ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සුදු වර්ගවාදය විසින් අමතක කළ කළු සහ ආසියානු යුද සෙබළුන්
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය වෙනුවෙන් සටන් වැදෙමින් ජීවිත පූජාකරන ලද කළු හා ආසියානු හමුදා භටයන් දස දහස් ගණනක් අනුස්මරණය කිරීම සඳහා පියවර නොගැනීම සම්බන්ධයෙන් දෝෂාරෝපණ එල්ලවෙමින් පවතී. එම හමුදා භටයන් අමතක කෙරෙන්නේ 'පැතිර පවතින ජාතිවාදය' නිසා බවත් එම කරුණු අනාවරණය කරනු ලබන වාර්තාව මගින් පෙන්වා දෙයි.
සුදු ජාතික හමුදා භටයන්ට සම මට්ටමින් කළු සහ ආසියානු යුද හමුදා භටයන් විධිමත්ව සමරනු නොලැබීම අනාවරණය වීමෙන් අනතුරුව යුද මරණ අනුස්මරණ සම්බන්ධයෙන් කටයුතු කරන පොදුරාජ්‍ය මණ්ඩලීය කොමිසම (The Commonwealth War Graves Commission) ඒ සම්බන්ධයෙන් සමාව අයැද සිටියේය.
''මෙයින් ශතවර්ෂයකට පෙර සිදුවූ එම වරද එදාත් වැරදියි,අදත් වැරදියි'' එම කොමිෂන් සභාව පවසයි.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය වෙනුවෙන් සටන් වැදුණු කළු සහ ආසියානු සොල්දාදුවන් නිසි පරිදි අනුස්මරණය කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය බ්‍රහස්පතින්දා (අප්‍රියෙල් 22) සමාව අයැද සිටියේය.
පාර්ලිමේන්තුව අමතා අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය අරක්ෂක ලේකම් බෙන් වොලස් (Ben Wallace) ''පළමු ලෝක මහා සංග්‍රාමයෙන් පසු අගතියක් සිදුව ඇති බවට සැකයක් නැතැයි'' කියා සිටියේය.
එම අගතිය හෙළිදරව් කිරීම සඳහා විශේෂ කාර්යභාරයක් ඉටුකළ බ්‍රිතාන්‍ය ලේබර් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩේවිඩ් ලැමි (David Lammy) විසින් එපරිද්දෙන් ඉතිහාසය නිවැරැදි කරනු ලැබීම විග්‍රහකරන ලද්දේ "ඉතාම වැදගත් ඓතිහාසික මොහොතක්" ලෙස ය.
බ්‍රිතාන්‍ය ආරක්ෂකලේකම් බෙන් වොලස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතමින් මෙසේ සඳහන් කළේය.
''යුද මරණ අනුස්මරණ සම්බන්ධයෙන් කටයුතු කරන පොදුරාජ්‍ය මණ්ඩලීය කොමිසම සහ එදා බලයේ සිටි මෙන්ම වර්තමානයේ බලයේ සිටින බ්‍රිතාන්‍ය ආණ්ඩු වෙනුවෙන් සිදුව ඇති වරද සහ තත්ත්වය නිවැරැදි කරනු ලැබීමට මෙතරම් කාලයක් ගතවීම සම්බන්ධයෙන් දැඩි කණගාටුව පළකරනවා''
''අපට අතීතය වෙනස් කරන්න බැහැ. නමුත් තත්ත්වය සංශෝධනය කරමින් අදාළ ක්‍රියාමාර්ග ගැනීමට අපට හැකියාවක් තියෙනවා'' බ්‍රිතාන්‍ය ආරක්‍ෂක ලේකම්වරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලැමි වැඩිදුරටත් සඳහන් කළේ '' යුද්ධයේදී අමතක කර දමන ලද සොල්දාදුවන්ගේ නම් ලේඛනාගාරවලින් සොයාගැනීමට හැකියාවක් තිබේ නම් ඒ සඳහා පියවර ගත යුතු අතර ඒ ඒ රටවල ජනතාව එම භටයන් සැමරීමට මනාප ක්‍රමවේදයක් තහවුරු කළ යුතුව ඇති'' බවය.
පළමු ලෝක මහා සංග්‍රාමයේ පටන් යුද්ධයට ගොදුරු වූ වැඩි වශයෙන් අප්‍රිකානු සහ මැද පෙරදිග භටයන් අඩු තරමින් 116,000ක් පිළිබඳ වාර්තා වන බව අදාළ පරීක්ෂණය මගින් සොයාගනු ලැබ තිබුණි.
''එම භටයන් ඔවුන්ගේ නම්වලින් අනුස්මරණය නොකෙරුණු අතර ඇතැම්විට කෙසේවත් සමරනු ලැබ නැතැයි'' එම වාර්තාවේ සඳහන් වෙයි.
එහෙත් බ්‍රිතානයේ පළකෙරෙන 'ද ගාර්ඩියන්' (The Guardian) පුවත්පත මගින් පළකරනු ලැබ ඇති වාර්තාවක් අනුව අමතක කරනු ලැබ ඇති කළු සහ ආසියානු යුද භටයන්ගේ සංඛ්‍යාව 350,000ක් තරම් ඉතා ඉහළ මට්ටමේ ගණනකි.
1923 තරම් ඈත අවධියක බ්‍රිතාන්‍ය යටත්විජිතයක් භාරව සිටි ආණ්ඩුකාරයකු විසින් කරන ලද ප්‍රකාශයක් 'ද ගාර්ඩියන්' පුවත්පතෙහි උපුටා දක්වා ඇත.
