මේගන් මාකල්: ගබ්සා වීම "වේදනාවක් සහ ශෝකයක්"

Meghan Markle

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සසෙක්ස්හි ආදිපාදවරිය වන මේගන් මාකල් ජූලි මාසයේදී ඇයට ගබ්සාවක් සිදු වූ බව හෙළි කර ඇති අතර, එය "දරාගත නොහැකි තරම් ශෝකයක්" යැයි ලිපියක සටහන් කර තිබේ.

"මම දැනගෙන සිටියා, මම මගේ කුලුඳුල් දරුවා තදින් අල්ලාගෙන සිටින මොහොතකදීම, මගේ දෙවැන්නා මට අහිමි වන බව," මේගන් මාකල් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට ලියූ ලිපියක සඳහන් කර තිබිණි.

"කැඩී ගිය මගේ සිත සනසන්න උත්සාහ කරන අවස්ථාවල මගේ සැමියාගේ හදවත ද බිඳ වැටුණා" යැයි ඇය සිය අත්දැකීම් විස්තර කරමින් පැවසීය.

"නැතිවීම සහ වේදනාවෙන් අප සෑම කෙනෙකුම 2020 දී පීඩා වින්දා" යනුවෙන් ඇය ලියා තිබිණි.

ගෙවෙන වසර තුළ ලැබුණු අස්වැන්න හා අනෙකුත් ආශිර්වාද සැමරීම සහ තුති පුදකිරීම වෙනුවෙන් (Thanksgiving) එක්සත් ජනපදයේ ලබා දෙන නිවාඩු දිනයේ දී මෙසේ සිය අත්දැකීම් බෙදා ගත් 39 හැවිදිරි මේගන් මාකල් සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේ "ඔබ හොඳින් ද? කියා අන් අයගෙන් විමසීමට කැපවන ලෙසය."

ආදිපාදවරිය මේ වන විට හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ඇයට සමීප ආරංචි මාර්ගයකින් බීබීසී වෙත තහවුරු වී ඇති අතර, ජූලි මාසයේ දී සිදු වූ අත්දැකීම් ගැන හෙළි කිරීමෙන් මෙම යුවළට අවශ්‍ය වී ඇත්තේ ගබ්සාව කෙතරම් පොදු කාරණාවක් ද යන්න වටහා දීමටය.

බකිංහැම් මාලිගයේ ප්‍රකාශකයෙක් පැවසුවේ "එය ඉතා පෞද්ගලික කාරණයක් නිසා අප ඒ ගැන අදහස් පළ කරන්නේ නැහැ" යනුවෙනි.

පසුගිය ජනවාරි මස ජ්‍යෙෂ්ඨ රාජකීය රාජකාරිවලින් ඉවත් වූ සසෙක්ස්හි ආදිපාදවරිය සහ හැරී කුමරු ජනමාධ්‍ය අවධානයෙන් මිදී දිවි ගෙවීම උදෙසා කැලිෆෝනියාව බලා පිටත් විය.

Prince Harry, Duke of Sussex and Meghan, Duchess of Sussex and their baby son Archie Mountbatten-Windsor at a meeting with Archbishop Desmond Tutu in South Africa on 25 September 2019

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පළමු දරුවා වන ආචී

ඔවුන්ගේ පළමු දරුවා වන ආචී 2019 මැයි මස 6 වෙනි දින උපත ලැබීය.

ආචීගේ වැඩකටයුතු කරමින් සිටින අතරතුර ඇයට දැනුණු "තියුණු කැක්කුමක්" ගැන විස්තර කරමින් ආදිපාදවරිය සිය ලිපිය ආරම්භ කර තිබේ.

"ඔහු මගේ දෑතේ සිටියදීම මම බිම ඇද වැටුණා. අපි දෙදෙනාම සන්සුන්ව සිටීම සඳහා දරු නැළවිලි ගීයක් මුමුණමින් සිත සතුටු කරන්න උත්සහ කළත් යම් ගැටලුවක් ඇති බව මට හැඟුණා," ඇය ලියා තිබිණි.

"පැය කීපයකට පසු, මම සිටියේ රෝහල් ඇඳක වැතිරී, මගේ සැමියාගේ අත අල්ලාගෙන. ඔහුගේ අත්ලෙහි දහදිය මට දැනුණු අතර, මම දෑත් සිප ගත්තා.

"සීතල සුදු බිත්ති දෙස බලා සිටි මගේ දෑස් දිලිසුණා. අපි සුවපත් වන්නේ කෙසේදැයි සිතා ගැනීමට මම උත්සාහ කළා."

"දරුවෙකු අහිමි වීම යනු දරාගත නොහැකි තරම් ශෝකයක් ගෙන දෙන්නක්. බොහෝ දෙනෙකුට මේ අත්දැකීම තිබුණත්, ඒ ගැන කතා කෙරෙන්නේ අඩුවෙන්," ඇය තවදුරටත් පැවසුවාය.

