.
"රටක ව්‍යවස්ථාදායකයට නාමකරණය මගින් නියෝජිතයන් පත්කර ගැනීමට කරුණු කීපයක් බලපාන්න පුළුවන්. එවැනි ක්‍රමයක් පවත්වාගැනීමේ අරමුණ සෘජු මහජන ඡන්දයෙන් ජයග්‍රාහකයන් තීන්දුකෙරෙන තරඟකාරී මැතිවරණ ක්‍රමයක් ඔස්සේ ව්‍යවස්ථාදායකය තුළ නියෝජනයක් ලබාගත නොහැකි ජන කණ්ඩායම්වලට නියෝජනයක් ලබාදීම. දෙවැනි කාරණය, ඕනෑම සමාජයක ඉන්නවා, ජාතික මට්ටමින් විශාල කාර්යභාරයක් ඉටුකිරීමේ කුසලතාව සහිත විශේෂ චරිත. ඔවුන් මැතිවරණ තරඟවලට ඉදිරිපත්වෙන්නේ නැහැ. එවැනි විශේෂ කුසලතා සහ අත්දැකීම් සහිත පුද්ගලයන් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට සහභාගීකර ගැනීමට මේ ජාතික ලැයිස්තුව වගේ උපාංග යොදාගන්න පුළුවන්."
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු නියෝජනය තුළට ජාතික ලැයිස්තු ක්‍රමය හඳුන්වාදෙන ලද්දේ 1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වාදීමත් සමඟය. එම නව නියෝජන ක්‍රමය අනුව පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 225කින් සමන්විත වෙන අතර ඔවුන්ගෙන් 196 දෙනෙක් මහජන ඡන්දයෙන් ද ඉතිරි 29දෙනා මැතිවරණයට තරඟවදින දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත්කරනු ලබන ජාතික ලැයිස්තු මගින් ද පත්කරගනු ලැබෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙසේ සඳහන්වෙයි.
"එක්ව ගත්කල සියලු මැතිවරණ කොට්ඨාශවලට මන්ත්‍රීවරයන් එකසිය අනූ හයදෙනකු තෝරා පත්කිරීමට හිමිකම් ඇත්තේය." (98(1) වගන්තිය
ඉන් අනතුරුව ඉතිරි මන්ත්‍රීධූර විසිනවය සම්පූර්ණ කරනු ලබන්නේ මහ මැතිවරණයක දී ලැබූ මුළු ඡන්ද සංඛ්‍යාව පදනම් කරගෙනය. ඒ සඳහා මැතිවරණයට තරඟවදින සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ජාතික ලැයිස්තුව බැගින් මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ යුතුය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙසේ දක්වයි.
"ඉතිරි මන්ත්‍රීධූර විසිනවය ඒ මහ මැතිවරණය තරඟ කරන එක් එක් පිළිගත් දේශපාලන පක්ෂය සහ ස්වාධීන කණ්ඩායම ඒ මහ මැතිවරණයේ දී ලැබූ ඡන්ද සංඛ්‍යාවට දරන අනුපාතය අනුව මැතිවරණ කොමිසම විසින් ඒ ඒ පක්ෂ හෝ කණ්ඩායම් අතර වහාම බෙදා වෙන්කර දිය යුත්තේය." (99(අ))
න්‍යාය සහ භාවිතය
මීට අදාළ කරගත හැකි තවත් ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයක්, පහළොස්වැනි සහ දාහත්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මගින්, දැනට බල පැවැත්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කරනු ලැබ ඇත.
"මැතිවරණ කොමිසන් සභාව 98 වැනි ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති, ජනවාර්ගික හෝ වෙනත් ආකාරයක වූ ජනකොටසකට අයත් මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ජාතික ජනසංඛ්‍යා අනුපාතයට අනුකූල යන්නේද යන වග තීරණය කළයුතු අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීධූර සඳහා තෝරාපත්කර ගැනීම පිණිස එසේ තැනැත්තන් නම්කිරීමේ දී සියලුම ජනකොටස්වල නියෝජනය ජාතික ජනසංඛ්‍යා අනුපාතයට අනුකූල වන බව හැකිතරම් ප්‍රමාණයකට සුරක්ෂිත කරන ලෙසට එම පිළිගත් දේශපාලන පක්ෂයේ ලේකම්වරයාගෙන් හෝ ස්වාධීන කණ්ඩායමේ කණ්ඩායම් නායකයාගෙන් ඉල්ලා සිටිය යුතුය," යනුවෙන් ව්‍යවස්ථාවේ දැක්වේ.
"ජාතික ලැයිස්තු ක්‍රමය ප්‍රකාශිත පරමාර්ථ අනුව හෝ අවභාවිත කරනු ලැබීම ප්‍රායෝගික දේශපාලනයේ වගකීමක්. දැන් උදාහරණයක් විධියට බලන්න! චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරියගේ පාලන කාලයේ ලක්ෂ්මන් කදිරගාමර් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇතුළත් කරගත්තා. පසුව ඔහු ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයා වුනා. ශ්‍රී ලංකාව යුද්ධයෙන් බැටකන දරුණුම මොහොතක රට නියෝජනය කරන විදේශ ඇමතිවරයා හැටියට ඔහු මහජන අගයකිරීමට ලක්වෙන කාර්යභාරයක් ඉටුකළා. ඉතාම බුද්ධිමත් අත්දැකීම් සහිත කුසලතා පූර්ණ චරිතයක්. ජාතික ලැයිස්තුව මගින් එවැනි වෙනත් පත්කිරීම් සිද්ධකරලා තියෙනවද? කියන එකයි ප්‍රශ්නය!" සම්මානිත මහාචාර්ය පියදාස අතුකෝරල ප්‍රශ්න කරයි.
"ඒ වෙනුවට සිද්ධවුණේ ජාතික ලැයිස්තුව වෙනත් අරමුණුවලට පාවිච්චිකරනු ලැබීම. බලයට පත් කණ්ඩායම් ඔවුන්ගේ දේශපාලන බල ව්‍යුහය තරකර ගැනීමට මෙය පාවිච්චි කළා. මැතිවරණවල දී පරාජයට පත් අපේක්ෂකයන් පස්සදොරෙන් පාර්ලිමේන්තුවට ගැනීමට එය උපයෝගීකර ගත්තා. මුල් අරමුණ ගිලිහිලා ගියා," සම්මානිත මහාචාර්ය අතුකෝරල නිදසුන් සහිතව පෙන්වා දෙයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2015 මහ මැතිවරණයෙන් පරාජයට පත් අපේක්ෂකයන් කීපදෙනෙක් ජාතික ලැයිස්තුව මගින් පාර්ලිමේන්තුවට පත්කොට ඔවුන්ට ඇමතිකම් ද පවරනු ලැබිණ.
එය, ඒ සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වූ එක් අවස්ථාවකි.
අතීත නිදසුන්
බැසිල් රාජපක්‍ෂගේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු ආගමනය ගතවූ වසර තිහක පාර්ලිමේන්තු ඉතිහාසය තුළ අළුත් කාරණයක් ද නොවේ. 2007 වසරේදීත් ඔහු පාර්ලිමේන්තුවට ඇතුල්වුනේ ජාතික ලැයිස්තුව මගිනි.
ඉන්පෙර ගාමිණී දිසානායකගේ පටන් වර්තමානයෙහි රනිල් වික්‍රමසිංහ ද ඇතුළුව බැසිල් රාජපක්ෂ දක්වා අදත් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලනඥයන් රාශියක් පාර්ලිමේන්තුවට පිවිසීමට ජාතික ලැයිස්තුව උපයෝගී කරගනු ලැබ ඇත.
"මෙතැනදී පක්ෂ නායකත්වයට අවස්ථාවක් ලැබෙනවා - තමන්ට සහාය ලැබෙන තම පක්ෂයේ දෘෂ්ටිවාදය ශක්තිමත්කරන පුද්ගලයන් ව්‍යවස්ථාදායක මණ්ඩලයට ඇතුල්කර ගන්න. හැබැයි ප්‍රශ්නය වන්නේ ප්‍රකාශිත මුල් අරමුණ වූ විශේෂඥයන් පත්කරගනු නොලැබීම. මේක රහසකුත් නොවෙයි. පසුගිය මැතිවරණය ආරම්භයේදීම සමාජ මාධ්‍ය ජාලයේ පළවූ ප්‍රකාශන මගින් කියැවුනා, ජයන්ත කැටගොඩ ජාතික ලැයිස්තුවට ඇතුල්කළේ දවසක බැසිල් රාජපක්ෂට ඉඩදීලා ඉවත්වෙන්නය කියල," ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමිත් චාමින්ද සිහිපත් කළේය.
එවැනි පත්කිරීම් අද ශ්‍රී ලංකා දේශපාලනයේ 'සාමාන්‍යකරණය' වූ දෙයක් බවත් ඔහු පෙන්වා දෙයි.
"ජනතා විමුක්ති පෙරමුණ පවා සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ ඔවුන් මුහුණදුන් පළමු පාර්ලිමේන්තු ආසනයේ පටන්ම එය සිදුකරනු ලැබ තිබෙනවා."
ශ්‍රී ලංකාවේ ජාතික ලැයිස්තුව පාවිච්චි කිරීමේ තත්වය කෙසේවුවද, ජනප්‍රිය ඡන්දයෙන් අසුනක් ජයගැනීමට නොහැකි වාර්ගික, ආගමික හෝ කුල කණ්ඩායම් සඳහා රටක ව්‍යවස්ථාදායකය තුළ නියෝජනයක් සහතික කිරීම වැදගත් කරුණක් බවත් ඔහු සඳහන් කළේය.
"දැන් බලන්න අපේ අසල්වැසි ඉන්දියාව ගත්තොත්, පහළ යයි සම්මත කුලවලට සහ කාන්තාවන්ට පාර්ලිමේන්තු නියෝජනයක් සහතික කරලා තියෙනව. එවැනි ජන කණ්ඩායම් සඳහා ඉන්දීය පාර්ලිමේන්තු නියෝජනයේ යම්කිසි ප්‍රතිශතයක්, කෝටාවක් සහතික කිරීම අනිවාර්ය කරල තියෙනව."
තවත් තොරතුරු: