ඇමෙරිකානු ජනාධිපතිවරණය 2020: ට්‍රම්ප් ද ? බයිඩන් ද?

usa

ඡායාරූප මූලාශ්‍රය, Getty Images/BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, ජෝ බයිඩන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් තරුණවියේ දී

දශක ගණනක් තුළ දක්නට ලැබෙන අතිශය බෙදීමක් දැකිය හැකි ජනාධිපතිවරණය වෙනුවෙන් ඇමෙරිකානුවෝ අද (නොවැම්බර් 3) ඡන්දය ප්‍රකාශ කරමින් සිටිති. ප්‍රතිමල්ලවයන් වන්නේ රිපබ්ලිකන් පාක්ෂික ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන් ය.

ඡන්දය ප්‍රකාශ කිරීම මුලින් ඇරඹුණේ 'වර්මොන්ට්' ප්‍රාන්තයෙනි.

කල්වේලා ඇතිව ඡන්දය ප්‍රකාශ කළ පිරිසට අනුව දැනටමත් මිලියන 100ට ආසන්න පිරිසක් ඡන්දය දී තිබේ. එය මේ සියවසේ මෙතෙක් වාර්තා වූ වැඩිම ඡන්ද ප්‍රකාශ කිරීම දිසාවට ගෙන යමින් තිබේ.

අපේක්ෂකයින් දෙදෙනාම මැතිවරණයට පෙර අවසන් පැය කිහිපය කරට කර තරගයක් දෝලනය වන ප්‍රාන්තවල ගත කළහ.

ජාතික මත විමසුම්වලදී ජෝ බයිඩන් හට පැහැදිලි ඉදිරියක් පෙන්නුම් කළ ද, අවසන් ප්‍රතිඵලයට හේතුවන ප්‍රාන්තවල තරගය කරට කර ස්වභාවයක් උසුලයි.

2020 ඇමෙරිකානු ජනාධිපතිවරණයට තරඟ වදින පිළිවෙලින් වයස අවුරුදු 74 ක් සහ 77 ක් සම්පූර්ණ කර සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ඩිමොක්‍රටික් පාක්‍ෂික දේශපාලන ප්‍රතිවාදියා වන ජෝ බයිඩන් .ඔවුන් දෙදෙනාටම දශක හතකට එහා ගිය පෞද්ගලික සහ වෘත්තීයමය ඉතිහාසයක් ඇත.

අපි ඔවුන් දෙදෙනාගේ එම ඉතිහාසයට ඔවුන්ගේ ජීවිතයේ විශේෂ අවස්ථා සටහන් පින්තූර පෙළක් ඇසුරින් ගමන් ගනිමු.

USA

ඡායාරූප මූලාශ්‍රය, Alamy

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොනල්ඩ් ට්‍රම්ප් වයස අවුරුදු 18 දී. 1964 වසරේ නිව්යෝර්ක් යුද ඇකඩමියේ දී ගන්නා ලද ඡායාරූපයකි

1945 දී දෙවන ලෝක මහා සංග්‍රාමය නිමවී ලෝකය නව යුගයක් සඳහා පිබිදෙමින් සිටින මොහොතක 1946 ජූනි මාසයේ උපතලද ඩොනල්ඩ් ට්‍රම්ප් නිව් යෝර්ක් නගරයේ ඉඩම් දේපොළ හිමි මහාධනකුවේරයකු වූ ෆ්‍රෙඩ් ට්‍රම්ප්ගේ හතරවෙනි දරුවා විය. මව මේරි ඈන් මැක්ලියොඩ් වූවාය.

පවුලේ ධනස්කන්ධය කොතරම් සුවිසල් එකක් වූයේ නමුත් ළමාවියේ පටන්ම ඩොනල්ඩ්ගේ ආශාව වුනේ සිය පියාගේ ව්‍යාපාරයෙහි පහළ පෙළේ රැකියාවන්හි නිරතවීමය.ඒ අතරම පාසලේ දී හැසිරීම අයහපත් වූ හෙයින් ෆ්‍රෙඩ් ට්‍රම්ප් සිය ''අකීකරු පුත්‍රයා'' වයස අවුරුදු දහතුනේදීම යුදහමුදා ඇකඩමියට යොමුකිරීමට පියවර ගත්තේය.

