කොවිඩ්: ඉන්දියාවේ හදන අලුත් එන්නත් - විදගන්න කලින් දැනගන්න

කොවිඩ් වසංගතයේ දෙවන රැල්ල ඉන්දියාවට මාරාන්තික විය. මේ වන විට එහි දරුණු බව අඩුවෙමින් පවතින අතර කොවිඩ් එන්නත් නිෂ්පාදනය කඩිනම් කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබේ.

ඔවුන්ගේ සූදානම දේශීය නිෂ්පාදනයක් වන නොවාවැක්ස් එන්නත භවිත කිරීමටය. එය නිපදවන්නේ ඉන්දියාවේ Serum ආයතනයයි.

එම ආයතනය පවසන පරිදි, මෙම එන්නතේ ඵලදායීතාව 90%කට වඩා වැඩි බව එක්සත් ජනපදයේ සිදුකරන ලද අවසන් අදියරේ සායනික අත්හදා බැලීමෙන් සනාථ වී තිබේ.

මේ අතරතුර ඉන්දියාවේ නිෂ්පාදනය වෙමින් පවතින තවත් එන්නතකින් මාත්‍රා මිලියන 300ක් ඉන්දීය රජය ඇනවුම්කර තිබේ. මෙය නිෂ්පාදනය කරනු ලබන්නේ Biological E නමැති ඉන්දීය සමාගම විසිනි.

ඉන්දියාව මේ වන විට එන්නත් වර්ග තුනක් භාවිත කරමින් මාත්‍රා මිලියන 260ක් ජනතාවට ලබා දී තිබේ. කොවිශීල්ඩ්, කොවැක්සින් සහ ස්පුට්නික් V එම එන්නත් වර්ග තුනයි.

ඉන්දියාවෙන් නිල වශයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන මිලියන 29කි. මෙය දෙවැනි වන්නේ එක්සත් ජනපදයේ නිල වාර්තාවට පමණි. ආසාදිතයන් මිලියන 33ක් එක්සත් ජනපදයෙන් වාර්තා විය. තුන්වැනි ඉහළම නිල වාර්තාව නිකුත් වූයේ බ්‍රසීලයෙනි. ඒ මිලියන 17.5කි.

ලෝකයේ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වූ රටවල් අතරින් තුන්වැනි ස්ථානයේ සිටින්නේ ඉන්දියාවයි. එහි නිල සංඛ්‍යා ලේඛනය අනුව කොවිඩ් මරණ සංඛ්‍යාව 300,000කට අධික ය. ඊට ඉදිරියෙන් සිටින්නේ එක්සත් ජනපදය සහ බ්‍රසීලය පමණි.

මේ වසර අවසානය වන විට සියලුම ඉන්දියානුවන් එන්නත් කිරීම ඉන්දීය රජයේ ඉලක්කයයි. නමුත් එහි වේගය අඩාල වී ඇත්තේ එන්නත් වැඩසටහනේ මන්දගාමී බව, එන්නත් හිඟ වීම සහ එන්නත ලබා ගැනීමට ඇතැමුන් තුළ පවතින දෙගිඩියාව හේතුවෙනි.

ජනවාරියේ පටන් ආරම්භ වූ එන්නත් වැඩසටහන මගින්, තවමත් එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇත්තේ ඉන්දියාවේ ජනගහනයෙන් 3.5%කට පමණි. 15%කට පළමු මාත්‍රාව ලැබී තිබේ.

මේ වන විට ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ් එන්නත් දෙකක් තිබේ. එනම් කොවිශීල්ඩ් සහ කොවැක්සින් යන දෙවර්ගයයි. රුසියානු නිෂ්පාදනයක් වන ස්පුට්නික් V එන්නත ද ඉන්දියානුවන් සඳහා අනුමත වී ඇති අතර ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්දියාවේ භාවිත වී තිබේ.

කොවෝවැක්ස් (Covovax) එන්නේ කවදා ද?

එක්සත් ජනපදයේ ඖෂධ සමාගමක් වන Novavax පසුගිය සැප්තැම්බරයේ දී ඉන්දියාවේ සීරම් ඖෂධ සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කළේ කොවෝවැක්ස් එන්නත් මාත්‍රා බිලියන 2ක් නිෂ්පාදනය කිරීම සඳහා ය.

ලබන සැප්තැම්බරය වන විට කොවෝවැක්ස් එන්නත එළිදක්වන බව සීරම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අදාර් පූනවල්ලා පැවසීය.

ඔහු කියා සිටියේ මෙම එන්නත පිළිබඳව සිදුකළ සායනික අත්හදා බැලීමේ අවසන් නිගමනය ලබන නොවැම්බරය වන විට නිකුත් වනු ඇති බවය. නමුත් ඊට පෙර මෙම එන්නතට අනුමැතිය ලබා ගැනීම සඳහා දැනට පවතින ගෝලීය දත්ත පදනම් කර ගනිමින් අයදුම් කළ හැකිය.

මාත්‍රා දෙකකින් සමන්විත මෙම එන්නත එක්සත් ජනපදයේ සායනික අත්හදා බැලීමකට ලක්විය. බරපතළ ආසාදනයකට ලක්වීමේ අවදානම සහිත පුද්ගලයන් සඳහා මෙම එන්නත 91%ක් ඵලදායී වූ බව එම අත්හදා බැලීමෙන් සනාථ විය. එමෙන්ම රෝගියා මධ්‍යම හෝ අසාධ්‍ය තත්ත්වයට පත්වීම 100%කින් වලක්වා තිබේ.

අලුතින් නිපදවෙන අනෙක් එන්නත කුමක් ද?

මෙය නිපදවනු ලබන්නේ බයෝලොජිකල් E නමැති සමාගම විසිනි. මෙය ඉන්දියාවේ එන්නත් නිෂ්පාදනය කරන පළමු පෞද්ගලික සමාගමයි. මෙම සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන එන්නතේ මාත්‍රා මිලියන 300ක් මිලදී ගැනීම සඳහා ඉන්දීය රජය දැනටමත් ඇනවුම් කර තිබේ.

මෙම ඇනවුමේ වටිනාකම ඩොලර් මිලියන 206කි. හදිසි අනුමැතිය නොලද එන්නතක් වෙනුවෙන් ඉන්දියාව අත්සන් කළ පළමු ගිවිසුම මෙයයි.

එක්සත් ජනපදයේ Dynavax සමාගම සහ Baylor වෛද්‍ය විද්‍යාලය එක්වී මෙම එන්නත සංවර්ධනය කළේය.

තවමත් නමක් යොදා නැති මෙම එන්නතේ තුන්වැනි අදියරේ අත්හදා බැලීම් මේ වන විට සිදු කෙරෙමින් පවතී.

ඉන්දීය රජය විසින් නිකුත් කරනු ලැබූ නිවේදනයක දැක්වුණේ මෙම එන්නත මිනිසුන් දහස් ගණනකට ලබා දෙමින් සිදු කළ දෙවැනි අදියරේ අත්හදා බැලීම් මගින් "මතු බලාපොරොත්තු තැබිය හැකි හොඳ ප්‍රතිඵල" ලබා දී ඇති බවය.

එය ඉදිරි මාස කීපය ඇතුළත භාවිතයට ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව ද එම නිවේදනයේ දැක්වේ.

වෙනත් රටවල භාවිත වෙමින් පැවති එන්නත් කීපයකට පසුගිය අප්‍රේල් මාසයේදී ඉන්දීය රජය විසින් හදිසි අනුමැතියක් ලබා දෙන ලදී. රජය පැවසුවේ රට තුළ භාවිතය සඳහා පවතින එන්නත් ප්‍රමාණය වැඩි කිරීමට සහ එන්නත් කිරීමේ වැඩසටහන වේගවත් කොට වැඩි ප්‍රදේශයක් ආවරණය කිරීමට එම පියවර ගත් බවය.

ඉන් ගම්‍ය වන්නේ ෆයිසර් සහ මොඩර්නා එන්නත් ද ඉන්දියානුවන්ට ලැබීමට හැකියාවක් පවතින බවය.

ස්පුට්නික් V ගැන අප දන්නේ මොනවා ද?

ස්පුට්නික් V රුසියානු නිෂ්පාදනයකි. මෙම එන්නත සංවර්ධනය කරනු ලැබුවේ මොස්කව් නුවර Gamaleya ආයතනය විසිනි.