''සාමාන්‍ය ස්වදේශිකයකු සොහොන් කොතක ඔහුගේ නාමය සටහන් කෙරෙන මට්ටමින් පිළිගැනීමකට හෝ අගය කරනු ලැබීමකට භාජනය වන්නේ නැහැ''
ගැටුම්වලදී මරණයට පත් ආසියානු සහ අප්‍රිකානු භටයන් 45,000-54,000ත් අතර පිරිසක් ''අසමාන මට්ටමකින් අනුස්මරණය'' කරනු ලැබ ඇති බවත් යුද මරණ අනුස්මරණ සම්බන්ධයෙන් කටයුතු කරන පොදුරාජ්‍ය මණ්ඩලීය කොමිසම පෙන්වා දෙයි
ඇතැම් හමුදා භටයන් අනුස්මරණය කර තිබුණේ සාමූහික වශයෙනි. එහෙත් එම කළු සහ ආසියානු භටයන්ගේ සගයන්ව සිටි සුදු ජාතික සෙබළුන්ගේ සොහොන්වල ඔවුන්ගේ හිසට ඉහළින් නම් කැටයම් කරන ලද සොහොන්කොත් ඉදිකර තිබෙන අතර එම සුදු ජාතික භටයන් අනුස්මරණය කර තිබෙන්නේ ඔවුන්ගේ නම් සඳහන් කරමිනි.
අහිමි වූ සෙසු සොල්දාදුවන් ගේ නම් ලියාපදිංචි කිරීමක් හැර ඉන් ඔබ්බට ගොස් ඔවුන්ගේ නම් සඳහන් සොහොන්කොත් ඉදිකිරීමක් සිදුකර නැත.
එක් එක් හමුදා භටයා නමින් සඳහන් කරමින් විධිමත්ව අනුස්මරණය කරනු නොලැබීමට හේතුව ''අදාළ තොරතුරු හිඟය,වෙනත් සංවිධානවලින් උරුම වූ වැරදි සහ යටත්විජිත පරිපාලන නිලධාරීන්ගේ මතවාදයන් වන'' බව ඉහත සඳහන් කරන ලද වාර්තාවේ නිගමනය වී ඇත.
තවදුරටත් අදහස් දක්වන පොදුරාජ්‍ය මණ්ඩලීය කොමිෂන් සභා වාර්තාව මෙසේ සඳහන් කරයි.
''කෙසේවුවද, මේ සියල්ලට යටින් දිවයන වෙනත් දෙයක් ඇත.එනම්, මුල්බැසගත් අගතිගාමී ආකල්ප, පූර්ව නිගමන සහ සමකාලීන අධිරාජ්‍යවාදී ආකල්ප සමඟ බැඳුන පැතිර පැවතුන ජාතිවාදය ඊට හේතු වී ඇත''
පළමු ලෝක මහා යුද්ධයට යෙදවූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සොල්දාදුවන්
පළමු ලෝක මහා යුද්ධය සැබැවින්ම පළමු ජගත් සංග්‍රාමයයි. ප්‍රංශයේ අගල්වල පමණක් නොව එම යුද්ධය මැදපෙරදිගටත්, ආසියාවට සහ අප්‍රිකාවටත් පැතිර ගියේය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලකයෝ සිය යටත්විජිතවල දශ ලක්ෂ ගණනක් මිනිසුන් යුද්ධය සඳහා යොදාගත්හ.
එවක පාකිස්ථානය සහ බංග්ලාදේශයත් ඇතුළත් එදා ඉන්දියාවෙන් යුද්ධයට යොදාගන්නා ලද සොල්දාදුවන්ගේ සංඛ්‍යාව ලක්ෂ දාහතරක්(දශලක්‍ෂ 1.4) තරම් විශාල පිරිසකි.
'ඉම්පීරියල් යුද කෞතුකාරය' සතු වාර්තාවලට අනුව 1918 නොවැම්බර් මාසය වනවිට නැගෙනහිර අප්‍රිකානු සමස්ත බ්‍රිතාන්‍ය හමුදාව ප්‍රධාන වශයෙන් සමන්විත වූයේ අප්‍රිකානු ජාතිකයන්ගෙනි.
අඩුතරමින් 180,000ක් අප්‍රිකානුවන් නැගෙනහිර අප්‍රිකාවේ ප්‍රවාහන අංශයේ රෙජිමේන්තුවල යොදවා ඇති අතර ඔවුහු යුද පෙරමුණට අවශ්‍ය සැපයුම් සම්පාදනය කළහ.
'ජාතික යුද කෞතුකාගාරය' පවසන ආකාරයට ජැමෙයිකාවෙන් බඳවා ගන්නා ලද 10,000ක් ද ඇතුළුව පළමු ලෝක මහා යුද්ධයේ දී බටහිර ඉන්දීය කොදෙව්වාසීන් 15,000ක් පමණ පළමු ලෝක යුද්ධයට බඳවා ගෙන ඇත.
එපමණක් නොව මහා බ්‍රිතාන්‍ය යටත් විජිත වූ කැනඩාව, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ රොඩේෂියාව (දැන් සිම්බාබ්වේ) යන රටවලින් ද යුද්ධය සඳහා මිනිසුන් යවා ඇත.
මේ අනුව බ්‍රිතාන්‍ය හමුදාවට මහාද්වීප හයකින් සොල්දාදුවන් අයත්විය. එනම් යුරෝපය, උතුරු ඇමෙරිකාව, දකුණු ඇමෙරිකාව, ඔස්ට්‍රලේසියාව,ආසියාව සහ අප්‍රිකාව යන මහාද්වීප හයයි.
කියවන්න;