ඉතියෝපියානු හමුදා විසින් බීබීසී මාධ්‍යවේදියා අත්අඩංගුවට ගනු ලැබීම සම්බන්ධයෙන් කරුණු විමසීමක්

ඉතියෝපියානු පාලනයට අයත්, ගැටුම්කාරී තත්ත්වයක් පවතින 'ටිග්‍රේ' (Tigray) පළාතේ දී BBC මාධ්‍යවේදියෙක් එහි සිටින හමුදා විසින් රඳවාගනු ලැබ ඇත.

BBC 'ටිග්‍රින්යා' අංශය වෙනුවෙන් මාධ්‍යකරණයේ නිරතවෙමින් සිටි ගිර්මේ ගෙබ්රු (Girmay Gebru) සහ තවත් හතරදෙනෙක් ටිග්‍රේ' (Tigray) පළාතේ ප්‍රාදේශීය අගනුවර වන 'මෙකෙලේ'(Mekelle) නගරයේ ආපනශාලාවක සිටියදී හමුදා භටයන් විසින් රැගෙන යන ලද බව එම අත්අඩංගුවට ගනු ලැබීම සිදු වූ අවස්ථාවේ එහි සිටි පුද්ගලයෝ පවසති.

මාධ්‍යවේදී ගිර්මේ, 'මෙකෙලේ' ප්‍රාදේශීය අගනුවර යුදහමුදා කඳවුරකට රැගෙනගොස් ඇති බවත් වාර්තා වෙයි.

සිය මාධ්‍යවේදියා අත්අඩංගුවට ගනු ලැබීමට තුඩු දුන් හේතු තහවුරුකර ගැනීමට BBC කටයුතු කරමින් ඇති අතර අදාළ කාරණය සම්බන්ධයෙන් ඉතියෝපියානු බලධාරීන්ට ඒ සම්බන්ධයෙන් සිය කණස්සල්ල පළකිරීමට ද බලාපොරොත්තු වෙයි.

BBC මාධ්‍යවේදියා පමණක් නොව, තවත් ඉතියෝපියානු මාධ්‍යවේදියෙක් සහ 'Financial Times' පුවත්පතට සහ AFP මාධ්‍යජාලයට අයත් පරිවර්තකයන් දෙදෙනෙක් ද පසුගියදා රඳවාගනු ලැබ ඇත.

ඉතියෝපියානු ආණ්ඩුවේ හමුදා පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පටන් 'ටිග්‍රේ' පළාතේ කැරලිකාර හමුදාවන්ට එරෙහි සටනක නිරතව සිටිති. එම ගැටුම් සමඟ එම පළාතේ මාස කීපයක් තිස්සේ මාධ්‍ය වාරණයක් බල පැවැත්වුණු අතර, ජාත්‍යන්තර ජනමාධ්‍ය ආයතන කීපයකට එම පළාතට පිවිසීම සඳහා බලධාරීන්ගෙන් පසුගිය සතියේ අවසර ලැබුණි.

ඒ අනුව 'Financial Times' පුවත්පතට සහ AFP මාධ්‍යජාලයට 'ටිග්‍රේ' පළාතේ මාධ්‍යකරණය සඳහා අවසර ලැබී ඇත.

BBC මාධ්‍යවේදියා අත්අඩංගුවට ගැනීම දුටු පුද්ගලයන් පවසන්නේ යුදහමුදා නිල ඇඳුමින් සැරසුන සොල්දාදුවන් විසින් ඔහු රැගෙන යන ලද බවය.

''අපි අපේ අප්‍රසාදය ඉතියෝපියානු බලධාරීන්ට දැනුම් දුන්නා. අපි ඔවුන්ගේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් 'සිටිනවා'' ප්‍රකාශකයෙක් BBC සමග පැවසීය.

'ටිග්‍රේ' විමුක්ති පෙරමුණට' එරෙහි සටනින් තමන් ජයග්‍රහණය කළ බවක් ඉතියෝපියානු ආණ්ඩුව කියා සිටියත් 'ටිග්‍රේ'පළාතේ සටන් දිගටම පවතින බව වාර්තා වෙයි.

එම ගැටුම් හේතුවෙන් ජීවිත සියගණනක් විනාශ වී ඇති අතර,දස දහස් ගණනක් ජනතාවට උන්හිටිතැන් අහිමි වී ගොසිනි.

ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වය විසින්ම සිදුකරනු ලබන දරුණු ක්‍රියා සහ එහි මතු වී ඇති මානවීය අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමින් විරෝධය පළවී ඇතැයි වාර්තාකරුවෝ පවසති.

ඉතියෝපියානු පාලක පක්ෂයේ නිලධාරියෙක් මෑතදී අනතුරු ඇඟවීමක් කරමින් ''ජාත්‍යන්තර මාධ්‍ය නොමග යවනු ලබන වැරදි තොරතුරු පතුරුවා හරින්නන්ට එරෙහිව පියවර ගන්නා'' බව කියා සිටියේය.

ලොවපුරා මාධ්‍ය දඩයමක්

පසුගිය 2020 වසරේ අවසානය වනවිට ලෝකය පුරා හාරසීයකට අසන්න මාධ්‍යවේදීන් පිරිසක් ඒ ඒ රටවල බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි 'දේශසීමා නොමැති මාධ්‍යවේදීන්ගේ සංවිධානය' (RSF) පවසයි. එම සංවිධානයේ වාර්ෂික වාර්තාව අනුව පසුගිය වසරේ දෙසැම්බර් මාසය වනවිට අඩුතරමින් මාධ්‍යවේදී 387 දෙනෙක් සිරගත කරනු ලැබ සිටියහ.

එම වාර්තාව අනුව මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගනු ලැබීම අතින් පළමුතැන චීනයට හිමිව ඇත. චීන බලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නාලද මාධ්‍යවේදීන් සංඛ්‍යාව 117කි. එම කාරණය අතින් චීනයට පසු පිළිවෙලින් සිටින රටවල් වන්නේ සෞදි අරාබිය, ඊජිප්තුව, වියට්නාමය සහ සිරියාවයි.

'දේශසීමා නොමැති මාධ්‍යවේදීන්ගේ සංවිධානය' (RSF) පවසන ආකාරයට 2020 වසර ඇතුළත අත්අඩංගුවට ගෙන ඇති මාධ්‍යවේදිනියන්ගේ සංඛ්‍යාව 42කි.

ලෝකයේ රටවල් 180ක දර්ශකයෙහි ඉතියෝපියාවට හිමිවන්නේ 99 වැනි ස්ථානයයි.

තවත් තොරතුරු;