ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ෆින්සෙන් ලිපි: අනාවරණය ගැන ඔබ දැනගත යුතු දේ
ඩොලර් ට්‍රිලියන දෙකක පමණ වටිනාකමක් ඇති ගනුදෙනු අනාවරණය කෙරුණු ලේඛන මගින්, අනීතික මුදල් ලොවවටා සංසරණය වීම සඳහා ලෝකයේ ඇතැම් ප්‍රධාන පෙළේ බැංකු අපරාධකරුවන්ට ඉඩ සලසා ඇති ආකාරය පෙන්වා දී තිබේ.
රුසියාවේ බලගතු ධන කුවේරයන් පිරිසක්, සිය මුදල් බටහිරට ගෙන යාම එරෙහිව ඇති සම්බාධක මග හැරීම සඳහා බැංකු උපයෝගී කරගෙන ඇත්තේ කෙසේද යන්නත් ඉන් පෙන්වා දෙයි.
මෙය, ගෙවුණු වසර පහ තුළදී රහසිගත ගනුදෙනු, මුදල් විශුද්ධිකරණය හා මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් කෙරුණු හෙළිදරව්වල අලුත්ම අවස්ථාව වේ.
ෆින්සෙන් ලිපිගොනු (FinCEN) යනු මොනවා ද?
ෆින්සෙන් ලිපිගොනු යනු බැංකු විසින් එක්සත් ජනපද බලධාරීන් වෙත යවන ලද ලේඛන වැඩි ප්‍රමාණයක් ඇතුළත් 2,500ට අධික වූ ලේඛන ගොන්නකි.
මෙම ලේඛන ඇතැම් ජාත්‍යන්තර බැංකු පද්ධති විසින් වඩාත් සුරක්ෂිත කරන ලද රහස්‍ය දෑ අඩංගු ඒවා ය.
සැකකටයුතු චර්යා වාර්තා කිරීම සඳහා බැංකු මෙම ලේඛන යොදාගත්ත ද ඒවා වැරදි සහගත දේ හෝ අපරාධ පිළිබඳ සාක්ෂි නොවේ.
බස්ෆීඩ් නිව්ස් (Buzzfeed News) වෙත අනාවරණය වූ එම ලේඛන ලොව වටා ගවේෂණශීලී මාධ්‍යවේදීන් ඒකරාශී කරන සමූහයක් සමග ද බෙදා හදා ගැනිණි. එනම් බීබීසී හි පැනොරාමා වැඩසටහන ද ඇතුළුව රටවල් 88 ක ප්‍රවෘත්ති ආයතන 108 ක් අතර ඒවා බෙදා හැර තිබේ.
ඒ අනුව, බැංකුවල අභිමතය පරිදි, මහජනයා දැනගත යුතු නැතැයි සැලකෙන ඇතැම් ක්‍රියාකාරකම් හෙළිදරව් කිරීම සඳහා සිය ගණනක් වූ ජනමාධ්‍යවේදීහු මෙම තාක්ෂණික ලේඛන පිරික්සූහ.
ඔබ දැනගත යුතු සංකේත නාම දෙකක්
ෆින්සෙන් (FinCEN) යනුවෙන් හැඳින්වෙන්නේ එක්සත් ජනපදයේ මුල්‍ය අපරාධ විමර්ශන ජාලය වේ. මූල්‍ය අපරාධවලට එරෙහිව ක්‍රියාකරන මෙම පිරිස සිටින්නේ එක්සත් ජනපද භාණ්ඩාගාරයේ ය. ඇමෙරිකානු ඩොලර් භාවිතයෙන් කෙරුණු ගනුදෙනු පිළිබඳ යම් සැක සංකාවක් වේ නම්, එම ගනුදෙනු එක්සත් ජනපදයෙන් බැහැරව සිදුවුවත් ඒවා දැනුම් දිය යුතුවන්නේ ෆින්සෙන් වෙත ය.
සැකකටයුතු ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා නොඑසේනම් සාර් (SAR) එවැනි කරුණු වාර්තාගත කිරීම්වලට එක උදාහරණයකි. තමන්ගේ ගනුදෙනුකරුවකු යහපත් කටයුත්තක නොවේ යැයි කණස්සල්ලක් මතුවන අවස්ථාවකදී බැංකුවක් මෙවැනි වාර්ථාවක් පිරවිය යුතුය.
මෙය වැදගත් වන්නේ ඇයි?
සාපරාධී ව්‍යාපාරයකින් ලාභ ඉපයීමට සැලසුම් කරන්නේ නම් වැදගත් කරුණු අතරින් එකක් වන්නේ මුදල් විශුද්ධියට මාර්ගයක් තිබීමය.
එම විශුද්ධි ක්‍රියාමාර්ගයේදී අනීතික මුදල් ලබාගෙන - මත්ද්‍රව්‍ය ජාවාරම හෝ දූෂණ වැනි සාපරාධී මාර්ගවලින් - ඒවා අපරාධයකට සම්බන්ධ නොවන සේ කීර්තිමත් බැංකුවක පවතින ගිණුමක තැන්පත් කිරීම සිදුවේ.
ඔබ, ඔබ සතු මුදල් බටහිර රටවලට ඇතුළුවීම වැළක්වීම සඳහා එම රටවලින් පනවන ලද සම්බාධකවලට යටත් කෙරුණු රුසියානු කූට ධන කුවේරයකු (oligarch) නම් ඔබට ද එම ක්‍රියාමාර්ගය ගැනීමට සිදුවේ.
මුදල් විශුද්ධියට සඳහා සිය සේවාදායකයින්ට සහය නොදීම මෙන්ම නීති බිඳ හෙළන ආකාරයෙන් එම මුදල් එහා මෙහා නොකිරීම බැංකුවලින් අපේක්ෂා කෙරේ.
නීතිය අනුව, තම සේවාදායකයින් කවුදැයි බැංකු දැන සිටිය යුතු වේ. ගැටලු සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කරන පාර්ශව ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරන අතරේ දී සේවාදායකයින්ගේ අනීතික මුදල් තවදුරටත් භාරගැනීම සහ SAR ලේඛනගත කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. සාපරාධී කටයුත්තක් සම්බන්ධයෙන් සාක්ෂි ඇත්නම්, මුදල් ගලායාම නතර කිරීමට ඔවුන් ක්‍රියා කළ යුතු ය.
"ගෝලීය වශයෙන් විශාල ලෙස ගලායන අනීතික මුදල් සම්භාර ගැන බැංකු දන්නේ මොනවාද යන්න ගැන සූක්ෂ්ම විමසීමක්," ෆින්සෙන් ලිපිගොනු තුළින් සපයන බව ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ ජාතාන්තර සමූහයේ ෆර්ගස් ෂීල් පවසයි.
අසාමාන්‍ය විශාල මුදල් සම්භාරයක් පිළිබඳ මෙම ලේඛනවලින් පැහැදිලි කෙරෙන බව ඔහු කියා සිටී. මෙම ෆින්සෙන් ලේඛනවලින් ආවරණය කෙරෙන ගනුදෙනුවල වටිනාකම ඩොලර් ට්‍රිලියන 2ක් පමණ වන අතර එය අදාළ කාලය තුළ යොමු කරන ලද SAR වාර්තාවලින් ඉතා ස්වල්පයකි.
හෙළිවී ඇත්තේ මොනවා ද?
- ලොව පුරා සොරකම් කරන ලද මුදල් එහා මෙහා කිරීමට HSBC බැංකුව විසින් අපරාධකරුවන්ට ඉඩ සලසා ඇත. ඒ වනවිටත් අදාළ සැලසුම ජාවාරමක් බවට එක්සත් ජනපද විමර්ශකයින් වෙතින් දැනගන්නට ලැබී තිබිණි.
- JP Morgan බැංකුව විසින් ලන්ඩනයේ පිහිටි ගිණුමක් හරහා ඩොලර් බිලියනයකට වැඩි මුදලක් එහා මෙහා කිරීමට කිසියම් සමාගමකට ඉඩදී තිබුණේ එහි හිමිකරු කවුරුන්දැයි නොදැන ය.
- බටහිර රටවල මුල්‍ය සේවා භාවිත කිරීම වළකාලමින් තමන්ට එරෙහිව පනවා තිබූ සම්බාධක මග හැරීම සඳහා, රුසියානු ජනාධිපති ව්ලදිමීර් පූතින් ගේ සහායකයකු ලන්ඩනයේ Barclays බැංකුව යොදාගෙන ඇති බවට සාක්ෂි.
- ෆින්සෙන් හි බුද්ධි අංශයට අනුව සයිප්‍රසය මෙන්, එක්සත් රාජධානිය "වැඩි අවදානම් බලප්‍රදේශයක්" ලෙස හැඳින්විණි.
- සම්බාධක මගහැරීම සඳහා ඉරානයට සහය වූ දේශීය ආයතනයක් සම්බන්ධයෙන් කළ අනතුරු ඇඟවීම් අනුව ක්‍රියා කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහ බැංකුව අසමත් වීම.
- Deutscheබැංකුව විසින් මුදල් විශුද්ධිකරුවන්ගේ අනීතික මුදල් සංවිධානාත්මක අපරාධ, ත්‍රස්තවාදීන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් එහා මෙහා කිරීම.
