කොරෝනා වෛරස වසංගතය: ආදාහනය සඳහා දිල්ලි නුවර ඉඩ මදි වේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සීඝ්‍රයෙන් ඉහළ යන කෝවිඩ් මරණ සංඛ්‍යාව නිසා නගරයේ මෘත ශරීරාගාර හා ආදාහනාගාර පිරී ඇති බැවින් ආදාහන සඳහා විකල්ප ස්ථාන සොයා ගන්නා ලෙස දිල්ලි නගර බලධාරීන්ට දන්වා ඇත.
වෛරසයේ දෙවෙනි රැල්ල ඉන්දියාවේ සමහර ප්‍රදේශවල විනාශකාරී ලෙස පැතිරෙමින් තිබෙන අතර බ්‍රහස්පතින්දා දින (අප්‍රේල් 29) නව රෝගීන් 386,452 ක් වාර්තා වී තිබේ. එය එක්දිනක් තුළ රටකින් වාර්තා වූ විශාලතම රෝගීන් සංඛ්‍යාවයි.
රට පුරා තවත් මරණ 3,500 ක් වාර්තා වී ඇති අතර ඉන් 400 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන්නේ දිල්ලියෙනි. අගනුවරින් එතරම් මරණ වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.
එරට මුළු ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට මිලියන 18 ඉක්මවා ඇත.
එක්සත් ජනපදයෙන් ලබා දුන් පළමු වෛද්‍ය සැපයුම් තොගය සිකුරාදා (අප්‍රේල් 30) ඉන්දියාවට ලැබුණු අතර, ධවල මන්දිරය පවසන පරිදි එහි ඩොලර් මිලියන 100කට වඩා වැඩි ආධාර ඇත.
නමුත් ඔක්සිජන් සැපයුම සහ රෝහල් ඇඳන් හිඟය ඉන්දියාව පුරා තවමත් දක්නට ලැබෙන අතර කෝවිඩ් රෝගීන්ගේ ඥාතීන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ උපකාර අයැද සිටිති.
මේ තොරතුරු ද කියවන්න:
දිල්ලි නුවර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසුවේ කෝවිඩ්-19 හේතුවෙන් මියගිය පුද්ගලයන් සඳහා වෙන් කර නොමැති ආදාහනාගාරවල පවා, පවුලේ සාමාජිකයන් ආදාහනය කිරීමට මිනිසුන්ට මේ වන විට සිදුව ඇති බවය.
"ඒ නිසා අපි යෝජනා කළා තවත් ආදාහනාගාර පිහිටුවිය යුතුයි කියලා," පොලිස් නිලධාරියා එන්ඩීටීවී පුවත් නාලිකාවට පැවසීය.
කෝවිඩ්-19 හේතුවෙන් මියගිය පුද්ගලයින් ආදාහනය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය වසරේදී සවිස්තරාත්මක මාර්ගෝපදේශ නිකුත් කළේය. වෛරසය බෝවීම වළක්වා ගැනීම සඳහාවූ විශේෂ ක්‍රියාමාර්ග ද එහි ඇතුළත්ව තිබිණි.
වසංගතය පාලනය කිරීම සහ මෑත සතිවලදී විශාල මැතිවරණ රැලි සහ ආගමික උත්සව පැවැත්වීමට ඉඩදීමට ගත් තීරණ සම්බන්ධයෙන් ඉන්දියාවේ මධ්‍යම රජය දැඩි විවේචනවලට මුහුණ දී සිටියි.
බ්‍රහස්පතින්දා (අප්‍රේල් 29) දින ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යවරයා රජය වෙනුවෙන් පෙනී සිටිමින් පැවසුවේ එරට මරණ අනුපාතය ලෝකයේ අවම අගයක් ගන්නා බවත් ඔක්සිජන් සැපයීම "ප්‍රමාණවත්" බවත් ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සෞඛ්‍ය අමාත්‍යය හර්ෂ් වර්ධන් ඒඑන්අයි (ANI) පුවත් ඒජන්සියට පැවසුවේ විදේශයන්ගෙන් ඇතුළු "බොහෝ ක්‍රමවලින් ඔක්සිජන් දැන් ලබා ගත හැකි" බවත් ඒවා ගබඩා කිරීම සහ 'ක්‍රයෝජනික්' ටැංකි ද සකස් කරමින් සිටින බවත්ය.
කෝවිඩ් පරීක්ෂණ කට්ටල මිලියනයකට ආසන්න ප්‍රමාණයක් සහ එන් 95 මුහුණු ආවරණ 100,000ක් රැගත් එක්සත් ජනපද හමුදා ගුවන් යානයක් සිකුරාදා (අප්‍රේල් 30) උදෑසන දිල්ලි නගරයට ගොඩ බැස්සේය.
එක්සත් රාජධානිය ද මෙම සතිය මුලදී ඉන්දියාවට 'වෙන්ටිලේටර්' පරිත්‍යාග කළේය.
කෙසේවෙතත්, ඉන්දියාවේ බොහෝ විශේෂඥයන් පවසන්නේ තවත් උපකරණ අවශ්‍ය බවය. අඟහරුවාදා (අප්‍රේල් 27) මුම්බායි හි ආචාර්ය සරීර් උඩ්වාඩියා බීබීසී සේවයට කියා සිටියේ මෙම ආධාර "සාගරයට දිය බිඳක්" පමණක් වන බවය.









