මදුරුවන් හැක් කිරීමේ 'ආශ්චර්යමත්' ක්‍රමයකින් ඩෙංගු 77% කින් අඩු වේ

ඩෙංගු පතුරන මදුරුවන් හැසිරවීමෙන් සිදුකළ "පෙරළිකාර" පරීක්ෂණයක් නිසා ඩෙංගු උණ රෝගීන් 77% කින් අඩු කර ගැනීමට හැකි වී ඇති බව විද්‍යාඥයෝ පවසති.

"ආශ්චර්යමත්" බැක්ටීරියාවක් භාවිත කර ඩෙංගු රෝගය පතුරවන මදුරුවාගේ ක්‍රියාකාරිත්වය අවම කිරීමට ඔවුන් ක්‍රියා කර ඇත.

මෙම අත්හදා බැලීම ඉන්දුනීසියාවේ යෝග්යාකර්තා නගරයේ සිදු වූ අතර වෛරසය තුරන් කිරීමේ අපේක්ෂාවෙන් එම පරීක්ෂණ පුළුල් කර තිබේ.

ලෝක මදුරු වැඩසටහන් කණ්ඩායම පවසන්නේ මෙය ලොව පුරා පැතිරී ඇති වෛරසයකට විසඳුමක් විය හැකි බවය.

මීට වසර 50 කට පෙර ඩෙංගු රෝගය ගැන අසා තිබුණේ ස්වල්ප දෙනෙක් පමණි. නමුත් එය ඉතා සෙමින් පැතිරුණ වසංගතයක් වූ අතර රෝගීන් ගණන විශාල ලෙස ඉහළ ගොස් තිබේ.

1970 දී රටවල් නවයක් පමණක් දරුණු ඩෙංගු රෝගයට ගොදුරු වී ඇති නමුත් දැන් වසරකට ආසාදන මිලියන 400 ක් පමණ වාර්තා වේ.

මාංශ පේශි හා අස්ථිවල දැඩි වේදනාවක් ඇති කරන නිසා ඩෙංගු පොදුවේ හඳුන්වන්නේ "අස්ථි බිඳෙන උණ" ලෙසය. එමෙන්ම එය විශාල ලෙස පැතිරී ගොස් රෝහල් පිරී යා හැකිය.

සතුරාගේ සතුරා

පරීක්ෂණය සඳහා 'වුල්බකියා (Wolbachia)' නම් බැක්ටීරියාව ආසාදනය වූ මදුරුවන් භාවිත කර තිබිණි. පර්යේෂකයෙකු වන ආචාර්ය කේටි ඇන්ඩර්ස් ඔවුන්ව විස්තර කරන්නේ "ස්වාභාවිකවම ආශ්චර්යමත්" සතුන් ලෙසය.

වුල්බකියා බැක්ටීරියාව මදුරුවාට හානියක් නොකරන නමුත් එය ඩෙංගු වෛරසයට ඇතුළු වීමට අවශ්‍ය, මදුරුවාගේ ශරීරයේ කොටස්වල තැන්පත් වේ.

බැක්ටීරියාව ශරීරය තුළ සම්පත් සඳහා තරගයක නිරත වන නිසා ඩෙංගු වෛරසයට නැවත ප්‍රතිනිර්මාණ වීම වඩාත් අපහසු වේ. එබැවින් මදුරුවා නැවත දෂ්ට කළ විට ඩෙංගු ආසාදනය වීමට ඇති ඉඩකඩ අඩුය.

මේ තොරතුරු ද කියවන්න:

වුල්බකියා ආසාදිත මදුරු බිත්තර මිලියන පහක් පරීක්ෂණවලට භාවිත කර තිබිණි. සෑම සති දෙකකට වරක් බිත්තර සහිත ජලය බාල්දිවල දමා නගරයේ ස්ථාන කීපයක තැන්පත් කරන ලද අතර, ආසාදිත මදුරුවන් ගහනයක් බිහිවීමේ ක්‍රියාවලියට නව මසක් ගත විය.

යෝග්යාකර්තා නගරය කලාප 24 කට බෙදා ඇති නමුත් මදුරුවන් මුදා හරිනු ලැබුවේ ඉන් අඩක පමණි.

පරීක්ෂණ ප්‍රතිඵල New England Journal of Medicine නම් වෛද්‍ය සඟරාවේ ප්‍රකාශයට පත් කළේය. එහි සඳහන් පරිදි, මදුරුවන් මුදා හැරිය පසු ඩෙංගු රෝගීන්ගේ 77% ක අඩුවීමක් සහ රෝහල් ගතවීමට අවශ්‍ය පුද්ගලයින් 86% කින් අවම වී තිබේ.

"එය ඉතා සිත්ගන්නා සුළුයි. අවංකවම කියනවනම් මෙය අප බලාපොරොත්තු වූවාට වඩා හොඳ තත්ත්වයක්," ආචාර්ය කේටි ඇන්ඩර්ස් බීබීසී සේවයට පැවසීය.

මෙම තාක්ෂණය කෙතරම් සාර්ථක වී ඇත්ද යත් මේ වන විට මදුරුවන් මුළු නගරය පුරාම මුදා හැර ඇති අතර, කලාපයේම ඩෙංගු මර්දනය කිරීමේ අරමුණින් ව්‍යාපෘතිය අවට ප්‍රදේශ කරා ව්‍යාප්ත කර ඇත.

ලෝක මදුරු වැඩසටහනේ බලපෑම් තක්සේරු කිරීමේ අධ්‍යක්ෂ වන ආචාර්ය ඇන්ඩර්ස් පැවසුවේ "මෙය පෙරළිකාර ප්‍රතිඵලයක්" බවය.

"ඩෙංගු විශාල මහජන සෞඛ්‍ය ගැටලුවක් වී තිබෙන ලොව පුරා විශාල නගරවල මෙය යෙදවීමෙන් වඩාත් විශාල බලපෑමක් ඇති කළ හැකි යැයි අපි සිතනවා."

වුල්බකියා ඉතා ආකර්ෂණීය ලෙස සිය ධාරකයා හසුරවන අතර මදුරුවාගේ ජනක ශක්තිය ද වෙනස් කරමින් ඒවා ඊළඟ පරම්පරාවේ මදුරුවන්ට ලබා දීම ද සහතික කරයි.

එහි අර්ථය වන්නේ වුල්බකියා එක් වරක් ස්ථාපිත වූ පසු, එය දිගු කලක් රැඳී සිටිමින් ඩෙංගු ආසාදනයෙන් ආරක්ෂා කරන බවය.

මෙය කෘමිනාශක විඳීම හෝ වන්ධ්‍යකරණය කළ පිරිමි මදුරුවන් විශාල ප්‍රමාණයක් මුදා හැරීම වැනි වෙනත් පාලන ක්‍රමවලට වඩා හාත්පසින්ම වෙනස්ය.

"මෙම අධ්‍යනයේ ප්‍රතිඵල ගැන අපි දැඩි ලෙස සතුටු වෙනවා," යෝග්යාකර්තා නගරයේ රෝග නිවාරණ අංශයේ ප්‍රධානී වෛද්‍ය යුදිරියා අමිලියා පැවසීය.

"මෙම ක්‍රමය යෝග්යාකර්තාහි සෑම ප්‍රදේශයකම ක්‍රියාත්මක කළ හැකියි. ඒ වගේම තවදුරටත් ඉන්දුනීසියාවේ සියලුම නගරවල ව්‍යාප්ත කළ හැකියි."

ඩෙංගු රෝගය පතුරන 'ඊඩීස් ඊජිප්ටයි' මදුරුවන්ට සාමාන්‍යයෙන් වුල්බකියා ආසාදනය නොවන බැවින් මෙම අත්හදා බැලීම වසර ගණනාවක පර්යේෂණයකින් පසු ලැබුණු වැදගත් සලකුණකි.

බොස්ටන් විශ්ව විද්‍යාලයේ ගෝලීය සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන ඩේවිඩ් හාමර් පැවසුවේ, මදුරු දෂ්ටනයෙන් වැළඳෙන සිකා, කහ උණ සහ චිකුන්ගුන්යා වැනි රෝග සඳහා ද මෙම ක්‍රමය "ආකර්ෂණීය විභවයක්" වන බවය.