ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජනාධිපති ට්‍රම්ප්ගේ දැඩි සංක්‍රමණික පිළිවෙත: දරුවන්ගෙන් වෙන් කළ දෙමව්පියන් සොයාගැනීම ගැටළුවක්
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනුගමනය කරනු ලබන "දැඩිව ප්‍රතික්ෂේප කරනු ලැබීමේ" ("zero tolerance") ප්‍රතිපත්තිය හේතුවෙන් ඇමෙරිකා-මෙක්සිකෝ දේශසීමාවේ දී දරුවන් 545 දෙනකුගෙන් වෙන්කරන ලද දෙමව්පියන් සොයාගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි සිවිල් නිදහස සඳහා වූ ඇමෙරිකානු සංගමය (ACLU) පවසයි.
නඩුකරයක් මගින් හෙළිදරව් වෙන කරුණුවලට අනුව, එම දෙමව්පියන්ගෙන් තුනෙන් දෙකක් පමණ නැවත ඔවුන් අයත් මුල් රටට පිටුවහල් කරනු ලැබ ඇත.
2018 වසරේ දී ජනාධිපති ට්‍රම්ප් විසින් හඳුන්වා දෙන ලද ඔහුගේ අනම්‍ය සංක්‍රමණික පිළිවෙත යටතේ දහස් ගණනක් පවුල්වල සාමාජිකයන් ඔවුනොවුන්ගෙන් වෙන්කරන ලද අතර එම ක්‍රියාවලියට එරෙහිව එල්ල වූ මහා විරෝධය හමුවේ ධවල මන්දිරයට එය නතර කිරීමට සිදුවිය.
මේ අතර කොරෝනාවෛරස් වසංගතය පැතිරයාම ඉහත කී දරුවන්ගෙන් වෙන්කරන ලද දැනට සිටින ස්ථානයක් දැනගැනීමට නොමැති දෙමව්පියන් සොයාගැනීම ප්‍රමාදවීමට හේතුවී ඇත.
ඇමෙරිකා-මෙක්සිකෝ දේශසීමාව ඔස්සේ එක්සත් ජනපදයට ඇතුල්වෙන සංක්‍රමිකයන් අත්අඩංගුවට ගැනීම පළමුවරට නිවේදනය කෙරුනේ 2018 අප්‍රියෙල් මාසයේය.
එහෙත් පසුව හෙළිදරව් වූ ආකාරයට ට්‍රම්ප් පරිපාලනය විසින් සංක්‍රමණික පවුල්වල සාමාජිකයන් වෙන්කරනු ලැබීම රහස්‍ය පූර්ව සැලැස්මක් අනුව එයින් වසරකට පෙර පටන්ම ක්‍රියාත්මක කරනු ලැබ ඇත.
සංක්‍රමණිකයන් "දැඩිව ප්‍රතික්ෂේප කරනු ලැබීමේ" ("zero tolerance") ජනාධිපති ට්‍රම්ප් ප්‍රතිපත්තිය නිවේදනය කරනු ලැබීමත් සමඟම කූඩුවල නිදාසිටින සහ සිය දෙමව්පියන් ඉල්ලමින් අඬන දරුවන්ගේ පින්තූර සහ හඬපට නිකුත්වන්නට විය. ඒ සමඟ ඇමෙරිකා එක්සත් ජනපදය අභ්‍යන්තරයෙන් මෙන්ම ලෝක මට්ටමින් එම ට්‍රම්ප් පිළිවෙත දැඩි දෝෂදර්ශනයට ලක්වන්නට විය.
එම පරිසරය තුළ 'සිවිල් නිදහස සඳහා වූ ඇමෙරිකානු සංගමය' (ACLU) විසින් එකී පිළිවෙතට එරෙහිව නඩුවක් පවරන ලද අතර, එය විභාගයට ගත් එක්සත් ජනපද විනිශ්චයකාරවරයෙක් 2018 ජූනි මාසයේ සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් වෙන්කර සිටි සංක්‍රමණික දරුවන් සහ එම දරුවන්ගේ දෙමව්පියන් දවස් තිහක(30) කාලයක් ඇතුළත යළි එකමුතු කරන ලෙස නියෝග කළේය. එම අධිකරණ නියෝගය අනුව දහස් ගණනක් සංක්‍රණික පවුල්වල සාමාජිකයන් සති කීපයක් ඇතුළත යළි එකමුතු කරනු ලැබ තිබුණි.
එහෙත් ට්‍රම්ප් පාලනය විසින් ක්‍රියාවට නංවනු ලැබෙමින් තිබුණ පූර්ව සැලසුම අයටතේ 2017 වසරේ දී වෙන්කරන ලද පවුල්වල සාමාජිකයන් සම්බන්ධයෙන් ඉහත 2018 නඩු තීන්දුව බලාත්මක නොවුනි. එමගින් නියෝග කරන ලද්දේ 2018 වසරේ නඩු තීන්දුවේ පටන් පෙර වසරක කාලය තුළ වෙන්කරන ලද පවුල්වල සාමාජිකයන් එකමුතු කරන ලෙසය.
ඒ අනුව දෙමව්පියන්ගෙන් වෙන්කරන ලද දරුවන් 1,030ස් දෙනෙකුගෙන් 485කට දෙමව්පියන් සොයාගැනීමට හැකිවිය. වෙන්කරනු ලැබ සිටි ඉතිරි දරුවන් 545 දෙනකුට ඔවුන්ගේ දෙමව්පියන්ට එකතුවීමට නොහැකි විය.
සිවිල් නිදහස සඳහා වූ ඇමෙරිකානු සංගමය (ACLU) සහ නීතිවේදීන් කණ්ඩායමක් එම දරුවන්ගේ දෙමව්පියන් සොයාගැනීමේ කාර්යයකට සම්බන්ධ වී සිටින අතර, සිවිල් නිදහස සඳහා වූ ඇමෙරිකානු සංගමය (ACLU) සහ එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ගොණුකරන ලද උසාවි ලියකියවිලිවලට අනුව එම දෙමව්පියන් විස්තර කරනු ලැබ තිබෙන්නේ "සොයාගත නොහැකි" ("unreachable") තත්වයක් පවතින බවය.
ඔවුන්ගේ මුල්රටවලින් එම දෙමව්පියන් සොයාගනු ලැබීම කාලය ගතවෙන සහ අසීරු කාර්යයක් බව මේ සතියේ තොරතුරු මගින් ප්‍රකාශ වෙයි. ඒ අතරම කොරෝනා වසංගතයත් ඊට බාධාවක් වී ඇත.
"මේ පවුල් යළි එකමුතු කළ යුතුව තියෙනව. එම කාර්යයේ වගකීම පරිපාලනය විසින් භාරගත යුතුයි" සිවිල් නිදහස සඳහා වූ ඇමෙරිකානු සංගමයට (ACLU) අනුබද්ධ "සංක්‍රමිකයන්ගේ අයිතිය සම්බන්ධයෙන් කටයුතු කරන ව්‍යාපෘතියේ' ක්‍රියාධරයකු මෙන්ම, වෙන්කරන ලද පවුල් සම්බන්ධ නඩුකරය වෙනුවෙන් පෙනී සිටින මුල්පෙළේ නීතිවේදියකු වන ලී ගෙලර්න්ට් ( Lee Gelernt) ප්‍රකාශනයක් මගින් කියාසිටියි.
"ළමුන් දෙමව්පියන්ගෙන් වෙන්කරනු ලැබීම දරුණු කැළලක්" ඔහු පවසයි.
එකල්හි ජනාධිපති ට්‍රම්ප් මුලදී සිය වැඩ පිළිවෙල යුක්තිසහගත කරගන්නා ලද්දේ "දරුවන් දෙමව්පියන්ගෙන් වෙන්කරනු ලැබීම තම උවමනාව නොවන" බව පවසමිනි. එහෙත් ජනාධිපතිවරයා පසුව මෙසේ කියා තිබුණි.
"අනවසරයෙන් එන දෙමව්පියන්ට විරුද්ධව නඩු පැවරීමේ දී ළමුන් දෙමව්පියන්ගෙන් වෙන්කරන්න වෙනවා."
වාර්තාවෙන පරිදි, මාස කීපයකට පසු සිය ප්‍රතිපත්තියේ වෙනසක් සිදුකිරීම සඳහා ජනාධිපති ට්‍රම්ප් තීන්දු කිරීමට හේතුව ළමුන් රඳවා තබා ඇති මධ්‍යස්ථානවල පවතින තත්වය දැක්වෙන ඡායාරූප ප්‍රකාශයට පත්වීමත් සමඟ එල්ලවූ බලපෑමය.
සෑම ළමයකුගේම දෙමව්පියන් සොයාගන්නා තෙක් ක්‍රියාකිරීමේ තම උත්සාහය අත් නොහරින බව "සිවිල් නිදහස සඳහා වූ ඇමෙරිකානු සංගමයේ" (ACLU) ලී ගෙලර්න්ට් (Lee Gelernt) අවධාරණය කරයි.
"මේ ළමුන් වසර ගණනාවක් ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් වෙන්කරන ලද දරුවන්. සමහර දරුවන් දෙමව්පියන්ගෙන් වෙන්කරල තියෙන්නේ එම දරුවන් බිළිඳු වියේ සිටියදී."
මෙම බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 22) කැලිෆෝනියාවේ ෆෙඩරල් විනිශ්චයකාරවරයකු ඉදිරියේ ආරම්භ කිරීම සඳහා සූදානම් කරනු ලැබ තිබුණ අධිකරණමය විභාගයක් ආරම්භවීමට පෙර එම දරුවන්ගේ දෙමව්පියන් සොයාගනු ලැබීමේ සෝදිසි ක්‍රියාදාමයට අදාළ උසාවි අනුමැතිය ලද වාර්තාවක් ප්‍රසිද්ධ කරනු ලැබ තිබුණි.
තවත් තොරතුරු: