ඇමරිකානු මැතිවරණය 2020: ඩොනල්ඩ් ට්‍රම්ප් හා ජෝ බයිඩන් ගේ ප්‍රතිපත්ති මොනවාද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රටේ මීළඟ ජනාධිපතිවරයා පිළිබඳ පැහැදිලි තේරීම මැතිවරණ දිනය දා අත්විඳීමට ඇමෙරිකානු ඡන්දදායකයෝ සැරසෙමින් සිටිති. එම තේරීම සිදුවන්නේ දැනට ජනාධිපති ධුරය හොබවන රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක ජෝ බයිඩන් අතරිනි.
මේ එම තරගකරුවන් දෙදෙනා දරන ස්ථාවරය හා ප්‍රධාන කරුණු අටක් සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිපත්ති පිළිබඳ කෙරෙන සංසන්දනයකි.

කොරෝනාවෛරසය
ජනාධිපති ට්‍රම්ප් ජනවාරි මස අගදී කොරෝනාවෛරස කාර්ය සාධන බලකායක් ස්ථාපනය කළ අතර ඔහු පවසන්නේ "සුරක්ෂිතතාව හා රට යළි විවෘත කිරීම" කෙරෙහි එහි අවධානය දැන් මාරු වී ඇති බවකි.
කොරෝනාවෛරසයට අදාළ ප්‍රතිකාර හා එන්නත් වේගයෙන් නිර්මාණය කිරීම ප්‍රමුඛත්වයෙහි ලා සැලකීමට ඔහු පියවර ගෙන තිබේ. එවැනි ව්‍යාපෘති සඳහා ඔහු යොමු කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක් වේ.
ජෝ බයිඩන් හට අවශ්‍යවී තිබෙන්නේ ආශ්‍රිතයින් හඳුනා ගැනීමේ ජාතික වැඩපිළිවෙලක් ස්ථාපනය කිරීමට ය. සෑම ප්‍රාන්තයක ම අවම වශයෙන් පරීක්ෂණ මධ්‍යස්ථාන 10 ක් පිහිටුවීමට හා කොරෝනාවෛරස පරීක්ෂණ සැමට නොමිලේ සැපයීමට ඔහුට අවශ්‍ය කරයි.
ෆෙඩරල් රජයේ පරිශ්‍රවලදී මුව ආවරණ පැළඳීම අවශ්‍ය කෙරෙන රට පුරා මුව ආවරණ පැළඳීමකට ඔහු සහය පළ කරයි.

දේශගුණය
ජනාධිපති ට්‍රම්ප් දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් සැක සංකා ඇත්තෙකි. එපමණක් නොව, පුනර්ජනනීය නොවන බලශක්තිය තවදුරටත් ව්‍යාප්ත කිරීමට ඔහුට අවශ්‍යය. තෙල් හා ගෑස් සෙවීම සඳහා කැණීම් වැඩි කිරීමටත් වැඩිමනත් පාරිසරික ආරක්ෂණ පියවර හැකිලීමටත් ඔහු ක්‍රියා කරයි.
දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් බැඳී ඇති පැරිස් දේශගුණික සම්මුතියෙන් ඉවත්වීමට ද ඔහු කැපවී සිටී. මෙම වසර අගදී එක්සත් ජනපදය එම සම්මුතියෙන් නිල වශයෙන් ඉවත්වීමට නියමිතය.
ජෝ බයිඩන් කියා සිටින්නේ ඔහු තේරී පත්වුවහොත් වහාම පැරිස් දේශගුණික සම්මුතිය හා යළි එක්වන බවකි.
වසර 2050 වනවිට එක්සත් ජනපදය විමෝචනයෙන් ශුන්‍ය වනු දැකීමට ඔහුට අවශ්‍ය ය. පොදු ඉඩම්වල තෙල් හා ගෑස් සඳහා කෙරෙන කැණීම්වලට නව කල්බදු දීම තහනම් කිරීමට ද ඔහු යෝජනා කරයි.