අවසන් අදියරේ අත්හදා බැලීම් හි ප්‍රතිඵල නිකුත්වීමට ප්‍රථම මෙය ජනතාවට ලබා දීමෙන් අනතුරුව ඒ පිළිබඳව මතභේදකාරී වාර්තා පළවිය. නමුත් විද්‍යාඥයන් දැන් පවසන්නේ එය ප්‍රයෝජනවත් වූ බව මේ වන විට ඔප්පු වී ඇති බවය.

සෙල්සියස් අංශක 2ත් 8ත් අතර උෂ්ණත්වයක මෙම එන්නත ගබඩා කළ යුතුය. එම නිසා සාමාන්‍ය ශීතකරණ භාවිත කරමින් මෙම එන්නත ප්‍රවාහනය කිරීමේ හැකියාව පවතී.

නමුත් එහි දෙවෙනි මාත්‍රාවේ වෙනසක්

කොවිඩ් 19 සඳහා නිෂ්පාදනය වී ඇති අනෙකුත් එන්නත් මෙන් නොව; දින 21කට පසුව ලබා දිය යුතු ස්පුට්නික් V දෙවන මාත්‍රාව, පළමු මාත්‍රාවට වඩා වෙනස් ය.

ස්පුට්නික් එන්නතේ පළමු හා දෙවෙනි මාත්‍රාවන් සඳහා තරමක් වෙනස් වූ වෛරස පිටපත් දෙකක් භාවිත කරයි.

එකම පිටපත දෙවරක් භාවිත කරනවාට වඩා වෙනස් සූත්‍ර දෙකක් භාවිත කිරීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවා දිගු කාලීන ආරක්ෂාවක් ලබා දීම මෙයින් අපේක්ෂා කරයි.

පරීක්ෂණවල දී එන්නත හා සම්බන්ධ කිසිදු බරපතල ප්‍රතික්‍රියාවක් වාර්තා නොවිණි.

මඳ උණ ගතිය, විඩාව, අත් ඉදිමීම වැනි සුළු අතුරු ආබාධ මෙම එන්නත ලබා ගැනීමෙන් පසු ඇතිවිය හැකිය.

කෙසේනමුත්, ස්පුට්නික් වී එන්නත යුරෝපා රටවලට ලබාදීමට යුරෝපා සංගමයේ සෞඛ්‍ය අංශයේ අවසරය තවමත් ලැබී නොමැත. නමුත් ආජන්ටිනාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව, මෙක්සිකෝව, ඊශ්‍රායලය සහ පිලිපීනය ආදී රටවල් 60ක් මෙම එන්නත දැනටමත් භාවිත කරති.

මෙහි පළමු තොගය ඉන්දියාවට ළඟාවූයේ පසුගිය මැයි මාසයේදී ය. එම තොගයේ මාත්‍රා මිලියන 125ක් විය.

එතකොට කොවැක්සින් ?

Covaxin යනු නිෂ්ක්‍රිය එන්නතකි. එනම්, එය සාදා ඇත්තේ මරා දමන ලද කොරෝනාවෛරස යොදා ගෙනය. එය ශරීරගත කිරීම ආරක්ෂා සහිතය.

මෙය නිපදවනු ලැබ ඇත්තේ භාරත් බයෝටෙක් (Bharat Biotech) සමාගම විසිනි. වසර 24කට පෙර ආරම්භ කරන ලද මෙම සමාගම විසින් නිපදවනු ලබන එන්නත් වර්ග 16ක් රටවල් 123කට අපනයනය කරනු ලබයි.

ඔවුන් මෙම කොවිඩ් එන්නත නිපදවීම සඳහා යොදා ගත්තේ ඉන්දියාවේ වෛරස අධ්‍යයන විද්‍යාව පිළිබඳ ජාතික ආයතනය විසින් වෙන්කර ලබා දෙනු ලැබූ වෛරසයකි.