"මේ නැතිවීමෙන් අපට ඇතිවූ වේදනාවත් සමග මගේ සැමියා සහ මම සොයාගත්තා යම් කාමරයක කාන්තාවන් සියයක් සිටිනවා නම් ඔවුන්ගෙන් 10 ත් 20 ත් අතර සංඛ්‍යාවක් ගබ්සා වීමකින් පෙළෙන බව."

"මේ වේදනාව පොදු දෙයක් වුණත්, එය සංවාදයට ගැනීමේ දී තහංචි වැටී තිබෙනවා. එය අනවශ්‍ය ලෙස ලැජ්ජාවෙන් පිරී ගිය දෙයක් වගේම, හුදෙකලාව වැලපීමේ චක්‍රයක් ලෙස පවතිනවා."

"සමහරු නිර්භීත ලෙස ඔවුන්ගේ කතා බෙදාගෙන තිබෙනවා. එක් අයෙක් සත්‍යය කථා කරන විට, එය අප සැමටම එසේ කිරීමට බලපත්‍රයක් ලබා දෙන බව දැනගෙන ඔවුන් එම දොර විවෘත කර තිබෙනවා."

Meghan, Duchess of Sussex

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පසුගිය වසරේදී ඇය දකුණු අප්‍රිකානු සංචාරයේ යෙදෙන අතර තුර සිදු කළ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක් ගැන ද ඇය මෙහි සඳහන් කර තිබූ අතර, එම මාධ්‍යවේදියා ඇය හොඳින් සිටින්නේ දැයි විමසා තිබිණි.

"මහජනතාව ඉදිරියේ නිර්භීත මුහුණක් පෙන්වීමට උත්සාහ කරන" කාලයකදී තමාගෙන් මෙම ප්‍රශ්නය ඇසූ බව ඇය පැවසුවාය.

"මම ඔහුට අවංකව පිළිතුරු දුන්නා. ඒ වෙලාවේ මා පැවසූ දේ බොහෝ දෙනෙකුට හඬක් වෙයි කියලා දැන සිටියේ නැහැ. අලුත් අම්මලා, වැඩිහිටි අය සහ තමන්ට වෙන්වූ ආකාරයෙන් ඕනෑම අයෙකු නිහඬව දුක් විඳිනවා," ඇය පැවසුවාය.

ගබ්සාවක් සිදුවීම ගැන විවෘතව කතා කළ රාජකීය පවුලේ දෙවෙනි සාමාජිකයා සසෙක්හි ආදිපාදවරියයි.

රැජිනගේ මිණිබිරිය වන සාරා ටින්ඩෝල් සිය දෙවෙනි දරුවා ලැබීමට පෙර ගබ්සා දෙකක් සිදුවීම ගැන 2018 දී හෙළි කළාය.

මේගන් මාකල්ගේ ගබ්සාව සිදු වූයේ ඇය තම පියාට ලියූ ලිපියක් පළ කිරීම සම්බන්ධයෙන් 'මේල් ඔන් සන්ඩේ' (Mail on Sunday) පුවත්පතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක යෙදී සිටියදීය. පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් පවතින මෙම නඩු විභාගය ලබන වසරේ සරත් සෘතුව දක්වා කල් දැමීමට පසුගිය මාසයේදී ඇයට අවසර ලැබිණි.

'අපකීර්තිය බිඳ දැමීම'

'ටොමීස්' පුණ්‍යායතනයට අනුව සෑම ගැබ් ගැනීම් හතරකින් එකක් ගබ්සා වීමකින් අවසන් වේ.

ටොමීස්හි රැකියාවේ නිරත වින්නඹු මාතාව වන සොෆී කිං පැවසුවේ ගර්භණී සමයේදී දරුවන් අහිමි වීම ගැන කතා කිරීම "සමාජයේ සැබෑ ලෙසම තහංචික්" වන නිසා "මේගන් වැනි මව්වරුන් ඔවුන්ගේ කතාව බෙදාගැනීම එම අපකීර්තිය හා ලැජ්ජාව බිඳ දැමීමේ වැදගත් පියවරක්" බවය.

ආදිපාදවරියගේ "අවංකභාවය සහ විවෘතභාවය දරුවෙකු අහිමි වන ඕනෑම කෙනෙකුට ප්‍රබල පණිවිඩයක් යවනවා. මෙය ඇදහිය නොහැකි තරම් තනිකමක් දැනෙන දෙයක් නමුත් ඔබ තනිවෙලා නැහැ" යැයි ඇය පැවසුවාය.

මළ දරු උපත් සහ නවජ මරණ සම්බන්ධයෙන් පුණ්‍යායතනයක් වන 'සෑන්ඩ්ස්'හි ප්‍රධාන විධායක නිලධාරිනී ක්ලීයා හාමර් පැවසුවේ ගර්භණීභාවය නැති වීම හා ළදරු මරණ සම්බන්ධයෙන් පවතින අපකීර්තිය "කනගාටුදායක යථාර්ථයක්" වන අතර, එයින් "බොහෝ දෙමාපියන්ට හුදෙකලා බවක් දැනෙන" බවය.