ආර්ථිකය
ජනාධිපති ට්‍රම්ප් මාස 10 ක් තුළදී රැකියා මිලියන 10 ක් මෙන්ම අලුත් කුඩා ව්‍යාපාර මිලියනයක් ඇති කිරීම සඳහා සපථ කර ඇත.
බදු කපාහැරීම් ගෙනෙන බව පවසන ජනාධිපති ට්‍රම්ප් එක්සත් ජනපදය තුළ රැකියා අවස්ථා පවත්වාගෙන යාම සඳහා දිරිදීමක් වශයෙන් සමාගම් වෙත බදු ණය සපයන බවද කියා සිටී.
ජෝ බයිඩන් කියා සිටින්නේ පොදු සේවාවල ආයෝජනය වෙනුවෙන් ගෙවීම සඳහා ඉහළ ආදායම් ලබන්නන් කෙරෙහි බදු ඉහළ නංවන බවය. නමුත් එම බදු නැංවීම බලපානුයේ ඩොලර් ලක්ෂ හතරක වාර්ෂික ආදායමක් ලබන පුද්ගලයන් හට පමණක් බවද ඔහු පවසයි.
දැනට ගෙවනු ලබන පැයකට ඩොලර් 7.25 ක් වන අවම වැටුප ඩොලර් 15 දක්වා ඉහළ නැංවීමට ද ඔහු ගේ සහය හිමිවේ.

සෞඛ්‍ය පහසුකම්
ජනාධිපති ට්‍රම්ප් හට, හිටපු ජනාධිපති ඔබාමා ගේ පාලන සමයේ සම්මත කරන ලද පුද්ගලික සෞඛ්‍ය රක්ෂණාවරණ ක්‍රමය සඳහා මධ්‍යම ආණ්ඩුවේ නියාමනය ඉහළ නැංවූ 'දැරිය හැකි උවටැන් පනත' (Affordable Care Act - ACA)) අවලංගු කිරීමේ ඕනෑකම ද තිබේ. එම නියාමන පියවරට අනුව පූර්ව රෝගී තත්ත්ව ඇත්තන් හට රක්ෂණාවරණ දීම ප්‍රතික්ෂේප කිරීමද නීතිවිරෝධී බව දක්වා තිබිණි. එම වැඩපිළිවෙලට ආදේශකයක් එක්කොට වැඩිදියුණු කිරීමට අවශ්‍ය බව ට්‍රම්ප් පැවසුව ද ඒ පිළිබඳ විස්තර කිසිවක් ප්‍රකාශයට පත්කොට නැත.
මිල අඩු ඖෂධ ආනයනයට ඉඩ සලසමින් ඖෂධ මිල අඩු කිරීම ද ජනාධිපතිවරයාගේ අපේක්ෂාව ය.
ජෝ බයිඩන් හට අවශ්‍යව තිබෙන්නේ ඔබාමා පාලන සමයේ හඳුන්වා දුන් වැඩපිළිවෙල (ACA) ආරක්ෂා කොට පුළුල් කිරීමට ය.
වැඩිහිටි පුද්ගලයින්ට වෛද්‍ය ප්‍රතිලාභ සලසන 'මෙඩිකෙයාර්' වැඩපිළිවෙලට සුදුසුකම් ලබන වයස 65 සිට 60 දක්වා පහළට ගෙන ඒමට තමන්ට අවශ්‍ය බව බයිඩන් කියයි. 'මෙඩිකෙයාර්' වැනි පොදු සෞඛ්‍ය රක්ෂණාවරණ සැලසුමකට එක්වීම සඳහා සෑම අමෙරිකානුවකුට ම ඉඩ සැලසීම ඔහු ගේ අවශ්‍යතාව වී තිබේ.

විදේශ ප්‍රතිපත්තිය
ජනාධිපති ට්‍රම්ප්, විදේශවල සිටින ඇමෙරිකානු හමුදා යළි ගෙන්වා ගන්නා බවට වූ සිය පොරොන්දුව යළි යළිත් අවධාරණය කරමින් ම තවදුරටත් හමුදාව සඳහා ආයෝජනය කරයි.
ජාත්‍යන්තර සන්ධානවලට තවදුරටත් අභියෝග කරන බව පවසන ජනාධිපතිවරයා චීනය කෙරෙහි පනවා ඇති වෙළෙඳ බදු එළෙසම පවත්වාගනී.
ජෝ බයිඩන් ගේ පොරොන්දුව ඇමෙරිකානු මිත්‍ර පාර්ශව සමග ඇති සබඳතා යළි පනගන්වා ගැනීමට ය.
චීනය මත ඒක පාර්ශ්විකව පනවා ඇති බදුවලින් ඉවත්වන බව පවසන බයිඩන් කියා සිටින්නේ ඒ වෙනුවට, චීනයට "නොසලකා හැරිය නොහැකි" ජාත්‍යන්තර සන්ධානයකට වගවීමට සලස්වන බවය.

වාර්ගිකත්වය හා පොලිස් පාලනය
ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ වර්ගවාදය එක්සත් ජනපද පොලිස් බල ඇණිවලට සම්බන්ධ ආයතනික ගැටලුවක් යැයි තමන් විශ්වාස නොකරන බවය.
නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සෘජුව පෙනීසිටින්නෙකු ලෙස ට්‍රම්ප් තමන් හඳුන්වා ගනු ලැබුවද කිසිවකු මෙල්ල කිරීම සඳහා ගෙල සිර කිරීම්වලට විරුද්ධ වෙමින් ඊට වඩා උසස් භාවිත වෙනුවෙන් ප්‍රතිපාදන සැපයීමට ද ඉදිරිපත් වී ඇත.
ජෝ බයිඩන් වර්ගවාදය දකින්නේ ආයතනික ගැටලුවක් ලෙසිනි. රඳවාගැනීම් ප්‍රමාණය අඩුකරන ප්‍රාන්තවලට දිරිදීමක් ලෙස ප්‍රතිපාදන සැපයීම වැනි යුක්තිය රකින පද්ධතියේ ඇති වාර්ගික අසමානතා විසඳීම වෙනුවෙන් ප්‍රතිපත්ති ඉදිරිපත් කර ඇත.
පොලිසියට මුදල් යෙදවීමෙන් වළකින ලෙසට නැගෙන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන ඔහු කියා සිටින්නේ ඒ වෙනුවට, නියමිත ප්‍රමිතිගත තත්ත්ව පවත්වාගෙන යාම සඳහා අමතර සම්පත් එක් කළ යුතු බවය.

ගිනි අවි
ජනාධිපති ට්‍රම්ප් සතුව, අවි දැරීමේ අයිතිය සඳහා ඇමෙරිකානුවන්ට ආරක්ෂාව සපයන එක්සත් ජනපද ව්‍යවස්ථාවේ දෙවෙනි සංශෝධනය සම්බන්ධයෙන් ඇත්තේ පැතිරුණු අර්ථනිරූපනයකි.
2019 වසරේ වර්තා වූ සමූහ වෙඩි තැබීම්වලින් අනතුරුව, ගිනි අවි මිලට ගන්නන් පිළිබඳ කෙරෙන සෝදිසිය දැඩි කළ යුතු බවට ඔහු යෝජනා කළේය. නමුත් ඉන් අනතුරුව කිසිවක් සිදු නොවූ අතර කිසිදු නෛතික වැඩපිළිවෙලක් ක්‍රියාවට නොනැගිණි.
ජෝ බයිඩන් කළ යෝජනා අතරට ආක්‍රමණශීලී ගිනි අවි තහනම් කිරීම, පුළුල් පසුබිම් සෝදිසියක්, මසකට එක් ගිනි අවියක් පමණක් වන සේ පුද්ගලයෙකුට මිලදී ගත හැකි ගිනි අවි ප්‍රමාණය සීමා කිරීම හා අපරික්ෂාකාරී ගිනි අවි නිෂ්පාදකයින් හා අලෙවිකරුවන්ට එරෙහිව නඩු පැවරීම පහසු කිරීම ද අයත් වේ.
ගිනි අවි භාවිත ප්‍රචණ්ඩත්වය වැළක්වීම සඳහා වූ තවත් පර්යේෂණ වෙනුවෙන් අරමුදල් සම්පාදනය කරන බවද ජෝ බයිඩන් පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණය
ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ සිය පළමු නිල වාරයේ ඉතිරිව ඇති කාලය තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති පුරප්පාඩුව සම්පූර්ණ කිරීම ව්‍යවස්ථාවෙන් තමන්ට හිමි අයිතියක් බවය. ඒ සඳහා ගතානුගතික විනිසුරුවරියක වන ඒමි කොනී බැරට්, ඔහු විසින් යෝජනා කරනු ලැබීය.
එක්සත් ජනපදය තුළ ගබ්සාවට ඇති නෛතික හිමිකම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කඩිනමින් තීන්දුවක් ගැනීමට ඉඩ ඇති කරුණකි. ජනාධිපති ට්‍රම්ප් මෙන්ම බැරට් විනිසුරුවරිය ද මීට පෙර ඊට විරුද්ධව අදහස් පළකර ඇත.
ජෝ බයිඩන් ට අවශ්‍යව තිබුණේ මීළඟ ජනාධිපතිවරයා පත් වූ පසු අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ පුරප්පාඩුව පුරවනු දැකීමට ය.
ශ්‍රේෂ්ඨාධිකරණය එයට එරෙහිව තීන්දුවක් ලබා දුන හොත්. ගබ්සාවක් සඳහා කාන්තාවකට ඇති අයිතිය සහතික කිරීම සඳහා ඉඩ සැලසෙන නීති ප්‍රතිපාදන සම්මත කිරීම වෙනුවෙන් කටයුතු කිරීමට තමන් ජනාධිපති ධුරයට පත්වුවහොත් ක්‍රියා කරන බව ජෝ බයිඩන් පවසයි.
මේ ගැනත් දැනගන්න:











