කොරෝනා වෛරසයේ අලුත් ප්‍රභේදය ඉන්දියාවටත් ඇවිත්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වැඩි වේගයකින් ආසාදනය වෙමින් පවතින කොරෝනාවෛරසයේ අලුත් ප්‍රභේදය ඉන්දියාවට ද පැමිණ ඇති බව තහවුරු කර තිබේ. මෙම නව ප්‍රභේදය මුලින්ම වාර්තා වූයේ එක්සත් රාජධානියෙනි.
එක්සත් රාජධානියේ සිට ඉන්දියාවට පැමිණි පුද්ගලයන් හය දෙනෙකු හුදෙකලා කොට තබා ඇති බව ඉන්දීය බලධාරීහු පැවසුහ.
එක්සත් රාජධානිය වෙත යැවෙන සහ එහි සිට පැමිණෙන සියලු ගුවන් ගමන් නතරකිරීමට පියවර ගත් රටවල් අතරට ඉන්දියාව ද එක්විය.
කොවිඩ් 19 රෝගය ඇතිකරවන කොරෝනාවෛරසයේ මෙම නව ප්‍රභේදය ආසාදනය වීමේ වේගය වැඩි බවට හඳුනාගෙන ඇතත් එය කලින් තිබූ ප්‍රභේදයට වඩා භයානක ප්‍රතිඵල ඇතිකරවන්නක් බවට තවම හඳුනාගෙන නැතැයි විශේෂඥයෝ පවසති.

ඡායාරූප මූලාශ්‍රය, EPA
ඉන්දියාවේ මේවන විට මිලියන 10කට අධික ආසාදිතයන් ප්‍රමාණයක් නිල වශයෙන් වාර්තා වී ඇත. එක්සත් ජනපදයට පසුව වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි.
මෙම වෛරසයේ අලුත් මාදිලිය "මහත් විනාශයක්" ඇතිකරවිය හැකි බවත් "සෞඛ්‍ය සේවා පද්ධතිය පාලනයකින් තොර තත්වයකට පත් කරවිය හැකි" බවත් කොවිඩ් 19 රෝගීන් සිය ගණනකට ප්‍රතිකාර කළ වෛද්‍ය විශේෂඥ ඒ ෆතාවුදීන් මීට පෙර බීබීසීයට පවසා තිබුණි.
මෙම නව ප්‍රභේදය ආසාදනය වී ඇති හය දෙනා ගේ පවුලේ සාමාජිකයන් සහ ආශ්‍රිතයන් හඳුනා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු දැනටමත් දියත් කර තිබේ.
ඉන්දීය බලධාරීන් නිකුත් කර තිබූ නිල නිවේදනයක දැක්වුණේ එක්සත් රාජධානියේ සිට පැමිණෙන සියලු මගින් PCR පරීක්ෂණයක ලක් කිරීම සඳහා අවශ්‍ය කටයුතු ඉන්දියාවේ සෑම ගුවන්තොටුපොළක ම සලසා ඇති බවය. යම් හෙයකින් ආසාදිතයෙකු සොයා ගනු ලැබුණේ නම් වෛරසයේ මාදිලිය සනාත කර ගැනීම සඳහා එම සාම්පල රසායනාගාර වෙත යොමු කරවන බව එම නිවේදනයේ සඳහන් වේ.
පසුගිය මාසය ඇතුළත පමණක් 33,000ක් පමණ පිරිස එක්සත් රාජධානියේ සිට ඉන්දියාවට පැමිණ තිබේ. මෙම පිරිස අතුරින් 114 දෙනෙකු ආසාදිතයන් බවට තහවුරු විය. ඔවුන් සියලු දෙනාගෙන් ලබා ගත් සාම්පල රසායනාගාර වෙත යවා ඇති බව ඉහත කී නිවේදනයේ දැක්වේ.
කෝවිඩ් 19 ඇතිකරවන කොරෝනාවෛරසයේ නව ප්‍රභේදයක් සොයා ගත් ප්‍රවෘත්තිය පළවීමත් සමඟ පසුගිය සතියේ ලොව පුරා සංචාරක සීමා දැඩි කෙරුණි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
මෙම නව වෛරස් ප්‍රභේදය මේ වනවිට කැනඩාව, ජපානය, ස්පාඤය, ස්වීඩනය සහ ප්‍රංශය ආදී රටවල් කීපයකින් ම වාර්තා වී තිබේ.
එක්සත් රාජධානිය තුළ කොවිඩ් 19 රෝගීන් වාර්තා වීම "ඉතා ඉහළ" මට්ටමකට පැමිණීම පිළිබඳව ඊයේ (සඳුදා) බ්‍රිතාන්‍ය බලධාරීන් අනතුරු අඟවා තිබුණි. ඊයේ දවස (දෙසැම්බර් 28) ඇතුළත පමණක් එක්සත් රාජධානියෙන් ආසාදිතයන් 41,385ක් වාර්තා වූ අතර කොවිඩ් මරණ 357ක් වාර්තා විය.
කුමක්ද මේ අලුත් ප්‍රභේදය?

කොවිඩ් 19 ඇතිකරවන කොරෝනාවෛරසයේ නව ප්‍රභේදය මුලින් ම සොයා ගනු ලැබුණේ එංගලන්තයේ දකුණු පළාතෙනි. ලන්ඩන් නුවර මෙන්ම එංගලන්තයේ නැගෙනහිර සහ ගිනිකොණ දිග ප්‍රදේශයේ ආසාදිතයන් හමුවීම එකවරම ඉහළ යන්නට හේතුව මෙම නව ප්‍රභ්දය නිසා සිදු වූවක් බව සැලකේ.
මෙම ප්‍රදේශවලින් සොයා ගන්නා ආසදිතයන්ගෙන් තුනෙන් දෙකක ප්‍රමාණයකට ආසාදනය වී ඇත්තේ මෙම නව ප්‍රභේදයයි. නමුත් මෙය හුදු ඇස්තමේන්තුවක් පමණක් වන බව බ්‍රිතාන්‍යයේ ජාතික සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
- මෙම වෛරසයේ නව ප්‍රභේදය කෙරෙහි වැඩි අවධානයක් ඇති වීම සඳහා බලපාන ප්‍රධාන හේතු සාධක තුනක් පවතී.
- මුලින් සොයා ගැනුණු වෛරස මාදිලිය වෙනුවට මෙම නව මාදිලිය ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පැවතීම.
- වෛරසයේ සිදු වී ඇති වෙනස මගින් එහි වැදගත් යයි සැලකෙන කොටසකට බලපෑම් එල්ලවී තිබීම.
මෙම වෙනස්වීම හේතුවෙන් එම වෛරසය සෛල වෙත ආසාදනය වීමේ හැකියාව ඉහළ ගොස් ඇති බවට දැනටමත් රසායනාගාර පරීක්ෂණවලින් තහවුරු වී තිබීම.
මෙම මාදිලිය ඉතා වේගයෙන් ව්‍යාප්ත විය හැකි බව එකී සාධක සියල්ල සලකා බැලීමේදී පෙනී යන බව, බීබීසීයේ සෞඛ්‍ය සහ විද්‍යා වාර්තාකරු ජේම්ස් ගැලගර් පවසයි.
කෙසේ නමුත් දැනට නිපදවා ඇති එන්නත් මෙම නව මාදිලියේ වෛරසයට එරෙහිව ද ක්‍රියා කරනු ඇති බව විශේෂඥයෝ පවසති.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
මෙය මීට පෙර සිදුවී තිබේද?
ඔව්.
ලෝකයේ බොහෝ ස්ථානවල මේ වන විට පවතින්නේ චීනයේ වූහාන් හි ප්‍රථම වරට හමුවූ වෛරසය නොවේ.
පෙබරවාරි මාසයේදී යුරෝපයෙන් මතු වූ D614G නම් ප්‍රභේදය පසුව ලෝකයේ ප්‍රමුඛ වෛරසය බවට පත්විය.
A222V නමින් තවත් ප්‍රභේදයක් යුරෝපය පුරා ව්‍යාප්ත වූ අතර එය ස්පාඤ්ඤයේ ගිම්හාන නිවාඩුව හා සම්බන්ධ විය.
මෙය වඩාත් මාරාන්තික වනු ඇත්ද?
එසේ සිදු වන බවට කිසිදු සාක්ෂියක් නොමැත. නමුත් මෙය තවදුරටත් අධීක්ෂණය කිරීමට අවශ්‍ය වේ.
කෙසේවෙතත්, බෝවීම වැඩි වීම පමණක් රෝහල්වල ගැටලු ඇති කිරීමට ප්‍රමාණවත් වේ.
නව ප්‍රභේදය වැඩි පිරිසකට ඉක්මණින් ආසාදනය වීමෙන් සිදුවන්නේ වැඩි පිරිසකට රෝහල් ප්‍රතිකාර අවශ්‍ය වීමය.









