කොවිඩ් 19: එන්නත සම්පුර්ණ කළ අයටත් නැවත වතාවක් හැදෙන්නේ ඇයි?

Pallava Bagla (right) was infected three weeks after he was fully vaccinated

ඡායාරූප මූලාශ්‍රය, PALLAVA BAGLA

ඡායාරූප ශීර්ෂ වැකිය, එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීමෙන් අනතුරුව පල්ලවා බග්ලා (දකුණේ) රෝගී විය
    • Author, සෞතික් බිස්වාස්
    • Role, ඉන්දියාවේ වාර්තාකරු

පල්ලවා බග්ලා දිල්ලියේ මාධ්‍යවේදියෙකි. කොවිඩ් 19 එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීමෙන් අනතුරුව ඔහුට උණ සහ උගුර කැසීම ඇතිවිය. ඇඟපතේ වේදනාවක් ඇති විය.

අප්‍රේල් 22 වෙනිදා සිදු කරන ලද වෛද්‍ය පරීක්ෂණයෙන් තහවුරු වූයේ ඔහුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවය. දින හතරකට පසුව ස්කෑන් තාක්ෂණය යොදා ගනිමින් කරන ලද පරීක්ෂාවකින් ඔහුගේ පෙනහළුවල ද ආසාදිත තත්වයක් පෙන්නුම් කෙරුණි.

රෝග ලක්ෂණ මතුවී දින අටක් යන තුරු දිගටම උණ ගතිය පැවතුණු හෙයින් 58 හැවිරිදි බග්ලා රෝහල් ගත කරන ලදී.

වෛද්‍යවරු රුධිර පරීක්ෂණ කළහ. ස්ටෙරොයිඩ ලබා දුන්හ. බග්ලා දියවැඩියාවෙන් පෙළෙමින් සිටි අයෙකි. ඔහුගේ රුධිරයේ සීනි සාන්ද්‍රණය ඉහළ යමින් පැවතුණි. වාසනාවකට මෙන් රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රණය බරපතල මට්ටමින් පහළ බැස නොතිබුණි.

දින අටකට පසුව බග්ලා රෝහලෙන් පිටවී යාමට පෙර වෛද්‍යවරු ඔහුට ස්කෑන් ඡායාරූප දෙකක් පෙන්වූහ.

එක් ස්කෑන් ඡායාරූපයක දැක්වෙන්නේ කොවිඩ් වැළඳුණු නමුත් ඒ වනවිට එන්නත් ලබා ගෙන නොසිටි පුද්ගලයෙකුගේ පෙනහළුවල තත්වයයි. එම රෝගියා ද දියවැඩියාවෙන් පෙළුණු අයෙකි. බග්ලාගේ වයසේ ම පසුවන පුරුෂයෙකි. අනෙක් ස්කෑන් ඡායාරූපයේ දැක්වෙන්නේ බග්ලාගේ පෙනහළුවල තත්වයයි.

"වෙනස පැහැදිලියි. වෛද්‍යවරු කිව්වේ මම එන්නත ලබාගෙන නොතිබුනා නම් දැඩි සත්කාර ඒකකයේ ඔක්සිජන් යන්ත්‍රයකට මාව සම්බන්ධ කරන්න වෙනවා කියල. කල්තියා මම එන්නත ලබාගෙන තිබුන නිසා මගේ ජීවිතය බේරුනා." බග්ලා පැවසීය.

එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇත්තේ බිලියන 1.3ක් වූ ඉන්දීය ජනගහනයෙන් 3%ක් වැනි සුළු පිරිසකට පමණි. නමුත් එන්නත සම්පුර්ණ කිරීමෙන් දෙසතියකට පසුව කොරෝනාවෛරසය ආසාදනය වූ පිරිසගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතී.

People wearing protective face masks wait to receive a dose of COVISHIELD, a coronavirus disease (COVID-19) vaccine manufactured by Serum Institute of India, at a vaccination centre in New Delhi, India, May 4, 2021.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇත්තේ බිලියන 1.3ක් වූ ඉන්දීය ජනගහනයෙන් 3%ක් වැනි සුළු පිරිසකට පමණි

එවැනි තත්වයක් යටතේ සෞඛ්‍ය සේවකයින්, වෛද්‍යවරුන්, රෝහල් සේවකයින් සහ හෙදියන්ට එහි පීඩාව දරන්නට සිදු වී තිබේ.

පල්ලවා බග්ලා ට අසාදනය වී ඇත්තේ කුමන වෛරස් ප්‍රභේදය දැයි සොයා බැලීම සඳහා වෛද්‍ය පරීක්ෂණයක් සිදු කරනු ලැබිණ.

මෙම පරීක්ෂණයේ අරමුණ වී ඇත්තේ ඉන්දියාව පුරා ව්‍යාප්ත වෙමින් පවතින නව වෛරස් ප්‍රභේද සඳහා එන්නත සම්පුර්ණ කළ පුද්ගලයන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් සැලසී ඇත්ද යන්න සොයා බැලීමය.

කොරෝනාවෛරස් එන්නත් ඵලදායී බව මතභේදයකින් තොරව පිළිගත හැක. නමුත්, නැවත වතාවක් කොවිඩ් 19 වැළඳීම වළක්වාලීමට එම එන්නතට නොහැකිය.

එන්නත ලබා ගැනීම මගින් බොහෝ පුද්ගලයන් අසාධ්‍ය වීම හෝ මරණයට පත්වීම වලක්වා ගත හැකිය.

එම නිසා "එන්නත පරාජය කරමින් ඇතිවන ආසාදන" බලාපොරොත්තු නොවූ දෙයක් නොවේ.

අප්‍රේල් 26 වෙනිදා වන විට එක්සත් ජනපදයේ මිලියන 95ක් එන්නත සම්පුර්ණ කර තිබුණි. ඒ අතරින් 9,045 දෙනෙකුට නැවත වතාවක් කොවිඩ් අසාදනය වූ බව එරට රෝග මර්දන මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

ඉන් 835 දෙනෙකු (9%) රෝහල් ගත කරන ලදී. 132 දෙනෙකු (1%) මරණයට පත් විය. රෝහල් ගත කරන ලද පිරිසෙන් තුනෙන් එකකට සහ මරණයට පත්වූ පිරිසෙන් 15%කට කොවිඩ් රෝග ලක්ෂණ මතු නොවූ අතර මරණයට පත්වූ හේතුව කොවිඩ් 19ට සම්බන්ධයක් නැත.

නිසි දත්ත වාර්තා නොමැතිකම හේතුවෙන් ඉන්දියාවෙන් ලැබෙන සාධක තරමක් අපැහැදිලිය.

නමුත් නැවත වාරයක් කොවිඩ් 19 වැළඳුනු පිරිස ඉන්දියාවේ ඉහළ යමින් පවතී. ඒ අතර එන්නත සම්පුර්ණ කළ සෞඛ්‍ය සේවකයන් විශාල පිරිසක් සිටිති. කීප දෙනෙකු මරණයට පත් වී තිබේ. නමුත් එම මරණ සිදු වූයේ සෘජුවම කොවිඩ් 19 නිසාදැයි යන්න එතරම් පැහැදිලි නැත.

A woman, who came to receive a dose of a coronavirus disease (COVID-19) vaccine, stands in front of a closed gate of a vaccination centre which was closed due to unavailability of the supply of COVID-19 vaccine, in Mumbai, India, May 3, 2021.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, එන්නත් හිඟ වීම හේතුවෙන් ඉන්දියාවේ එන්නත් වැඩසටහන මන්දගාමී විය

නිල වාර්තා සඳහන් කරන්නේ කොවිඩ් එන්නත සම්පුර්ණ කළ සෑම ඉන්දියානුවන් 10,000ක් දෙනා අතුරින් තුන් හතර දෙනෙකුට නැවත කොවිඩ් 19 වැළඳී ඇති බවය.

නමුත් මෙම දත්ත වාර්තා අසම්පුර්ණ බව පෙනෙන්නට තිබේ. මුල් මාස තුන ඇතුළත සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණවලදී, තමන් එන්නත සම්පුර්ණ කර තිබේදැයි යන ප්‍රශ්නය අසා නොමැත.

රෝහල්වලින් ලැබෙන සාක්‍ෂි

එක්සත් ජනපදයේ 'Mayo' සායනයේ මහාචාර්ය වින්සන්ට් රාජ්කුමාර් ප්‍රකාශ කළේ තමන් තමිල්නාඩුවේ ප්‍රධාන රෝහල් දෙකකට කතා කොට විස්තර ලබාගත් බවය. එහිදී දැනගන්නට ලැබී ඇත්තේ එම රෝහල්වල සිටින එන්නත් සම්පුර්ණ කළ සේවකයන්ගෙන් ඉතා සුළු ප්‍රමාණයකට පමණක් නැවත කොවිඩ් 19 වැළඳුණු බවකි.

"එහෙම රෝගී වුණු සුළු දෙනා ඉක්මනින්ම සුවය ලබා තියෙනවා." ඔහු පැවසීය.

දිල්ලි නුවර කොවිඩ් රෝගීන් සඳහා වෙන්වුණු විශාලතම රෝහල වන ලෝක් නායක් ජායි ප්‍රකාශ් නාරායන් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන, එන්නත සම්පුර්ණ කරන ලද වෛද්‍යවරුන්ගෙන් 60%කට නැවත කොවිඩ් වැළඳී ඇති නමුත් ඔවුන්ගෙන් කිසිවෙකුට රෝහල්ගත වීමට අවශ්‍ය නොවූ බව විශේෂඥ වෛද්‍ය ෆාරා හුසේන් පැවසුවාය.

"ඔවුන්ගේ පවුල්වල, කොවිඩ් 19 වැළඳුණු ඇතැම් සාමාජිකයන්ට රෝහල්ගත වන්නට සිදු වුනා." වෛද්‍යවරිය ප්‍රකාශ කළාය.

දිල්ලියේ තවත් රෝහලක සිදු කරන ලද අධ්‍යයනයකින් සනාථ වී ඇත්තේ, එහි සේවකයන් 113 දෙනෙකුගෙන් 15 දෙනෙකුට එන්නත සම්පුර්ණ කර දෙසතියකට පසුව කොවිඩ් 19 වැළඳී ඇති බවය. ඉන් 14 දෙනෙකුට සුළු රෝග ලක්ෂණ මතු වූ අතර එක් අයෙකුට පමණක් රෝහල්ගත වීමට සිදු වී තිබේ.

"එන්නත පරාජය කරන කොවිඩ් වැළඳුණු රෝහල් සේවකයන් ගොඩක් අපි දකිනවා. නමුත් ඉන් බොහෝ පිරිසකට මතුවී ඇත්තේ සුළු රෝගී තත්වයක්. බරපතල ලෙස රෝගී වීම එන්නතින් වළක්වනවා." මෙම අධ්‍යයන වාර්තාවේ සම කර්තෘ වෛද්‍ය අනුප් මිස්රා පැවසීය.

A doctor wearing Personal Protective Equipment (PPE) inside a COVID-19 care center and isolation ward facility near a Hospital in New Delhi, India, 10 May 2021

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාවේ මාරාන්තික මට්ටමකින් පාලනයකින් තොරව ව්‍යාප්තවෙමින් පවතින කොවිඩ් දෙවන රැල්ල හේතුවෙන් වෛරසය විකෘතිවීමට පහසුකරවන බව විද්‍යාඥයෝ පවසති

එන්නත සම්පුර්ණ කළ පසුවත් කොවිඩ් 19 වැළඳුණු සෞඛ්‍ය සේවකයන් හය දෙනෙකුගේ ශ්ලේෂ්මල පරීක්ෂණයකට භාජනය කරන ලදී. මෙම අධ්‍යයනය සිදු කෙරුනේ කේරල ප්‍රාන්තයේ ය.

එම අධ්‍යයන වාර්තාවේ කතුවරයෙකු වන වෛද්‍ය විනෝද් ස්කාරියා පවසන පරිදි එකී රෝගීන්ගෙන් දෙදෙනෙකුට ආසාදනය වී තිබුණේ කොරෝනාවෛරසයේ නව ප්‍රභේදයකි. නමුත් ඔවුනට බරපතල රෝග ලක්ෂණ මතුවී නොතිබිණි.

මෙවැනි ආසාදනයන් ඉන්දියාව පුරා ව්‍යාප්තවීම සහ ඊට එරෙහිව එන්නත ක්‍රියා කරන ආකාරය පිළිබඳව පරීක්ෂා කිරීමට වැඩි දත්ත ප්‍රමාණයක් රැස්කළ යුතු බව විද්‍යාඥයෝ පවසති.

"දැන් මිනිස්සු නිතරම අහන ප්‍රශ්නයක් තමයි එන්නත ලබාගැනීමෙන් පස්සේ නැවතත් කොවිඩ් වැළඳෙනවා කියන්නේ ඇත්තක්ද? කියල." වෛරස පිළිබඳ විශේෂඥ වෛද්‍ය ෂහිඩ් ජමීල් පැවසීය.

"ඒ වගේ අනුමාන වාර්තා නිසා එන්නත ලබාගැනීමට සිටින මිනිස්සු අතරේ දෙගිඩියාවක් ඇතිවෙනවා."

ඉන්දියාවේ එන්නත් වැඩසටහන දුර්වල මට්ටමකින් සිදුවීම හේතුවෙන් 'සමූහ ප්‍රතිශක්තිය' (Herd immunity) පෙනෙන මානයක නොතිබීම බරපතල ප්‍රශ්නයකි. එන්නත ලබාගැනීමට ජනතාව අදිමදි කිරීම මගින් ප්‍රශ්න තවත් නරක අතට පත්වනු ඇත.

ඉන්දියාවේ මාරාන්තික මට්ටමකින් පාලනයකින් තොරව ව්‍යාප්තවෙමින් පවතින කොවිඩ් දෙවන රැල්ල හේතුවෙන් වෛරසය විකෘතිවීමට පහසුකරවන බව විද්‍යාඥයෝ පවසති. බෝවීමේ වේගය වැඩි නව ප්‍රභේද ඇතිවීම මගින් එන්නත් මගින් ලබා දී තිබෙන ප්‍රතිශක්තිය පරාජය වීමට ඉඩකඩ ඇති බව ද ඔවුහු පවසති.

අනාගතයේ දී ඇතිවිය හැකි කොවිඩ් රැලි සඳහා කල්තියා සුදානම් වීමට, වෛරසයේ නව ප්‍රභේද පිළිබඳව දිගින් දිගටම පරීක්ෂා කරමින් සිටීම ඉතා වැදගත් වනු ඇත.

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

අවසාන වශයෙන් විද්‍යාඥයන් කියා සිටින්නේ එන්නතක ඵලදායීතාවය පිළිබඳව විවිධ මට්ටම්වලින් ප්‍රතිඵල දක්නට ලැබෙන නමුත් රෝගය බරපතළ වීම සහ රෝහල්ගතවීම වලක්වාගැනීම සඳහා එමගින් ආරක්ෂාවක් සැලසෙන බවය.

නමුත් එන්නත් මාත්‍රා දෙකම සම්පුර්ණ කිරීමෙන් පසුව ද කොවිඩ් ආසාදනය විය හැකිය. ඔවුන්ගෙන් අන් අයට බෝවීම ද සිදුවනු ඇත. එබැවින් සෞඛ්‍යාරක්‍ෂිත පිළිවෙත් අනුගමනය කිරීම අත් නොහැරිය යුතුය.

මුහුණු ආවරණ පැළඳීම, ජනාකීර්ණ ස්ථානවලින්, ජන ඒකරාශිවීම් වලින් සහ හොඳින් වාතාශ්‍රය හුවමාරු නොවන - වායුසමනය කරන ලද කාර්යාලයීය පරිශ්‍රයන් ගෙන් ඈත් වී සිටීම තවත් බොහෝ කාලයකට පිළිපැදිය යුතු වේ.

ඇතැම් විට මුහුණු ආවරණ දෙකක් පැළඳීම අනිවාර්ය කිරීමට සිදුවිය හැකිය. කේරල ප්‍රාන්තය එවැනි පියවරක් ගෙන තිබේ.

ජනතාවට ලබා දෙන සෞඛ්‍ය පණිවිඩ බොහෝවිට අපැහැදිලි ය. ඒවා නිශ්චිත විය යුතුය. උදාහරණයක් ලෙස දක්වතොත්, එන්නත සම්පුර්ණ කළ උදවියට නිවෙස් තුළ දී හෝ කාර්යාල තුළ දී නිදහසේ හමුවීම් සිදුකළ හැකිද? වැනි කාරනා නිශ්චිතව පැහැදිලි කළ යුතුව පවතී.

"එන්නත වැඩ කරනවා. නමුත්, නොසැලකිලිමත් ලෙස හැසිරීමට හෝ ඔබේ ආරක්ෂාව අතහැර දැමීමට එමගින් ඔබට බලපත්‍රයක් ලැබෙන්නේ නැහැ. ඔබ දිගටම ඉතා පරීක්ෂාකාරීව සිටිය යුතුයි." පල්ලවා බග්ලා අවධාරණය කරයි. ඔහු ඒ බව අත්දැකීමෙන් දනී.