ඉන් අනතුරුව ඩොනල්ඩ් පෙන්සිල්වේනියා සරසවියට ඇතුළත් විය. මේ අතර සිය වැඩිමහල් සහෝදරයා වූ ෆ්‍රෙඩ් ගුවන් නියමුවකු වීමට තීන්දු කරන ලද හෙයින් සිය පවුලේ දේපොළ පරිපාලනය ඩොනල්ඩ් මත පැවරුණි.

usa

ඡායාරූප මූලාශ්‍රය, Alamy

ඡායාරූප ශීර්ෂ වැකිය, ජෝ බයිඩන් -1967 දී ගන්නා ලද ඡායාරූපයකි

ජෝසෆ් රොබිනෙට් බයිඩන් (කනිෂ්ඨ) පෙන්සිල්වේනියා ප්‍රාන්තයෙහි උපතලබා ඇත්තේ දෙවන ලෝක මහා සංග්‍රාමය පෙරට යමින් පවතින අතරවාරයේ 1942 වසරේදීය. අයිරිෂ්-ඇමෙරිකානු සම්භවයක් සහිත කතෝලික පවුලක දරුවන් හතරදෙනාගෙන් ඔහු වැඩිමලා විය. ජෝ යන කෙටි නමින් ආමන්ත්‍රණය කිරීමට පුරුදුවූ එම දරුවා ළමාවියේ පටන්ම මුහුණදුන් ගැටලුව වුනේ ඔහු කතාබහේ දී ගොත ගැසීමකින් (stutter ) යුක්තවීමය. පාසලේදී පවා මුහුණදීමට සිදුවූ එම අභියෝගය ජයගැනීමට ජෝ යත්න දැරුවේ කන්නාඩියක් ඉදිරියට පවා ගොස් කතාබහ ප්‍රගුණකර ගැනීමෙනි.

අනතුරුව යොවුන් ජෝ ඩෙලවෙයාර් සරසවියට (University of Delaware) ඇතුළු විය.ඉන් අනතුරුව ඔහුගේ අධ්‍යාපන ආයතනය වූයේ 'Syracuse' සරසවියේ නීති පීඨයයි.

1970

usa

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොනල්ඩ් ට්‍රම්ප් -1976 දී

නීති අධ්‍යාපනය නිමකළ ජෝ නීලියා (පළමු බිරිඳ) සමඟ විවාහවීමත් සමඟ 'විල්මින්ටන්' (Wilmington)නගරයෙන් සිය දේශපාලන ගමන සඳහා අත්පොත් තැබීය.

ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන පරිදි ඔහු සිය දේපොළ ව්‍යාපාරය ආරම්භකරන ලද්දේ සිය පියාගෙන් ලබාගත් ඩොලර් දශ ලක්ෂයක ''කුඩා ණයක්'' උපයෝගීකර ගනිමිනි.

නිව්යෝර්ක් නගරයේ නිවාස දේපොළ අළෙවිකිරීමේ ව්‍යාපාරයක ප්‍රධානපෙළේ කාර්යභාරයක් මුලදී ඉටුකළ ඩොනල්ඩ් ට්‍රම්ප් පසුව 1971 දී එම සමාගමේ සමස්ත පාලනය සිය අතට ගැනීමට සමත්විය.ඔහු එම ව්‍යාපාරය ''ට්‍රම්ප් සංවිධානය'' යනුවෙන් නම් කළේය.

එයින් වසර හයකට පසු ඔහුගේ පළමු විවාහය සිදු විය. ඒ ඉවානා ෂෙල්නිකොවා (vana Zelnickova) සමඟය. චෙකොස්ලොවේකියානු කාන්තාවක් වූ ඇය ක්‍රීඩිකාවක් මෙන්ම මෝස්තර නිරූපිකාවක්ද වූවාය.එම පළමු විවාහයෙන් ඩොනල්ඩ්ට දරුවන් තිදෙනෙකි. ඩොනල්ඩ් (කණිෂ්ඨ),ඉවන්කා සහ එරික් යන එම දරුවන් තිදෙනා දැනට ''ට්‍රම්ප් සංවිධානය'' නම් වෙළෙඳ ව්‍යාපාරය මෙහෙයවීමේ නිරතවෙති. එහෙත් සමාගමේ විධායක පාලන බලය තවමත් ඩොනල්ඩ් ට්‍රම්ප් අත තබාගෙන ඇත.

usa

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පළමුවරට මහජන ඡන්දයෙන් සෙනෙට් සභිකයකු ලෙස ජයග්‍රහණය කළ ජෝ බයිඩන් එම පදවියේ දිව්රුම්දුන් මොහොත. ඔහුගේ මාමණ්ඩිය වූ රොබට් හන්ටර් සහ පුත් 'Beau' (රෝහල් සයනයක සිට)දෙස බලා සිටියි.ඔවුන් දෙදෙනාම රිය අනතුරකින් තුවාල ලැබ ජීවිත බේරී සිටියහ

ජෝ බයිඩන් ඔහු ආශාකළ සෙනෙට් සභික පදවිය දිනාගැනීමට 1972 දී සමත්විය.එහෙත් එය ඔහුට ඛේදජනක කාලයකි.ඔහුගේ බිරිඳ සහ දියණිය 'නයෝමි' මෝටර්රථ අනතුරකින් ජීවිතක්ෂයට පත්වීම ඊට හේතුවයි. මාමණ්ඩිය හන්ටර් සහ පුත් 'Beau' එම රිය අනතුරෙන් බරපතල තුවාල ලැබ බේරී තිබුණි.

ජෝ බයිඩන් සෙනේට් සභිකයකු ලෙස එම දිව්රුම්දීම පවා සිදුකරනු ලැබ තිබුණේ සිය පුතු ප්‍රතිකාර ලබමින් සිටි රෝහලේ කාමරයක සිටය.

1980

usa

ඡායාරූප මූලාශ්‍රය, JOE MCNALLY/GETTY

ඡායාරූප ශීර්ෂ වැකිය, 1987 දී සිය පෞද්ගලික හෙලිකොප්ටර් යානයකින් ගමන්ගනිමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්

1970 දශකයේ ආරම්භයත් සමඟ සිය අභිලාෂයන් තවත් තීව්‍ර කළ ඩොනල්ඩ් ට්‍රම්ප් බෘක්ලින්' සහ 'ක්වීන්ස් ' සිට ව්‍යාපාරික ලෝකයේ වඩාත් සරුබිමක් වූ 'මෑන්හැට්න්' කරා යොමුවිය. ඔහු එහි අතිශයින් ජනප්‍රියභාවයට පත් 'ට්‍රම්ප් දේපොළ ව්‍යාපාරයේ' කේන්ද්‍රස්ථානය වන ''ට්‍රම්ප් කුළුණ'' විවෘත කළේය. 1983 දී විවෘත කරන ලද එය මහල් හැට අටකින් යුක්ත උත්තුංග මන්දිරයකි.

''ට්‍රම්ප් ප්ලේස්''.''ට්‍රම්ප් වර්ල්ඩ් ටවර්'' සහ ''ට්‍රම්ප් ඉන්ටර්නැෂනල් ටවර්'' ඩොනල්ඩ් ගේ සෙසු ව්‍යාපාරික ආයතන වෙති. ඔහු සතු ප්‍රබල වෙළෙඳ සන්නාමය මාධ්‍ය පවා ආකර්ශනය කර ගැනිණි

එහෙත් ඩොනල්ඩ් අත ගසන හැම දෙයක් ම රන් බවට පත් නොවීය. ඔහුගේ ගනුදෙනු ව්‍යාපාර හතරක් බංකොලොත් වීමට හේතුවිය.

බයිඩන්

ඡායාරූප මූලාශ්‍රය, ARNIE SACHS/GETTY

ඡායාරූප ශීර්ෂ වැකිය, 1987 වසරේ දී සෙනේට් සභික ජෝ බයිඩන් මාධ්‍ය හමුවකදී සිය ජනාධිපති ධූර අපේක්ෂකත්වය ඉල්ලා අස්කර ගැනීම ප්‍රකාශයට පත්කළ අවස්ථාව.බිරිඳ ජිල් ඔහු පසෙකින්.

ජෝ බයිඩන් සිය බිරිඳ සහ දියණිය අහිමිවීමෙන් කඩාවැටුන සිය ජීවිතය යළි ගොඩනගා ගැනීමට වසර දාහතරක කාලයක් සෙනෙට් සභිකයකු ලෙස වොෂිංටනයේ ගතකරද්දී යළි පියවර ගන්නට විය.

අනතුරින් දිවි රැකුන සිය පුතුට සාමාන්‍ය ජීවිතයක් ලබාදීමට කැප වූ ජෝ දිනපතාම ඩෙලවෙයාර් ප්‍රාන්තයේ ('Delaware') පිහිටි පවුලේ නිවසේ සිට වොෂිංටනය බලා ගමන් ගත්තේය.අන්තිමේ දී ඔහු යළි විවාහ විය. මෙවර ඔහුගේ මනමාලිය වුනේ ජිල් ජෙකොබ් නම් කාන්තාවකි. ඔවුන් දෙදෙනාට දාව ලද දරුවාට ''ඈෂ්ලි '' යනුවෙන් නම්තබනු ලැබුණි.

ජෝ අනතුරුව සෙනේට් සභාවේ අධිකරණ කමිටුවට අනුයුක්ත කරනු ලැබුණි.1987 වසරේ ජෝ ජාතික මට්ටමේ චරිතයක් බවට පත්වීමේ පළමු පියවර තබන ලද්දේ එම වසරේ ඇමෙරිකානු ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් වෙමිනි. එහෙත් පසුව, ඔහු විසින් සිය නම තරඟයෙන් ඉවත්කර ගනු ලැබුණි.එම පියවර ගන්නා ලද්දේ බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ එවක නායකයා වූ නීල් කීනොක් විසින් සිදුකරන ලද කතාවකින් අදහස් සොරකම් කරන ලද බවට චෝදනා එල්ලවීමෙන් අනතුරුවය.

1990

ට්‍රම්ප්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොනල්ඩ් ට්‍රම්ප් සුරූපී ළඳුන් පිරිවරා ගනිමින්

දේපොළ වෙළෙඳාමෙන් පමණක් තෘප්තිමත් නොවූ ඩොනල්ඩ් ඊළඟට අතගැසුවේ විනෝදය සැපයීමේ ව්‍යාපාරය(entertainment sector) කෙරෙහිය. 1996 දී සුරූපිනියන් තේරීමේ තරඟ කෙරෙහි යොමුවූ ඩොනල්ඩ් ලෝක රූ රැජින,විශ්ව රූ රැජින, ඇමෙරිකානු රූ රැජින, ඇමෙරිකානු යොවුන් සුරූපිනිය වැනි රූපරාජිනී තරගාවලීන් සංවිධානය කළේය. ඒ අතර සිය පෞද්ගලික ජීවිතයේ දී පළමු බිරිඳ,ඉවනාගෙන් වෙන්වූ ඩොනල්ඩ් මාරියා මේපල්ස් සමඟ 1993 දී විවාහ විය.

ටිෆනි (Tiffany) ඔවුන්ට ලද දියණියයි. 1999 දී ඩොනල්ඩ් මාරියාගෙන් දික්කසාද වූ අතර, ඔහුගේ පියාගේ අභාවයත් එම වසරේම සිදුවිය.

''මගේ නැගී සිටීමේ උත්තේජනය වුනේ මගේ පියා'' ඩොනල්ඩ් සඳහන් කර ඇත.

බයිඩන්

ඡායාරූප මූලාශ්‍රය, Wally Mcnamee/getty

ඡායාරූප ශීර්ෂ වැකිය, ජෝ බයිඩන් සෙනේට් අධිකරණ කමිටුවේ.ඔහු අසල එඩ්වඩ් කෙනඩි

1991 ඔක්තෝබර් 11 වෙනිදා ඇමෙරිකානු ජනතාව ඔවුන්ගේ රූපවාහිනී තිරයන් දෙස ඇස් දල්වා බලාසිටියේ එක්තරා කාන්තාවක් සෙනේට් සභාවේ අධිකරණ කමිටුවක් ඉදිරියේ දෙමින් සිටි සාක්ෂියක් නැරඹීම සඳහාය. ඇනිටා හිල් (Anita Hill) නම් එම කාන්තාව 'ඔක්ලහෝමා'සරසවියේ නීතිය පිළිබඳ මහාචාර්යවරියකි. එම සෙනේට් සභා කමිටුව ඉදිරියේ විභාගයට ගැනෙමින් තිබුනේ ක්ලැරන්ස් තෝමස් (Clarence Thomas) නැමැත්තා ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයට නම්කරනු ලැබීම සම්බන්ධයෙනි. ක්ලැරන්ස් සහ තමා රීගන් පාලනය යටතේ සේවයෙහි නිරතවෙමින් සිටියදී ඔහු කීපවතාවක් ම තමාට ලිංගික හිරිහැර සිදුකරන ලද බවට ඇනිටා චෝදනා කළාය.