මෙම එන්නතෙහි ඇත්තේ මිය ගිය වෛරසයක් වුවද එය ශරීරගත කළ වහාම සිරුර විසින් එය හඳුනාගනු ලබන අතර ඊට එරෙහිව ක්‍රියාත්මක වීම ඇරඹේ. ප්‍රතිශක්තිකරණ පද්ධතිය වහාම ක්‍රියාත්මක වී ඊට එරෙහිව ප්‍රතිදේහ නිපදවීම ආරම්භ කරයි.

මෙහි දෙවෙනි මාත්‍රාව ලබා දීමට නියම කර ඇත්තේ පළමු මාත්‍රාවෙන් සති හතරකට පසුවය. සෙල්සියස් අංශක 2ත් 8ත් අතර උෂ්ණත්වයක මෙය ගබඩා කර තැබිය හැකිය.

මෙම එන්නතෙහි ඵලදායීතාව 82%ක් බව එහි තුන්වෙනි අදියරේ අත්හදා බැලීම්වලින් ලැබුණු ප්‍රතිඵලවලින් පෙන්නුම් කර තිබේ.

ඉන්දීය බලධාරීන් පසුගිය ජනවාරියේදී මෙම එන්නතට හදිසි අනුමැතියක් ලබා දුන්නේ එහි තුන්වන අදියරේ අත්හදා බැලීම් සිදුකෙරෙමින් පවතින අතරතුරම ය. එම පියවර නිසා මෙම එන්නත පිළිබඳව සැකසංකා මතුවූ අතර වෛද්‍ය විශේෂඥයෝ ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමට ද පටන් ගත්හ.

කොවැක්සින් ගැන මතභේදය කුමක්ද?

මේ සියල්ල මතුවන්නට පටන් ගත්තේ නියාමන බලධාරීන් පසුගිය ජනවාරියේදී මෙම එන්නත පිළිබඳව කළ ප්‍රකාශයකින් පසුවය. ඔවුන් කියා සිටියේ "හදිසි අවස්ථාවන්හිදී අතිශය පූර්වාරක්ෂාවන් යටතේ, පොදු යහපත උදෙසා, විශේෂයෙන්ම නව ප්‍රභේදයන් ආසාදනය වූ විට සායනික අත්හදා බැලීමක් ලෙස මෙම එන්නත සීමිත භාවිතාවක් සඳහා" අනුමත කර ඇති බවය.

යම් එන්නතක අත්හදා බැලීම් තවමත් ක්‍රියාත්මක වෙමින් තිබිය දී එය මහජනතාව වෙනුවෙන් භාවිත කිරීම සඳහා අනුමැතිය ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳව විශේෂඥයෝ විමතිය පළ කළහ.

නමුත් ඖෂධ නියාමන බලධාරීන් මෙන්ම මෙම එන්නත නිෂ්පාදනය කරන්නන් කියා සිටියේ මෙය "ආරක්‍ෂිත එන්නතක් වන අතර එමගින් ශක්තිමත් ප්‍රතිශක්තිකරණයක්" ලබා දෙන බවය.

කෙසේ වෙතත් මෙම එන්නතේ තුන්වැනි අදියරේ අත්හදා බැලීම්වල ප්‍රතිඵල ජූලි මාසයේ දී ප්‍රසිද්ධියට පත් කරන බව භාරත් බයෝටෙක් සමාගම ප්‍රතිඥා දී තිබේ.

කොවිශීල්ඩ් කියන්නේ කුමක්ද?

ඉන්දියාවේ සීරම් ආයතනය (SII) විසින් දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන Oxford-AstraZeneca එන්නත හඳුන්වනු ලබන්නේ Covishield නමිනි.

මෙම එන්නත ද මාත්‍රා දෙකකින් සමන්විතය. දෙවෙනි මාත්‍රාව ලබා දෙන්නේ පළමු මාත්‍රාව ලබා දී සති 4ත් 12ත් අතර කාල පරාසය ඇතුළත ය.

සෙල්සියස් අංශක 2ත් 8ත් අතර උෂ්ණත්වයක මෙම එන්නත ද ආරක්ෂිතව ගබඩා කර තැබිය හැකිය. එබැවින් එය ප්‍රවාහනයට සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන තුළ ගබඩා කර තැබීමට ඉතා පහසුය.

නියමිත කාල පරාසය ඇතුළත මාත්‍රා දෙකම ලබා දීම මගින් Oxford-AstraZeneca එන්නතෙහි ඵලදායීතාව 90%ක් බව, ඒ පිළිබඳව කළ ජාත්‍යන්තර සායනික අත්හදා බැලීම්වලින් සනාථ වී ඇත.

එක්සත් රාජධානියේ සහ බ්‍රසීලයේ සිදුකෙරුණු සායනික අත්හදා බැලීම්වලින්, මෙම එන්නත ඉතා ඵලදායී බව පෙනී ගොස් ඇතැයි කොවිශීල්ඩ් එන්නත නිෂ්පාදනය කරන සීරම් ආයතනය පවසයි. එමගින් මනා ප්‍රතිශක්තියක් ලැබේද සහ අතුරු ආබාධ ඇතිවේද යන්න සොයා බැලීම සඳහා අදියර තුනකින් සමන්විත අත්හදා බැලීම් සම්පුර්ණ කර තිබේ.

ඊට අමතරව තවත් එන්නත් තිබේද?

ආරක්ෂාව සහ ඵලදායීතාව පරීක්ෂා කරමින් විවිධාකාර අත්හදා බැලීම් අදියර මත පවතින එන්නත් කීපයක් ඉන්දියාවේ තිබේ. එනම්,

  • ZyCov-Di නමැති එන්නත සංවර්ධනය කරනු ලැබ ඇත්තේ අහ්මෙදාබාද් හි පිහිටි Zydus-Cadila ආයතනය විසිනි.
  • එක්සත් ජනපදයේ Johnson & Johnson සමාගම සංවර්ධනය කළ එන්නත හයිදරාබාද් හි පිහිටි බයෝලොජිකල් E සමාගම විසින් නිෂ්පාදනය කිරීමට නියමිතය.
  • HGCO19 නැමැති එන්නත පූනේ නගරයේ පිහිටි Genova සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබයි.
  • නාස් පුඩු තුළින් ශරීර ගත කළ හැකි කොවිඩ් එන්නතක් භාරත් බයෝටෙක් සමාගම නිෂ්පාදනය කරමින් සිටී.

ඉන්දීය එන්නත් ලබා ගැනීමට කැමති රටවල් මොනවාද?

මේ වන විට ලතින් ඇමරිකාවේ, ආසියාවේ, අප්‍රිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් රටවල් 95කට ඉන්දීය එන්නත් මාත්‍රා මිලියන 66ක් නැව්ගත කර තිබේ.

එක්සත් රාජධානිය , කැනඩාව, බ්‍රසීලය සහ මෙක්සිකෝව ද ඉන්දීය එන්නත් ලබා ගැනීම සඳහා බලාපොරොත්තුවෙන් සිටිති.

ඉන්දියාවේ නිෂ්පාදිත Covishield සහ Covaxin යන එන්නත් දෙවර්ගයම මේ වන විට අපනයනය කර ඇත. ඇතැම් තොග ත්‍යාග වශයෙන් ලබා දී ඇති අතර නිෂ්පාදකයන් සමඟ ඇතිකරගත් වෙළෙඳ ගිවිසුම් මත ද තවත් තොග අපනයනය කර තිබේ.

මීට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් පිහිටුවාගෙන ඇති Covax නමැති ගෝලීය එන්නත් වැඩසටහන ඔස්සේ ද ඉන්දීය එන්නත් වෙනත් රටවලට ලබා ඇත.

Covax ගෝලීය එන්නත් වැඩසටහනේ ඉලක්කය වී ඇත්තේ වසරක් ඇතුළත රටවල් 190කට එන්නත් මාත්‍රා බිලියන දෙකක් ලබා දීමය.

නමුත් පසුගිය මාර්තුවේ දී Oxford-AstraZeneca එන්නතෙහි ඉන්දීය නිෂ්පාදනය රටින් පිටතට ලබාදීම තාවකාලිකව නතර කිරීමට ඉන්දියාව පියවර ගත්තේය.

ඉන්දීය රජය පැවසුවේ රටේ ආසාදිතයන්ගේ ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් එම නිෂ්පාදනය ඉන්දියානුවන් වෙනුවෙන් අවශ්‍ය වී ඇති බවය.