ඇමෙරිකානු ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් මුහුණ දුන් අධිකාරීත්වය පිළිබඳ නඩුව කුමක්ද?

Britney Spears arrives at the 2016 MTV Video Music Awards in New York

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ජුනි 23 පැවති අධිකරණ විභාගයට බ්‍රිට්නි ස්පියර්ස් දුරස්ථව සහභාගී වුවාය

සිය ව්‍යාපාරික හා පෞද්ගලික කටයුතු පිළිබඳ "නින්දා සහගත" කළමනාකරණය අවසන් කරන ලෙස ප්‍රකට ඇමෙරිකානු පොප් ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් අධිකරණයෙන් ඉල්ලා සිටී.

"මගේ ජීවිතය මට ආපහු ඕනෑ" යි ඇය ලොස් ඇන්ජලිස් අධිකරණය හමුවේ කියා සිටියාය.

බ්‍රිට්නි මානසික අර්බුදයකට ලක්වූ පසු ඇයගේ මුළු වෘත්තියම, අධිකාරීත්වය (conservatorship) ලෙසින් හැඳින්වෙන වැඩපිළිවෙලකට අනුව 2008 වසරේ සිට නෛතික භාරකරුවන් යටතට පත්කෙරිණි.

බ්‍රිට්නි ගේ වතුයාය මෙන්ම ඇගේ ජීවිතයේ අනෙකුත් අංග සියල්ල පිළිබඳ පාලනය අධිකරණ නියෝගය අනුව පැවරුනේ බ්‍රිට්නි ගේ පියා වන ජැමී ස්පියර්ස් වෙතය.

නමුත් පසුව සිය පියාව ඉන් ඉවත් කිරීමට බ්‍රිට්නි ට අවශ්‍ය විය.

ඇය වෙනුවෙන් පෙනී සිටින රසික කැලක් දියත් කළ #FreeBritney (ෆ්‍රී බ්‍රිට්නි) අරගලය පෙන්වා දුන්නේ බ්‍රිට්නි හට සිය කටයුතුවල ස්වාධිකාරය හිමිවිය යුතු බවය.

දිගු කලක් ඇදෙමින් පැවති මෙම නෛතික ගැටුම දෙසට 2021 දී යළි අවධානය යොමු වූයේ බ්‍රිට්නි ගේ භාරකාරත්වය පිළිබඳ අර්බුදය පදනම් වූ 'Framing Britney Spears' නම් වාර්තා වැඩසටහන එළිදැක්වීමත් සමගිනි.

මොකක්ද මේ අධිකාරීත්වය කියන්නේ?

'ඩිමෙන්ශියා' හෝ වෙනත් මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන, තමන්ගේ ම වූ තීරණ ගැනීමට අපොහොසත් පුද්ගලයින් වෙනුවෙන්, අධිකරණය කිසිවෙකුට භාරකාරකාරත්වය පැවරීම මෙයින් අදහස් කෙරේ.

බ්‍රිට්නිගේ අධිකාරීත්වය කොටස් දෙකකට බෙදී ඇත. එකක් ඇයගේ වතුයාය සහ මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් වන අතර අනෙක පුද්ගලයෙකු වශයෙන් ඇය සම්බන්ධයෙන් වන ලෙසය. එම නෛතික පියවර අනුව 2008 වසරේ සිට බ්‍රිට්නි සිය මුල්‍ය කටයුතු පාලනය නොකළාය.

එම කොටස් දෙකේම ප්‍රධානියා ලෙස ජැමී ස්පියර්ස් මුලදී කටයුතු කළ ද 2019 දී පුද්ගලයෙකු වශයෙන් වන අධිකාරීත්වයෙන් ඉවත් වූයේ සෞඛ්‍යමය හේතු මතය. වෘත්තිමය උවැටන්කරුවකු වන ජෝඩි මොන්ට්ගොමරි ඒ සඳහා තාවකාලිකව පත්කෙරුණ ද එය ස්ථිර පත්වීමක් කරන්න යැයි බ්‍රිට්නි ඉල්ලා සිටියාය.

Singer Britney Spears and father Jamie (L)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බ්‍රිටිනි ගේ පෞද්ගලික කටයුතු පාලනය ඇයගේ පියා ජැමී (වම් කෙළවර) වෙත පැවරී ඇත

'ද නිව් යෝක් ටයිම්ස්' පුවත්පතට ලැබුණු රහසිගත අධිකරණ වාර්තාවක දැක්වෙන්නේ මීට පෙර වාර්තා වී තිබූ ආකාරයට වඩා බරපතල ලෙස බ්‍රිට්නි මෙම අධිකාරීත්වයට එරෙහිව හඬ නගා තිබූ බවය. තමන් සබඳතා පවත්වන්නේ කා සමග ද යන්නේ සිට ඇගේ මුළුතැන්ගෙයි කැබිනට්ටුවල වර්ණ තීරණය කිරීම දක්වා වූ පරාසයක් පුරා බ්‍රිට්නිගේ ජීවිතයේ අංග සීමා කෙරී ඇති බව එමගින් පෙන්නුම් කෙරිණි.

"මේ අධිකාරීත්වය පීඩාකාරී මෙන්ම ඇයට එරෙහි පාලන මෙවලමක් සේ ඇයට දැනෙනවා," යැයි අධිකරණ විමර්ශකයෙකු 2016 වාර්තාවක දක්වා තිබිණි. බ්‍රිට්නි සමග කළ සංවාදය අනුව තැබුණු සටහනට අනුව, මේ අධිකාරීත්වය "අධික පාලනයකින්" යුතු වූවක් බව ඇය කියා තිබේ. "වැඩියි.... ඕනෑවට වැඩියි!"

ජැමී ස්පියර්ස් අධිකාරීත්වයෙන් ඉවත් කිරීම 2020 නොවැම්බරයේ දී බැහැර කළ විනිසුරුවරයා, බ්‍රිට්නිගේ නිවස ඇතුළු වතුයාය වෙනුවෙන් සම අධිකාරීත්වයකට බෙසෙමර් ට්‍රස්ට් (Bessemer Trust) නම් වූ මුල්‍ය ආයතනය නම් කළේය.

ඉන් මාසයකට පසු, ජැමී ස්පියර්ස් ගේ අධිකාරීත්වය විනිසුරුවරයා විසින් 2021 සැප්තැම්බර් දක්වා දීර්ඝ කරනු ලැබිණි.

අධිකාරීත්වයක් සකස් කෙරුණේ ඇයි?

2007 දී කෙවින් ෆෙඩර්ලින් වෙතින් දික්කසාද වීමෙන් අනතුරුව බ්‍රිට්නි නොමනා සුලු ආකාරයේ හැසිරීම් රටාවක් පෙන්නුම් කළ අතර ඇයට සිය දරූ දෙදෙනාගේ භාරකාරත්වය ද අහිමි විය.

ප්‍රසිද්ධියේ හටගත් සිදුවීම් මාලාවක් මත බ්‍රිට්නි ගේ මානසික සුවතාව ගැන අවධානය යොමුවන්නට පටන් ගැනිණි. එම සිදුවීම් අතර ඇය සිය හිස බූ ගෑම මෙන්ම ඡායාරූප ශිල්පියෙකුගේ මෝටර් රියට කුඩයකින් පහරදීම ද ඇතුළත් විය.

මේ අතර 2008 දී තාවකාලික මානසික ඇගයීමක් සඳහා කෙරුණු නියෝගයකට අනුව දෙවතාවක් ඇය රෝහල්ගත කෙරිණි. ඒ, පොලිසිය සමග ඇතිවූ අර්බුදයක දී සිය පුතුන් දෙදෙනා භාර කිරීම ප්‍රතික්ෂේප කිරීම සමබන්ධයෙන් ඇයට චෝදනා නැගුනු සිදුවීමක් ද ඒ අතර විය.

ඇය සම්බන්ධ තාවකාලික අධිකාරීත්වය එම කාලය තුළදී ඇරඹුණු අතර එතැන් සිට දශකයකට වැඩි කලක් මේ වනවිට එය ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ පිළිබඳ නියෝගයේ නිශ්චිත කරුණු ප්‍රසිද්ධියට පත්කොට නැත.

එම වසර ගණනාව තුළ බ්‍රිට්නි හට සිය වැඩකටයුතුවල අඩුවක් ද නොවීය. ඇය ගීත ඇල්බම් තුනක් නිකුත් කළ අතර ලස් වේගස් හි රැඳෙමින් 'US X Factor' වැඩසටහනේ විනිසුරුවරයෙකු වීම ඇතුළු රූපවාහිනි වැඩසටහන් ගණනාවක පෙනී සිටියාය.

Singer Britney Spears attends the announcement of her new residency, "Britney: Domination" at Park MGM in October 2018

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මුල්‍ය ලේඛන උපුටා දක්වමින් 'Business Insider' වාර්තා කළ පරිදි 2018 වනවිට ස්පියර්ස්ගේ ශුද්ධ වත්කම ඩොලර් මිලියන 59 ක් විණි. එම වසරේදීම නෛතික හා අධිකාරීත්ව ගෙවීම් වෙනුවෙන් ඇය ඩොලර් මිලියන 1.1ක් ගෙවා ඇති බව 'Entertainment Tonight' වෙබ් අඩවිය ලද අධිකරණ ලේඛනවල පෙන්නුම් කළේය.

#FreeBritney ව්‍යාපාරය කුමක්ද?

'නිව් යෝර්ක් ටයිම්ස්' වාර්තාවකට අනුව #FreeBritney යෙදුම 2009 වසර තෙක් දිව යන්නකි. අධීකාරීත්ව වැඩපිළිවෙල සමග එකඟ නොවූ බ්‍රිට්නි රසික වෙබ් අඩවියක එය සඳහන්ව තිබිණි.

සිය පියාගේ රෝගී තත්ත්වය මත ඇතිවූ චිත්තවේගී පීඩාව දක්වමින් එක්වරම ලස් වේගස් හි පදිංචිය හැර දමා ස්පියර්ස් මානසික සෞඛ්‍ය මධ්‍යස්ථානයකට ඇතුළු වූවාය. එතැන් සිට රසිකයන්ගේ මේ අරගලකාරී ව්‍යාපාරය යළි පණ ගැන්විණි.

Supporters of singer Britney Spears gather outside a courthouse

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, අධිකරණයෙන් පිටත රැස්වූ රසිකයින්ගෙන් කොටසක්

ඇතැම් රසිකයින්ගේ අදහස නම් මෙම අධිකාරීත්ව වැඩපිළිවෙල තුළ රැදී සිටීමට බ්‍රිට්නි හට බලකරනු ලැබ ඇති බවය. එය අවසන් කරන ලෙස ඉල්ලමින් අත්සන් දස දහස්ගනනක පෙත්සම් ද ධවල මන්දිරයට යොමු කර තිබේ.

නඩු වාර පැවැත්වෙන අවස්ථාවල නිතිපතා, #FreeBritney අරගලයට එක්වන්නනෝ අධිකරණයෙන් පිටත උද්ඝෝෂණයේ යෙදෙති.

පැරිස් හිල්ටන්, බෙට් මිඩ්ලර් සහ මිලී සයිරස් වැනි තරු ද මෙම වැඩපිළිවෙලට සිය සහයෝගය පළකරති.

මේ සියල්ල ගැන බ්‍රිට්නි පැවසුවේ මොනවා ද?

වසර ගණනක් පුරා #FreeBritney හෝ අධිකාරීත්ව වැඩපිළිවෙල සම්බන්ධයෙන් බ්‍රිට්නි සෘජුව කිසිවක් නොපවසුවා ය. අන්තර්ජාලය ඔස්සේ ප්‍රකට වූ ඇයගේ පුද්ගල ප්‍රතිරූපය ප්‍රබෝධමත් වූවක් මෙන්ම නඩු හබය වටා ගෙතෙන සිරස්තලවලට සම්බන්ධකමක් නොපෙන්වීය.

රහස්‍ය පණිවිඩ යැවීම සඳහා ඇය සමාජ මාධ්‍ය උපයෝගී කරගත් බව ඇතැම් ආධාරකරුවෝ විශ්වාස කරති. උදව්වක් අවශ්‍ය කෙරෙන්නේ නම් ඊළඟ පොස්ටුවේ (post), කහ පැහැති ඇඳුමකින් සැරසී හිඳින ලෙස තැබුණු සටහන්වලට (comments) බ්‍රිට්නි ප්‍රතිචාර දක්වන බවක් පෙනෙන්නට විනැයි එවැනි අවස්ථා ගෙනහැර දක්වමින් ඔවුහු පෙන්වා දෙති.

Skip Instagram post
Instagram අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Instagram විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Instagram කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of Instagram post

1px transparent line

සිය අධිකාරීත්වය සම්බන්ධයෙන් බ්‍රිට්නි හට "අධිකරණය සෘජුව" ඇමතිය හැකි වන ආකාරයේ විභාගයක් පවත්වන මෙන් ඇගේ නීතිඥයා මේ වසර මුලදී ඉල්ලා තිබිණි.

වඩාත් අපේක්ෂා සහගත වූ පරිදි ලොස් ඇන්ජලිස් අධිකරණ ශාලාවේදී බ්‍රිට්නි විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේ මෙම "නින්දා සහගත" අධිකාරීත්වය අවසන් කරන ලෙසය. එවිට යළි විවාහ වීමට හා තවත් දරුවන් ලැබීමට හැකි බව ඇය කියා සිටියාය.

"යළි ඇගයීමක් නැතිවම මේ අධිකාරීත්වය අවසන් වීමට මට උවමනායි," විනාඩි 20 ක හැඟුම්බර කතාවේදී ඇය කීවාය.

එම වැඩපිළිවෙල හෙළාදුටු ඇය, ගැබ් ගැනීමෙන් වැළකීම සඳහා උපත් පාලන භාවිත කිරීමට එය තමන්ට බල කර ඇති බව ද කියා සිටියාය.

"මට හොඳක් කරනවාට වඩා, මේ අධිකාරීත්වයෙන් මට කරන්නේ හානියක්," යැයි දුරස්ථව හිඳ කතා කළ ඇය පැවසුවාය.

"මට ජීවිතයක් තියෙන්නට ඕනෑ"

අධිකාරීත්වය අවසන් කිරීම සඳහා නිල පෙත්සමක් ගොනු කිරීමට ඇගේ නීතිඥයාට හැකි බව විනිසුරු පැවසීය.

ස්පියර්ස් ගේ සාක්ෂියෙන් අනතුරුව ඇගේ පියා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා පැවසුවේ "ඔහුගේ දියණිය මෙතරම් පීඩාවකට ලක්වීම හා වේදනාවෙන් සිටිනු දැකීම ඔහුට කනගාටුවක්" බවය.