එම විභාගය සිසුකරන ලද්දේ එකී සෙනේට් සභා කමිටුවේ සභාපතිවරයා වූ ජෝ බයිඩන්ගේ ප්‍රධානත්වයෙනි. ජෝ ඇනිටාගේ සාක්ෂිය මෙහෙයවන ලද ආකාරය දීර්ඝකාලයක් විවේචනයට ලක්වෙමින් පැවතුණි.

එම විභාගය සිදුකරන ලද්දේ සහමුලින්ම සුදුජාතික මෙන්ම පුරුෂයන්ගෙන් පමණක් සැදුම්ලත් පරීක්ෂණ මණ්ඩලයක් යටතේය. ඇනිටා හිල් වෙනුවෙන් ඉදිරිපත් වූ කාන්තාවන් කීපදෙනකුට සාක්ෂිදීමට කැඳවනු නොලැබීය.

2019 වසරේ රූපවාහිනී සාකච්ඡාවක දී අදහස් දැක්වූ ජෝ බයිඩන් ඒ සම්බන්ධයෙන් ''අනිටාට සලකන ලද ආකාරය සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කළේය.

2000

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා, 1998 දී

ඡායාරූප මූලාශ්‍රය, RON GALELLA / GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා, 1998 දී

2003 දී ට්‍රම්ප් අලුත් ම රියැලිටි ටීවී වැඩසටහනක් ඉදිරිපත් කළ අතර එය ව්‍යාපාරිකයෙකු මෙන්ම මාධ්‍යකරුවකු ලෙස සිය කීර්තිය සඳහා ඉවහල් විණි. එම වැඩසටහන 'දි ඇප්‍රෙන්ටිස්' (The Apprentice) නම් විය. ට්‍රම්ප් හට හිමි ව්‍යාපාරික අධිරාජ්‍යයේ කළමනාකරණ තනතුරක් සඳහා, වැඩසටහනට සහභාගිවන්නන් තරග වදින ආකාරය ඉන් පෙන්නුම් කෙරිණි.

මාලා 14 ක් පුරා ඔහු එම වැඩසටහන මෙහෙයවීය. ඒ සඳහා ඩොලර් මිලියන 213ක් අදාළ රූපවාහිනී ජාලය විසින් තමන්ට ගෙවන ලද බව මුල්‍ය ප්‍රකාශන හෙලිදරව්වකින් ට්‍රම්ප් පවසා තිබිණි. මේ අතර 2005 වසරේදී ට්‍රම්ප් ඔහුගේ වතමන් බිරිඳ මෙන්ම යුගොස්ලාවියානු මෝස්‌තර නිරූපිකාවක වන මෙලනියා ක්නවුස් විවාහ කරගත්තේය. ඔවුන් දෙදෙනාට බැරන් විලියම් ට්‍රම්ප් නමින් පුත්‍රයකු සිටී.

බරක් ඔබාමා විසින් සිය උප ජනාධිපති අපේක්ෂකයා ලෙස හඳුන්වා දීමෙන් අනතුරුව, ඉලිනොයි හි ස්ප්‍රින්ග්ෆීල්ඩ් හි උත්සවයක් අමතන ජෝ බයිඩන්

ඡායාරූප මූලාශ්‍රය, JOE RAEDLE / GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය, බරක් ඔබාමා විසින් සිය උප ජනාධිපති අපේක්ෂකයා ලෙස හඳුන්වා දීමෙන් අනතුරුව, ඉලිනොයි හි ස්ප්‍රින්ග්ෆීල්ඩ් හි උත්සවයක් අමතන ජෝ බයිඩන්

ජෝ බයිඩන් 2008 වසරේදීද ජනාධිපතිධුරය සඳහා උත්සාහයක් දරන ලද නමුත් ඉන් ඉවත ගියේය. සාර්ථකත්වයක් ලැබීමට තරම් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය ශක්තිමත් නොවුවද, එම වසර අගදී ඔහු යළි කරලියට පැමිණියේ ජාත්‍යන්තර වශයෙන් ප්‍රමුඛත්වයක් හිමි වූ තනතුරක් පැවරුණු හෙයිනි. 2008 අගෝස්තු 23 වෙනිදා බරක් ඔබාමා විසින් සිය උප ජනාධිපති අපේක්ෂකයා ලෙස හඳුන්වා දෙනු ලැබුවේ ජෝ බයිඩන් ය. එය ජයග්‍රහණය වෙත යන ගමනක් වූ අතර පසුව දෙදෙනා වාර දෙකක් ම සේවය කළේ ඔහුන් අතර ඉතා සමීප සබඳතාවක් ගොඩනගමිනි. එය කෙසේද යත්, බයිඩන් විසින් නිතර ම ඔබාමා අමතනු ලැබුවේ "සහෝදරයා" යනුවෙනි.

2010

ඩොනල්ඩ් ට්‍රම්ප් 2017 දී ජනාධිපති ධුරයේ වැඩ භාරගත් දින බිරිඳ මෙලනියා හා පුතු බැරන් සමග

ඡායාරූප මූලාශ්‍රය, CARLOS BARRIA / REUTERS

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොනල්ඩ් ට්‍රම්ප් 2017 දී ජනාධිපති ධුරයේ වැඩ භාරගත් දින බිරිඳ මෙලනියා හා පුතු බැරන් සමග

ධවල මන්දිරය වෙත දිවෙන තරගයට තමන් එක්වන බව ට්‍රම්ප් 2015 ජුනි මාසය වන තෙක් නිල වශයෙන් නිවේදනය කර නොතිබිණි. කාන්තාවන් පිළිබඳ ඔහු කරන ලද සල්ලාල ප්‍රකාශ ඇතුළත් 2005 වසරේ කරන ලද පටිගත කිරීමක් මතුවීම මෙන්ම ට්‍රම්ප් ජනාධිපති ධුරයට සුදුසු නැතැයි ඔහුගේ ම පක්ෂ සාමාජිකයකු ප්‍රකාශ කිරීමද ඇතුළු අර්බුදකාරී සිදුවීම් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය තුළ කැළඹීමක් ඇති කළේය.

නමුත් ට්‍රම්ප් සිය ආධාරකරුවන්ට නිතර පැවසුවේ, සිය ඩිමොක්‍රටික් පාක්ෂික ප්‍රතිවාදියා වූ හිලරි ක්ලින්ටන්ට පසුපසින් තමන් හිඳින බව පෙන්වූ මත විමසුම්වලට තර්ජනයක් වන බවකි. දේශපාලනික ව්‍යුහයට එරෙහිව සිය ජනාධිපති ධුරය පහර එල්ල කරනු ඇති අතර වොෂිංටනයේ "ගොහොරුව බැස යවනවා" යනුවෙනි.

යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත් කරගැනීම සඳහා ගෙන ගිය වැඩපිළිවෙල ට්‍රම්ප් හට පෙළඹීමක් ඇති කළේය. ඔහු කියා සිටියේ "10 ගුණයක බ්‍රෙක්සිට්" වැඩපිළිවෙලක් ඔහු අනුගමනය කරන බවකි. 2016 ට්‍රම්ප් මැතිවරණයේදී ජයග්‍රාහකයා වූ එක්සත් ජනපදයේ 45 වෙනි ජනාධිපතිවරයා ලෙස 2017 ජනවාරි 20 වෙනිදා වැඩ භාරගත්තේය.

බරක් ඔබාමා හා ජෝ බයිඩන් 2010 දී

ඡායාරූප මූලාශ්‍රය, MICHAEL REYNOLDS / GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය, බරක් ඔබාමා හා ජෝ බයිඩන් 2010 දී

සිය ධුර කාලය ඉකුත්ව යන්නට ආසන්නයේ හදිසි උත්සවයක් කැඳවූ ජනාධිපති ඔබාමා, රටේ පුරවැසියකුට පිරිනැමුණු ලබන ඉහළම සම්මානය වන නිදහස පිළිබඳ ජනාධිපති සම්මානය බයිඩන් හට පිරිනමනු ලැබීය.

"ජෝ බයිඩන් හඳුනාගැනීම යනු රවටිල්ලකින් තොර දයාව හඳුනාගැනීමයි, පෞද්ගලික අභිමතාර්ථයෙන් තොර සේවය වගේම ජීවිතය පරිපූර්ණව ගෙවීමයි" යැයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

එය සාර්ථක හවුල්කාරීත්වයක් වුවද, එම කාලය බයිඩන් හට මානසික පීඩනයක් ගෙන නොදුන්නේ ද නොවේ. එවක 46 හැවිරිදි වූ සිය පුතු බියු 2015 දී මියගියේ මොලයේ පිළිකාවක් හේතුවෙනි. තරුණ බයිඩන් ඇමෙරිකානු දේශපාලනයේ නැග තරුවක් වූ අතර 2016 දී ඩෙලවෙයාර් ප්‍රාන්ත ආණ්ඩුකාර ධුරයට තරග කිරීමේ අරමුණකින් සිටියේය.

2020

කොරෝනාවෛරසය ආසදිතවී රෝහල්ගතව සිට යළි පැමිණි ඔක්තෝබර් 5 වෙනිදා ජනාධිපති ට්‍රම්ප් සිය මුව ආවරණය ඉවත් කරමින්

ඡායාරූප මූලාශ්‍රය, WIN MCNAMEE / GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය, කොරෝනාවෛරසය ආසදිතවී රෝහල්ගතව සිට යළි පැමිණි ඔක්තෝබර් 5 වෙනිදා ජනාධිපති ට්‍රම්ප් සිය මුව ආවරණය ඉවත් කරමින්

ට්‍රම්ප් යළි පත්වීම සඳහා සිය මැතිවරණ ව්‍යාපාරය ගෙන යන්නේ කොරෝනාවෛරස වසංගතය මැදය. මේ වනවිට ඇමෙරිකානුවන් 230,000 කට ජීවිත අහිමි කළ වෛරසය ජනාධිපතිවරයාට ද ආසාදනය විණි. එපමණක් නොව, ජනාධිපති ආර්යා මෙලනියා, පුතු බැරන් මෙන්ම ධවල මන්දිර කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ගණනකට ද එය වැළඳිණි. කරට කර හිඳින ප්‍රාන්තවල සංවිධානය කෙරෙන සිය ප්‍රචාරක රැළි පවත්වන අතරේදී නොවැම්බර් 3 වෙනිදා මැතිවරණයට පෙර ට්‍රම්ප් ප්‍රාන්තවලින් දැඩිව ඉල්ලා සිටියේ 'ලොක්ඩවුන්' කිරීම් මගහරින ලෙසය.

ඔක් 10 වෙනිදා පෙන්සිල්වේනියා හි ඊරි ගුවන් තොටුපොළේදී මාධ්‍ය අමතන ජෝ බයිඩන්

ඡායාරූප මූලාශ්‍රය, ROBERTO SCHMIDT / GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔක් 10 වෙනිදා පෙන්සිල්වේනියා හි ඊරි ගුවන් තොටුපොළේදී මාධ්‍ය අමතන ජෝ බයිඩන්

කොරෝනාවෛරසය සම්බන්ධයෙන් ජනාධිපති ධුර අපේක්ෂක ප්‍රතිවාදීන් දෙදෙනාගේ ඇති බෙදීම ගැඹුරට විහිද යැයි. දරුණු වෙමින් පවතින කොරෝනාවෛරස අර්බුදය ජනාධිපතිවරයා හසුරුවන ආකාරය එහි වින්දිතයින්ට කෙරෙන "අපහාසයක්" බව බයිඩන් පවසයි.

"මම ජයග්‍රහණය කළත්, මේ වසංගතය අවසන් කරන්න ඇති දුෂ්කර වැඩ රාශියක් තියේවි," ඔහු කියා සිටී. "මම මෙය පොරොන්දු වෙනවා - පළමු දිනයේ සිට ම නිවැරදි දේ අපි කරනවා." මිලියන 90 ට වැඩි ඇමෙරිකානුවන් පිරිසක් කල් තබා සිය ඡන්දය ප්‍රකාශ කර අවසන්. ඉන් බොහෝමය සිය කැමැත්ත පළ කළේ තැපැල් මාර්ගයෙනි. මෙය වසංගත තත්ත්වය විසින් පොළඹවනු ලැබූ, ඡන්දය පළ කිරීමේ වාර්තාගත තත්ත්වයකි.

Link box banner top

ඇමෙරිකානු ජනාධිපතිවරණය ගැන තවත් තොරතුරු;