"මේ වසරේදී අප සැමට දැනී ඇති හුදකලා බවත් සමග කොවිඩ් -19 වසංගතය අතර දී මියගිය දරුවන්ගේ දෙමාපියන්ට එය වඩාත් දුෂ්කර දෙයක් වී තිබෙනවා," ඇය පැවසුවාය.

ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ රාජකීය විද්‍යාලයේ වෛද්‍ය ක්‍රිස්ටීන් එකෙචි පැවසුවේ මෙම ගැටලුව සම්බන්ධයෙන් පවතින ඕනෑම අපකීර්තියක් හෝ ලැජ්ජාවක් ඉවත් කිරීම "වැදගත්" බවය.

"කණගාටුවට කරුණක් නම්, මුල් අවධියේ ගබ්සා වීම් ඉතා සුලභ වීම සහ එයින් දෙමව්පියන් සහ ඔවුන්ගේ පවුල්වල අය දැඩි ශෝකයට පත් වීමයි."

'මිස්කැරේජ් ඇසෝසියේෂන්' (Miscarriage Association) නම් පුණ්‍යායතනයේ ඇලිස් වීඩන් බීබීසී සේවයට පැවසුවේ, "යමෙකු, විශේෂයෙන්ම මහජනතාවගේ අවධානය ඇති කෙනෙකු මේ ගැන විවෘතව කතා කරන විට, අනෙක් පුද්ගලයින්ට ඔවුන් තනි වී නැති බව දැන ගැනීමට උදව් වෙනවා." යනුවෙනි.

Meghan, Duchess of Sussex

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ගබ්සාවීම: දෙමාපියන්ට කල් පවතින දැඩි බලපෑමක් ඇතිවේ

බීබීසී සෞඛ්‍ය වාර්තාකරු ස්මිතා මුන්දාසාඩ් ලියූ වාර්තාවකි

එක්සත් රාජධානියේ පමණක් සෑම වසරකම ගබ්සාවන් 250,000 ක් පමණ සිදුවන අතර ඉන් බහුතරය සිදුවන්නේ ගර්භනී සමයේ පළමු සති 12 තුළ ය.

මෙය පොදු අත්දැකීමක් වන අතර බොහෝ විට පෞද්ගලික කාරණාවක් ලෙස නිවසේදී හෝ රෝහලක් තුළ දී විසඳා ගනු ලබයි.

බොහෝ දෙමාපියන් තම ශෝකය නිහඬව විඳ දරා ගන්නා අතර, සමාජය ද ඔවුන් ඉක්මණින් "සාමාන්‍ය ජීවිතයට" පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරයි.

නමුත් පුණ්‍යායතන හා විද්‍යාඥයන් පවසන්නේ ගර්භණීභාවය අහිමි වීමේ දිගු කාලීන බලපෑම් පිළිගැනීමට තවත් බොහෝ දේ සිදු කළ යුතු බවය.

පර්යේෂණයන්ට අනුව කාන්තාවන් හය දෙනෙකුගෙන් එක් අයෙකුට පශ්චාත් කම්පන ආතතියේ රෝග ලක්ෂණ ඇති වේ.

සමහරුන්ට නපුරු සිහින පෙනීම හා අතීතාවර්ජනය මාස ගණනාවක් තිස්සේ පවතින අතර සාංකාව සහ මානසික අවපීඩනයද දක්නට ලැබේ.

ඔවුන්ගේ හවුල්කරුවන් ද විඳවන බව වාර්තා වන අතර, සෑම දොළොස් දෙනෙකුගෙන් එක් අයෙකු සමාන ගැටලුවලට මුහුණ දෙති.

එක්සත් රාජධානියේ ගර්භණී විශේෂඥයන් පවසන්නේ ශාරීරික උපකාරයත් සමඟ කාන්තාවන්ට සහ ඔවුන්ගේ හවුල්කරුවන්ට මානසික සහය ද ලබා දීම අත්‍යවශ්‍ය බවය.

ගර්භනීභාවයේ මුල් හෝ පසු කාලයේ දී බොහෝ ගබ්සාවන් සිදුවීමට හේතුව නොදන්නා අතර, එය වළක්වා ගත නොහැක.

සාමාන්‍යයෙන් දක්නට ලැබෙන්නේ ගර්භාෂය තුළ කලලය වර්ධනය වීමේදී සිදු වන යම් වරදකි.

ලේ ගැලීම සහ / හෝ පහළ උදරයේ කැක්කුමක් ඇති වීම අනතුරු ඇඟවීමේ සංඥා ලෙස හැඳින්විය හැකිය.

ගර්භනී කාන්තාවන්ට මෙම රෝග ලක්ෂණ කිසිවක් තිබේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.

මේ තොරතුරු ද දැනගන්න: