ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොරෝනා වෛරස නව ප්‍රභේදය: බ්‍රිතාන්‍යයට සංචාරක තහංචි - ප්‍රංශයෙන් සැහැල්ලුවක්
ලෝකයේ රටවල් ගණනාවක් විසින් සංචාරක තහංචි ප්‍රකාශයට පත්කරනු ලැබීමත් සමඟ දැනට එක්සත් රාජධානියේ පැතිරෙමින් පවතින කොරෝනාවෛරස නව ප්‍රභේදය සම්බන්ධයෙන් කෙරෙන ජාත්‍යන්තර අනතුරු ඇඟවීම් බරපතල අතට හැරෙමින් පවතී.
මේවනවිට ශ්‍රී ලංකාව, ඉතාලිය, ඉන්දියාව හා පාකිස්තානය ඇතුළු රටවල් 50 ට අධික සංඛ්‍යාවක් එක්සත් රාජධානියේ සිට සංචාරකයින් පැමිණීම අවහිර කර ඇති අතර උද්ගතව පවතින තත්ත්වය සම්බන්ධයෙන් අනුගමනය කළයුතු පොදු පිළිවෙතක් නිර්මාණය කිරීම සඳහා යුරෝපා හවුල සාකච්ඡා පවත්වා තිබේ.
කෙසේවෙතත්, කෝවිඩ් පැතිරීම නිසා හටගත් බිය හේතුවෙන් පැනවූ සංචරණ තහනම් ලිහිල් කරමින් එක්සත් රාජධානිය හා ප්‍රංශය අතර අවලංගු කෙරුණු දුම්රිය, ගුවන් හා මුහුදු ගමන් සේවා අද (දෙසැම්බර් 23) යළි ඇරඹීමට ප්‍රංශය එකඟ විය.
ප්‍රංශ පුරවැසියන්, එරට වෙසෙන බ්‍රිතාන්‍ය ජාතිකයන් මෙන්ම බර බඩු අදින්නන් ආදියට එසේ සංචාරය කිරීමට ඉඩ කෝවිඩ් සම්බන්ධයෙන් පැය 72 ට අඩු කාලයකදී ලබාගත් වාර්තා සතුටුදායක නම් පමණි.
කොරෝනාවෛරසයේ නව ප්‍රභේදය පැතිර යාමට ප්‍රතිචාර දක්වමින් දකුණු දිග හා නැගෙනහිර එංගලන්තයේ ප්‍රදේශ විශාල ප්‍රමාණයක ජනතාව නිවෙස්වල රඳවන දැඩි පියවර හඳුන්වාදීමට එක්සත් රාජධානියේ ආණ්ඩුව පියවර ගැනීමෙන් පසු විදෙස් ආණ්ඩු ද ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට පෙළඹුණහ.
කොරෝනාවෛරසයේ නව ප්‍රභේදයට ගොදුරුවූවන් ඩෙන්මාර්ක් රාජ්‍යයෙන් ද සොයාගනු ලැබීමෙන් පසු ස්වීඩනය ඩෙන්මාර්කයෙන් පැමිණෙන විදේශීය සංචාරකයන් සම්බන්ධයෙන් තහංචියක් පනවා ඇත.
මෙම අලුත් කොරෝනාවෛරස ප්‍රභේදය වේගයෙන් පැතිරයන ආකාරයක් දක්නට ලැබෙන නමුත් එමගින් දරුණු මාරක අනතුරක් පෙනෙන්නට නැති බව ද පැවසෙයි.
එක්සත් රාජධානිය සම්බන්ධයෙන් සංචාරක තහංචි පනවනු ලබන රටවල ලැයිස්තුව දීර්ඝවීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානයත් (WHO) අන්තරායකාරී තත්ත්වයක් ප්‍රකාශයට පත්කරනු ලැබීම කෙරෙහි අවධානය යොමුකර තිබුණි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි තත්ත්වයන් සම්බන්ධයෙන් කටයුතුකිරීම භාර අංශයේ ප්‍රධානී මයික් රයන් අදහස් දක්වමින්, අලුතින් පැතිරයන කොරෝනාවෛරස් ප්‍රභේදය වසංගතයක් පරිණාමය වීමේදී උද්ගතවෙන සාමාන්‍ය ප්‍රවණතාවක් යයි සඳහන් කළේය. එහෙත් ''එය පාලනය කරගත නොහැකි'' ප්‍රවණතාවක් නොවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමුවකු වන මයික් රයන් පවසයි. එහෙත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පසුගිය ඉරිදා කියාසිටියේ වෛරසයේ නව ප්‍රභේදය පාලනය නොවූ මට්ටමක ඇති බවය.
මේ අතර එක්සත් රාජධානියේ පැතිරයමින් පවතින වෛරස් ප්‍රභේදයට වෙනස් කොරෝනා ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හසුවී ඇත. එම තත්ත්වය යටතේ ඇතැම් රටවල් විසින් දකුණු අප්‍රිකානු සංචාරකයන් සම්බන්ධයෙන් තහංචි පනවනු ලැබීමේ ප්‍රශ්නයකට එරට මුහුණ දී ඇත.
යුරෝපයේ සිදුවන්නේ කුමක්ද?
කොරෝනාවෛරසයේ නව ප්‍රභේදය තම භූමීන්ට ව්‍යාප්තවීම වලක්වා ගැනීමේ පියවරක් වශයෙන් බොහෝ රටවල් එක්සත් රාජධානියේ සිට පැමිණෙන ගුවන්ගමන් තහනම් කිරීමට පියවර ගෙන ඇත.
ප්‍රංශය එක්සත් රාජධානියෙන් පැමිණෙන මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය තහනම් කිරීමට පියවර ගැනීමෙන් අනතුරුව දෙරට අතර ගනුදෙනු කෙරෙන දකුණු බ්‍රිතාන්‍යයේ ඩෝවර් (Dover) වරායේ කටයුතු ව්‍යාකූල විණි.
වෙළෙඳාම යථා තත්ත්වයට ගෙන ඒම සඳහා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සමඟ අවශ්‍ය පියවර ගනිමින් ඇතැයි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් එවර ප්‍රකාශ කළේය.
උද්ගතව පවතින අර්බුදකාරී තත්ත්වය ''හැකිතාක් ඉක්මනින්'' නිරාකරණය කර ගැනීමට බලාපොරොත්තු තබන බවත් බ්‍රිතාන්‍ය අගමැතිවරයා පවසා තිබිණි.
මේ අතර යුරෝපා හවුලේ සාමාජික රාජ්‍යයන් විසිහතේ නිලධාරීහු තම පාර්ශ්වයෙන් දැක්විය යුතු පොදු ප්‍රතිචාරය තීන්දුකිරීම සඳහා බ්‍රසල්ස් නගරයේ රැස්ව සාකච්ඡා කළහ.
ඔවුන්ගේ තීන්දුව අඟහරුවාදා (දෙසැම්බර් 22) සවස්භාගයේ ප්‍රකාශ කෙරෙනු ඇතැයි අපේක්ෂා පළවෙමින් පැවති අතර සාකච්ඡාවට භාජනය වූ එක කරුණක් වුණේ, එක්සත් රාජධානියෙන් ගමන් ආරම්භ කරන්නන් එරටින් පිටවීමට පෙර කෝවිඩ් 19 -නොවන බව පරීක්ෂණයක් මගින් සහතික කර ගැනීමය.
මේ අතර යුරෝපා මහාද්වීපයෙන් වාර්තා වූ යහපත් පණිවුඩයක් වුයේ , ෆයිසර් (Pfizer-BioNTech) එන්නතට යුරෝපා හවුලේ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය ලැබීමය. ඒ අනුව ලබන ඉරිදා තරම් කෙටිකාලයක් ඇතුළත එන්නත් කිරීම ආරම්භ කිරීමට මාර්ගය විවෘතව ඇත.
එක්සත් රාජධානිය සම්බන්ධයෙන් සංචාරක තහංචි පනවන ලද ප්‍රධාන රටවල් අතරට රුසියාව,බෙල්ජියම,ප්‍රංශය,කැනඩාව.සහ අයර්ලන්තයත් ඇතුළත් විය. එම පියවර ගත් ආසියානු කලාපයේ රටවල් අතරට ඉන්දියාව,හොංකොං මෙන්ම ශ්‍රී ලංකාවත් එක්ව ඇත.
ශ්‍රී ලංකාව ගත් පියවර
බදාදා (දෙසැම්බර් 23) අලුයම 2.00 න් පසුව එක්සත් රාජධානියෙන් පැමිණෙන කිසිදු ගුවන්යානයකට නැවත දැනුම්දෙන තෙක් ගොඩබෑමට අවසර නොලැබෙන බව ශ්‍රී ලංකාවේ බලධාරීහු අඟහරුවාදා ප්‍රකාශයට පත්කළහ.මේවනවිට එක්සත් රාජධානියට සංචාරක තහංචි පනවා ඇති සෙසු රටවලට සමාන්තරව ඉහත කී නිවේදනය නිකුත්කරන ලද්දේ ශ්‍රී ලංකා සිවිල් ගුවන්ගමන් අධිකාරිය විසිනි. එවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට සිදුව තිබෙන්නේ එක්සත් රාජධානියේ පැතිරයමින් පවතින කොරෝනාවෛරස් නව ප්‍රභේදය සැලකිල්ලට ගනු ලැබීමය.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස බීබීසී සිංහල සේවයට පැවසුවේ එංගලන්තයෙන් පිටත්වන හෝ ඒ හරහා එන සියලු ගුවන් මගීන්ගේ පැමිණීම දෙසැම්බර් 23 සිට තාවකාලිකව අත්හිටුවන බවය.
පසුගිය මාර්තු 18 දින පටන් සංචාරකයන් භාරගැනීම නතරකරන ලද නමුත් විදේශගත සිය රටවැසියන්ට ආපසු රටට ඇතුල්වීමට අවසරදීමේ පිළිවෙතක් ශ්‍රී ලංකාව විසින් දිගටම අනුගමය කරනු ලැබුණි.
එහෙත් දෙසැම්බර් 26 දින පටන් සංචාරකයන් සඳහා ගුවන් තොටුපොළ විවෘත කිරීමට ශ්‍රී ලංකාවේ බලධාරීන් කටයතු කරමින් ඇත. සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලා ඒමේ ප්‍රධාන මාර්ගයක් වූ අතර කොරෝනා වසංගතය එම ඉපැයීම් විශාල අවපාතයකට ලක් කිරීමට හේතු වී ඇත.
යුරෝපා කොමිසමෙන් ඉල්ලීමක්
මේ අතර ප්‍රකාශයක් කරන යුරෝපා කොමිසම එක්සත් රාජධානියට පනවා ඇති සංචාරක තහංචිය ඉවත් කිරීමට පියවර ගත යුතුව ඇතැයි කියාසිටියි. එහෙත් ඉංග්‍රීසි ඕඩය හරහා සංචාරකයන් ගමන්ගනු ලැබීමේ ''උනන්දුව අඩුකිරීමට'' පියවර ගතයුතු බවත් යුරෝපා කොමිසම පවසයි.
එම තීන්දුව ගනු ලැබ තිබෙන්නේ යුරෝපා හවුලේ සාමාජික රටවල නියෝජිතයන් පොදු එකඟතාවකට පැමිණෙමිනි. එම තීන්දුව ගනු ලැබීමට පෙර යුරෝපා හවුලට අයත් රටවල් වෙන් වෙන් වශයෙන් එක්සත් රාජධානිය සම්බන්ධයෙන් සංචාරක තහංචි පැණවීමට පියවර ගත්හ.
''අත්‍යවශ්‍ය සංචාර සහ සැපයුම් ජාලය අඩාලවීම වලක්වා ගැනීම සඳහා දැනට බල පැවැත්වෙන ගුවන්ගමන් සහ දුම්රිය ගමන් තහනම දීර්ඝ නොකළ යුතුව ඇතැයි'' යුරෝපා කොමිසම පවසයි.
''එක්සත් රාජධානිය සහ යුරෝපා හවුල අතර අත්‍යවශ්‍ය නොවන සංචාර සහ ගනුදෙනුවලට අදාළ කටයුතු සඳහා මහජනයා උනන්දු නොකිරීමට සාමාජික රාජ්‍යයන් එකමුතු ක්‍රියාමාර්ගයක් ගතයුතුව ඇතැයි'' යුරෝපා හවුලේ අධිකරණ කොමසාරිස්වරයා පැවසීය.
කියවන්න;