ඉන්දියාවේ කුරුළු උණ: පක්ෂීන් දහස් ගණනක් මරණයට

ඡායාරූප මූලාශ්‍රය, Ani
ඉන්දියාවේ තාරාවන්, කපුටන් සහ පාත්තයන් අතර 'කුරුළු උණ' රෝගය පැතිර යමින් පවතින බව සනාථ වීමත් සමඟ එරට මාංශ සඳහා ඇතිකරන පක්ෂීන් දහස් ගණනක් මරා දැමීමට පියවර ගෙන තිබේ.
H5N8 වෛරස් මාදිලිය ඉන්දීය බලධාරීන් විසින් පසුගිය සතියේ සොයා ගන්නා ලද්දේ ඉන්දීය ප්‍රාන්ත කීපයක ම තැනින් තැන පක්ෂීන් සමූහ වශයෙන් මැරී සිටිනු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.
මෙම වෛරසය රට පුරා ව්‍යාප්ත වීම වලක්වා ගැනීම සඳහා "හදිසි පියවර" ගන්නා ලෙස දන්වමින් ඉන්දීය මධ්‍යම ආණ්ඩුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
කුරුළු උණ ඇතිකරවන බොහෝ වෛරස් මාදිලි මිනිස් සිරුරට අඩු අවදානමක් සහිත නමුත් මරණයට පත් වූ හෝ රෝගී තත්වයේ පසුවන පක්ෂීන් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසට ජනතාවට උපදෙස් ලබා දී ඇත.
මෙම අනතුරු ඇඟවීම නිකුත් වන්නේ කොරෝනාවෛරස් වසංගතයෙන් ඉන්දියාව දැඩි පීඩාවකට පත්වී සිටින අතරතුරය.
ඉන්දියාව පුරා මිලියන ගණනක් ජනතාවට කොවිඩ් 19 එන්නත ලබා දීම සඳහා මහා පරිමානයේ වැඩපිළිවෙලක් ද ඒ සමඟම ක්‍රියාත්මක කිරීමට ඉන්දීය බලධාරීහු කටයුතු කරමින් සිටිති.
මෙවැනි තත්වයක් යටතේ මෙම කුරුළු උණ පිළිබඳව නිකුත් කෙරුණු නිවේදනයට කඩිනම් ප්‍රතිචාර දක්වමින්, රටපුරා මාංශ සඳහා ඇතිකරන පක්ෂීන් අතර සිටින රෝගී පක්ෂීන් වෙනකොට මරා දැමීම ආරම්භ කෙරුණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඇතැම් දිස්ත්‍රික්ක තුළ පවත්වාගෙන මාංශ වෙළඳසැල් වසා දමා ඇති අතර බිත්තර අළෙවි කිරීම නතර කර තිබේ.
මෙම වෛරසය තවත් පක්ෂි වර්ග බොහොමයකට ද ආසාදනය වී ඇති බව සොයා ගෙන ඇත.
පශු වෛද්‍ය වික්‍රම් සිං බීබීසී හින්දි සේවයට ප්‍රකාශ කළේ, සංක්‍රමණික පක්ෂීන් 2,400ක් පමණ උතුරු ඉන්දියාවේ හිමාචාල් ප්‍රාන්තයේ පොං ඩෑම් විල අවට මැරී වැටී ඇති බවය.
මරණයට පත් වී ඇති මෙම පක්ෂීන් අතර බහුතරය සයිබීරියාවේ සහ මොන්ගෝලියාවේ සිට සංක්‍රමණය වන පාත්තයන් වර්ගයකි.
"මෙම විල අවට කිලෝ මීටර 10ක පමණ කලාපය තුළ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. මෙම කලාපය තුළ මාංශ වෙළඳ සැල් නම් නැහැ." පශුවෛද්‍ය වික්‍රම් සිං පැවසීය.
මේ අතර තාරාවන් 12,000ක් පමණ මරණයට පත් වී ඇති බව දකුණු ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන් වාර්තා විය. එම නිසා සත්ව ගොවිපල තුළ සිටින තාරාවන් 36,000ක් පමණ මරා දැමීමට බලධාරීහු සැලසුම් නිවේදනය කළහ.

ඡායාරූප මූලාශ්‍රය, ANI
මධ්‍යම ඉන්දියාවේ පිහිටි 'මධ්‍ය ප්‍රදේශ්' ප්‍රාන්තයෙන් වාර්තා වූයේ පසුගිය දින 10 ඇතුළත කපුටන් සිය ගණනක් මරණයට පත් වී ඇති බවය. එමෙන්ම ඊට පසු දින කීපය තුළ ලිහිණියන් සහ පරෙවියන් ද මරණයට පත්වෙමින් සිටින බව එම ප්‍රාන්තයෙන් වාර්තා විය.
කපුටන් 50ක් පමණ එකවර මිය ගොස් සිටි ඉන්දෝරේ නගරය අවට වැසියන් අතර සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස හෝ උන පවතින කිසිවෙකු වේදැයි බලධාරීහු සෝදිසි කරමින් සිටිති.
ඔවුන් බීබීසී හින්දි සේවයට ප්‍රකාශ කළේ එම ප්‍රාන්තය පුරා අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර මෙම තත්වය සමනය කර ගැනීම සඳහා පාලක මධ්‍යස්ථානයක් ද පිහිටුවා ඇති බවය.
උතුරු ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයේ ගොවිපල තුළ ඇතිකරන පක්ෂීන් සිය ගණනක් ද මිය ගොස් ඇති බව වාර්තා වුව ද එම පක්ෂීන්ට කුරුළු උන වැළඳී ඇත්දැයි තවමත් තහවුරු වී නොමැත.
ගුජරාත් සහ රාජස්තාන් ප්‍රාන්ත තුළ ද කපුටන් සහ තවත් පක්ෂීන් වර්ග මරණයට පත් වී ඇති බව නිරීක්ෂණය වීමෙන් අනතුරුව එම ප්‍රාන්ත වැසියන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.