- Standard Chartered බැංකුව විසින් අරාබි බැංකුව (Arab Bank) වෙත දශකයකට වැඩි කළ මුදල් යොමු කර තිබුණේ එම ජෝර්දාන බැංකුවේ සිය සිය සේවාදායකයින් පවත්වාගෙන ගිණුම් ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සඳහා භාවිත කර ඇති බව දැන තිබියදීය.
මෙම අනාවරණය වෙනස්වන්නේ කෙසේ ද?
මෑත වසර කිහිපය තුළ මුල්‍ය තොරතුරු පිළිබඳ විශාල අනාවරණ ගණනාවක් විය. ඒ අතරට මතු සඳහන් දේ ඇතුළත් විණි:
- 2017 පැරඩයිස් ලිපිගොනු - අක්වෙරළ නීති සේවා සම්පාදකයකු වන Appleby සහ ආයතනික සේවා සම්පාදකයකු වන Esteraහි ලේඛන විශාල ප්‍රමාණයක් අනාවරණය විය. 2016 දී ස්වාධීන Estera වන තෙක් එම ආයතන දෙක ම Appleby යන නමින් ක්‍රියාත්මක විණි. දේශපාලනඥයින්, ප්‍රකට පුද්ගලයින් හා ව්‍යාපාරික ප්‍රධානීන්ගේ අක්වෙරළ මුල්‍ය ගනුදෙනු (offshore financial dealings) පිළිබඳ ඔවුහු හෙළි කළහ.
- 2016 පැනමා ලිපිගොනු - Mossack Fonseca නම්වූ නීති ආයතනයෙන් බැහැරට අනාවරණය වූ ලේඛනවලින්, අක්වෙරළ බදු ක්‍රම සිය වාසිය සඳහා ධනවත් පුද්ගලයින් විසින් යොදාගනු ලැබුවේ කෙසේදැයි හෙළි කෙරිණි.
- 2015 ස්විස් ලීක්ස් - HSBC's Swiss private bank බැංකුවෙන් බරට අනාවරණය වූ ලේඛන මගින්, බදු ගෙවීම් පැහැර හැරීම සඳහා සිය සේවාදායකයින්ට සහය වීමට එම බැංකුව රටේ බැංකුකරණයට අදාළ රහස්‍යභාවය පිළිබඳ නීති භාවිත කළ ආකාරය හෙළිදරව් විය.
- 2014 ලක්ස්ලීක්ස් - නමින් හැඳින්වුණු, PricewaterhouseCoopers ගිණුම්කරණ සමාගමෙන් බැහැරට අනාවරණය වූ ලේඛනවලින් කෙරුණේ තමන්ට දැරීමට ඇති ගෙවීම් ප්‍රමාණය අඩු කරගැනීම සඳහා විශාල සමාගම් ලක්සම්බර්ග් හි කෙරෙන බදු ගනුදෙනු භාවිත කළේ කෙසේද යන්න පිළිබඳව ය.
ෆින්සෙන් ලිපි මෙයින් වෙනස් වන්නේ, ඒවා එක සමාගමකින් හෝ දෙකකින් ආ ලේඛන නොවන බැවිනි. ඒවා පැමිණ තිබුණේ බැංකු ගනනාවකිනි.
සමාගම් හා පුද්ගලයන්ට අදාළ, විය හැකි සැකකටයුතු ක්‍රියා පරාසකයක් එමගින් ඉස්මතු කර තිබූ අතර එම ක්‍රියා හඳුනා තිබූ බැංකු විසින් තමන්ගේ සැකසංකාවන්ට අනුව නිතරම ක්‍රියා නොකළේ මන්ද යන ගැටලු මතු කරයි.
මෙම අනාවරණය හේතුවෙන් එක්සත් ජනපදයේ ආරක්ෂාවට බලපෑමක් එල්ලවිය හැකි බවත්, විමර්ශනවලට අවදානමක් ගෙනෙන අතර අදාළ වාර්තා ගොනු කරන ලැබූවන්ගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ලවිය හැකි බවත් ෆින්සෙන් පැවසීය.
එසේවුවත්, මුදල් විශුද්ධිකරණයට එරෙහි සිය වැඩපිළිවෙල සම්බන්ධයෙන් යළි විමසා බැලීම පිළිබඳ යෝජනා එම ජාලය විසින් පසුගිය සතියේ නිවේදනය කළේය.
වංචා මෙන්ම මුදල් විශුද්ධිකරණය වැළක්වීම සඳහා එක්සත් රාජධානිය ද සමාගම් තොරතුරු ලියාපදිංචියට අදාළ ප්‍රතිසංස්කරණ පිළිබඳ සිය සැලසුම හෙළි කළේය.
කියවන්න: