බ්‍රිතාන්‍ය යුද නැව කළු මුහුදට පිවිසීම අනාගත සිදුවීම් දාමයක පෙරහුරුවක්ද?

කළු මුහුදේ යාත්‍රා කිරීම බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව විසින් සිදුකරන ලද අනවශ්‍ය ප්‍රකෝප කිරීමක්ද ?එසේ නැත්නම් එහි පිවිසීම මුහුදේ යාත්‍රා කිරීමේ නීත්‍යානුකූල අයිතිය භුක්ති විඳීමක් ද?

මේ ප්‍රශ්නය මතුව තිබෙන්නේ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් යුද නැවක් කළුමුහුදේ යාත්‍රා කරමින් තිබියදී රුසියාවෙන් එල්ලවූ ප්‍රතික්‍රියා මුල්කර ගනිමිනි.

මෙහි මුලින් සඳහන් කරන ලද ප්‍රශ්නයට පිළිතුරු ලැබෙනු ඇත්තේ ඒ ඒ පුද්ගලයාගේ දෘෂ්ටිකෝණය අනුවය.

එම සිද්ධිය සම්බන්ධයෙන් මුලින් ලද වාර්තා මගින් කියැවුනේ බ්‍රිතාන්‍ය යාත්‍රාවට ඉහළින් රුසියාවට අයත් ගුවන්යානා සමූහයක් පියාසර කරන්නට පටන්ගත් අතර රුසියාවේ මුර සංචාරක මුහුදු යාත්‍රාවක් ඒ අසලටම සමීප වූ බවය.

මෙම අවුලේ දී බ්‍රිතාන්‍යයට යුක්‍රේනයේ දැඩි සහයෝගයක් ලැබෙයි. HMS ඩිෆෙන්ඩර් ආරක්‍ෂක යාත්‍රාව යුක්‍රේනයට අයත් 'ඔඩෙස්සා' වරායේ සිට කෙටි සෘජු මුහුදු මාර්ගයක් තෝරාගනිමින් කළු මුහුද ඔස්සේ යාත්‍රාකරමින් තිබිණි.

බ්‍රිතාන්‍ය නෞකාව යාත්‍රාකරමින් තිබුණේ 2014 වසරේ රුසියාව විසින් ඈඳාගන්නා ලද ක්‍රිමියානු අර්ධද්වීපයේ වෙරළෙන් කිලෝමීටර් කීපයක් ඈතිනි. යුක්‍රේනය සතුව තිබූ ක්‍රිමියාව රුසියාව විසින් ඔවුන්ගේ පාලනය යටතට ගනු ලැබීම බටහිර රටවල් විසින් හෙලාදකින ලද අතර එය ජාත්‍යන්තර මට්ටමින් ද පිළිගැනීමට ලක්නොවූ ක්‍රියාවකි.

එහෙත් මොස්කව් බලධාරීන් එය දකින්නේ වෙනත් ඇසකිනි.

එවක රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමක් සිදුවූ නමුත්, එය පසුව නිරූපණය වූයේ සැලකිය යුතු සංඛ්‍යාවක් වන රුසියානු ජාතිකයන් වෙසෙන ක්‍රිමියාව මොස්කව් පාලනයට ඈඳා ගනු ලැබීම එහි සැබෑ හිමිකරුවන ''රුසියානු මාතාවට'' යළි පැවරීමක් ලෙසය.

බදාදා (ජුනි 23) බ්‍රිතාන්‍ය සහ රුසියානු මුහුදු අවුල වාර්තා වූ මුහුදු කලාපය ආසන්නයේ පිහිටි 'සෙවස්තපෝල්' වරාය රුසියාවට අයත් ප්‍රධාන නාවික වරායක් වන අතර කළු මුහුදු ආරක්‍ෂක නාවික බලකායක් ද එහි රඳවා ඇත.

සිය එදිරිවාදී බලමුළුවක් ලෙස සලකනු ලබන නේටෝ යුද හවුලට අයත් රාජ්‍යයක් වන බ්‍රිතාන්‍යට අයත් 'Type-45' නවීනතම ප්‍රහාරක යාත්‍රාව සිය මව් වරායෙන් නික්ම කිලෝමීටර් 9656ක් තරම් ඈතින් පිහිටි රුසියාව තමන්ට අයත් යයි සලකන මුහුදු ප්‍රදේශයක දියඹෙහි යාත්‍රා කිරීම රුසියාව දකින්නේ ආක්‍රමණශීලී ප්‍රකෝපකාරී ක්‍රියාවක් ලෙසය.

අනතුරුව සිදුවුයේ රාජකීය නාවික යාත්‍රාවේ ගුවන්විදුලි පණිවුඩ හුවමාරුව ඔස්සේ කෝපය මුසු අනතුරු ඇඟවීම් සිදුවීමය. ඒ සමඟ රුසියාවට අයත් Su-24 ජෙට්යානා යාත්‍රාවට ඉහලින් සැරිසරමින් තිබුණි.

එහෙත් රුසියාවේ ප්‍රතික්‍රියා හමුවේ බ්‍රිතාන්‍යය පසුබැසීමකට ලක්වීද?

ඇත්තෙන්ම එවැන්නක් සිදු නොවූ බව ආරක්‍ෂක ආරංචි මාර්ග පවසයි. පසුගිය වසරේ සිදුවීමකදීත් බ්‍රිතාන්‍යය අනුගමනය කර තිබෙන්නේ ඊට සමාන ක්‍රියාවලියකි.

එහෙත් මෙවැනි සිදුවීමක් එපරිද්දෙන් අවතක්සේරු කිරීම ඥානාන්විත නොවනු ඇත.

රුසියාවේ පැරණි ඔත්තුකරුවකුට නොවිචොක් විෂ රසායනය ශරීරගත කරමින් ඔහු මරා දැමීම සඳහා සිය වෙනත් ඔත්තුකරුවන් දෙදෙනකු 2018 වසරේ දී 'සැලිස්බරි' නගරයට එවීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් අනතුරුව රුසියාව සහ බ්‍රිතාන්‍යය අතර දැනටමත් පවතින්නේ පිරිහුණු මට්ටමේ සම්බන්ධතාවකි. එහෙත් එම චෝදනා මොස්කව් පාලනය විසින් බැහැර කරනු ලබයි.

තවත් රුසියානුවකු වූ අලෙක්සන්දර් ලෙත්විනෙන්කෝට 'පොලෝනියම්' විෂ රසායනය සිරුරුගත කිරීම, ක්‍රිමියාව අල්ලාගනු ලැබීම,ස යිබර් ප්‍රහාර සහ බටහිර ප්‍රජාතන්ත්‍රවාදී ආයතන 'හැක් කිරීම' ආදී ක්‍රියාවන් සමුදායක් හේතුවෙන් දෙරට අතර සබඳතාවන්හි පිරිහීම තවත් තීව්‍ර විය.

මෑතදී නිකුත්කරන ලද 'වයිට්හෝල්' වාර්තාව(Whitehall report) මගින් රුසියාව හඳුන්වාදෙනු ලැබ තිබුණේ බ්‍රිතාන්‍යයට ඇති බලවත්ම යුද තර්ජනය ලෙසිනි.

සමස්ත යුක්‍රේනය, කළු මුහුද සහ ක්‍රිමියානු අර්ධද්වීපය ඔවුන්ගේ ''විදේශ සීමාව'' ආසන්නයේ පිහිටි සිය ගෙමිදුල ලෙස රුසියාව සලකන බව මතකයේ තබාගැනීම වැදගත්ය.

KGB සෝවියට් ඔත්තු අංශයේ කර්නල්වරයකු වූ ව්ලදිමීර් පුතින් ක්‍රේම්ලින් පාලනයේ තහවුරුවීමත් සමඟ බටහිර අපේක්ෂාවන් පිළිබඳ නිත්‍ය මතිභ්‍රමයක් ද එම පාලනය තුළ මුල්බැසගෙන ඇත.

මෙයින් වසර තිහකට පෙර රුසියාව යනු සෝවියට් සංගමය නමැති විශාල අධිරාජ්‍යයක හදවත වී තිබුණි. වෝර්සෝ යුද හවුලට අයත් රටවල් ද අනිත් අතින් ඇෆ්ඝනිස්ථානය ද ඇතුළත් එම රාජ්‍ය සංවිධානය ජර්මනියේ දේශසීමාවන් සහ ඉන් ඔබ්බට ද විහිද ගිය එකක් විය.

එහෙත් පෝලන්තය ද ඇතුළුව පැරණි සෝවියට් කඳවුරේ වූ රටවල් සහ බෝල්ටික් රාජ්‍යයන් අද නේටෝ යුද සංවිධානයේ සාමාජිකයෝ වෙති.

එවැනි රාජ්‍ය මණ්ඩලයකට මැදිව සිටින තත්ත්වයක් තුළ තමන් අනාරක්‍ෂිත තත්ත්වයකට පත්ව ඇතැයි යන හැඟීමකින් රුසියාව පෙලෙයි.

එවැනි පසුබිමක් යටතේ බදාදා සිදුවීම හුදෙක් නාටකීය දැක්මක් ලෙස පමණක් පෙනීගියත් එය අනාගතයේ සිදුවීමට ඉඩ ඇති මහා සිදුවීමක පෙරහුරුවක් වීමෙන් අවසන් විය හැකිය.

HMS ඩිෆෙන්ඩර් යාත්‍රාව යනු බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ ප්‍රහාරක ගුවන්යානා ප්‍රවාහක 'HMS ක්වීන් එලිසබත්' (HMS Queen Elizabeth)නෞකාවේ ප්‍රහාරක බල මුළුවේ එක් යාත්‍රාවකි.

එය කළු මුහුදේ සංචාරය සඳහා යොදවනු ලැබ තිබෙන්නේ මාධ්‍යධරණී මුහුදෙහි ක්‍රියාත්මක වීමෙන් අනතුරුවය.

එක්සත් රාජධානියේ ආණ්ඩුව විසින් මෑතදී සිදුකරන ලද ඒකාබද්ධ සමාලෝචනය අනුව එහි ඉදිරිකාලයට බලපාන විදේශ සහ ආරක්ෂක පිළිවෙත යටතේ මෙම නාවික ප්‍රහාරක බලමුළුව ඉතා ඉක්මණින් නැගෙනහිරට මුහුණලා දකුණු-චීන මුහුද කරා යාත්‍රා කරනු ඇත.

එම සංචාරය චීනය දකුණු චීන මුහුදේ අයිතිවාසිකම් කීම සම්බන්ධයෙන් එම මුහුදු සීමාවට අයත් තවත් ජාතීන් කීපයක් සමඟ හවුල්වෙමින් කරනු ලබන අභියෝගයක් වනු ඇත.

චීනය දකුණු චීන මුහුදේ කෘත්‍රිම කොරල් දිවයින් නිමවා ඇත. චීනයට අයත් ගුවන් සහ සමුද්‍රමය මුරසංචාරක යාත්‍රා එහි සැරිසරති. එම මුහුදු කලාපය තම රටට අයත් ජලතීරයක් යයි කියා සිටින බේජිං පාලනය වෙනත් නැව් ඊට ප්‍රවේශවීම සම්බන්ධයෙන් අනතුරු අඟවයි.

එහෙත් එම කලාපයට අයත් රටවල් සහ බටහිර රාජ්‍යයන් එම චීන ස්ථාවරයට එරෙහි වන්නේ එය ජාත්‍යන්තර නියමයට පටහැනි යයි පවසමිනි.

එවැනි පරිසරයක් තුළ බ්‍රිතාන්‍ය නාවික ප්‍රහාරක බලමුළුව දකුණු චීන මුහුද ඔස්සේ සිය සංචාරය ආරම්භ කරත්ම ඒ සම්බන්ධයෙන් චීනයේ ප්‍රතික්‍රියාව කුමක්විය හැකිද යන්න සම්බන්ධයෙන් බොහෝදෙනෙක් හුස්මක් පවා නොගෙන බලාසිටිනු ඇත.

(බ්‍රිතාන්‍ය නාවික හමුදාවට අයත් HMS ඩිෆෙන්ඩර් ප්‍රහාරක යාත්‍රාව බදාදා (ජුනි 23) කළු මුහුද ඔස්සේ යාත්‍රා කිරීම මුල්කර ගනිමින් රුසියාව සහ බ්‍රිතාන්‍යය අතර මතු වූ අර්බුදය සම්බන්ධයෙන් බීබීසී ආරක්‍ෂක තොරතුරු වාර්තාකරු ෆ්‍රෑන්ක් ගාඩ්නර් විසින් කරන ලද විමසුමක් ඇසුරිණි)

කියවන්න;