කොරෝනා වෛරසය: වැඩිම දෛනික රෝගීන් සංඛ්‍යාව ඉන්දියාවෙන්, හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි අභාවප්‍රාප්ත වෙයි

ඡායාරූප මූලාශ්‍රය, EPA
ලොව දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනාවෛරස් රෝගීන් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වී තිබේ.
ඇමරිකා එක්සත් ජනපදයෙන් ජුලි 17 වෙනිදා වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව අභිබවා පැය 24 ක් තුළ ඉන්දියාවෙන් අලුතින් රෝගීන් 78,761 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි ඉරිදා (අගෝස්තු 30) වාර්තා විය.
මේ වන විට ලොව කොරෝනාවෛරස් රෝගීන් වැඩි වශයෙන්ම වාර්තා වන රටවල් අතර ඉන්දියාව තෙවෙනි ස්ථානයේ පසු වෙයි.
පසුගිය මාර්තු මස වසංගතයේ බලපෑමට ලක් වීමත් සමග ඉන්දියාවේ දස ලක්ෂ ගණනකට රැකියා අහිමි විය.
නමුත් ආර්ථිකය නංවා ගැනීමේ උත්සාහයක් වශයෙන් ඉන්දීය ආණ්ඩුව තවදුරටත් සංචරණ සීමා ඉවත් කරමින් සිටී.
එරට වෛරස් රෝගීන්ගේ වාර්තා ගත වැඩිවීමක් පෙන්නුම් කරන්නේ එවැනි පසුබිමකදීය.
බොහෝ ග්‍රාමීය ප්‍රදේශයන්හි කෝවිඩ්-19 රෝගීන්ගේ හදිසි වර්ධනයක් පෙන්නුම් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් විශාල වශයෙන් බිය පළ වේ.
මේ වන විට ලොව පුරා කොරෝනාවෛරස් රෝගීන් සංඛ්‍යාව මිලියන 25 ඉක්මවා ගොස් ඇති අතර ඒ හේතුවෙන් මරණයට පත් සංඛ්‍යාව 846,000 කට අධිකය.
වසංගතය හමුවේ වැඩිම බලපෑමකට ලක්ව ඇති රට ඇමරිකා එක්සත් ජනපදයයි. මේ වන විට එරට රෝගීන් සංඛ්‍යාව මිලියන 6 ට ළඟා වී ඇති අතර එය ලොව මුළු රෝගීන් සංඛ්‍යාවෙන් 1/4 කට ආසන්න අගයකි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ආසාදිතයන් ඉහළ යාමට හේතුව?
ජුලි 17 වෙනිදා එක්සත් ජනපදයෙන් දිනක් තුළ ආසාදිතයන් 77,299 ක් හමු වූ අතර ඉන්දියාව ඉරිදා එම සංඛ්‍යාව අභිබවා ගියේය.
"දිනක් තුළ ලොව පුරා වාර්තා වුණු වැඩිම රෝගීන් සංඛ්‍යාව මෙයයි. ග්‍රාමීය ප්‍රදේශ තුළ වසංගතය පැතිර යාම ඊට හේතු වී තිබෙනවා," යනුවෙන් හෘද රෝග පිළිබඳ වෛද්‍යවරයෙකු වන මනෝජ් කුමාර් රොයිටර් පුවත් සේවයට පැවසීය.
කෝවිඩ්-19 වසංගතයේ මුල් අවදියේදී ඉන්දියාව දැඩි ලොක්ඩවුන් සීමා ක්‍රියාත්මක කරමින් තරමක් හොඳින් ඊට මුහුණ දෙන බවක් දක්නට ලැබිණි. නමුත් ඉන් අනතුරුව කුඩා නගර සහ ග්‍රාමීය ප්‍රදේශ තුළ පැතිර යාමට පෙරාතුව වෛරසය මුම්බායි, සහ දිල්ලි වැනි මහා නගර වෙත ළඟා විය.
රෝගීන් සංඛ්‍යාව ඉහළ ගිය ද ලොක්ඩවුන් සීමා ලිහිල් කිරීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටී.
සංස්කෘතික,ප්‍රාසංගික සහ ක්‍රීඩා උත්සව වෙනුවෙන් සිය දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකට රැස් වීමට සැප්තැම්බර් සිට අවසර හිමි වේ. එම රැස්වීම්වලට සහභාගි වෙන පුද්ගලයන් මුඛ ආවරණ පැළඳිය යුතු අතර සමාජ දුරස්ථභාවය පවත්වා ගත යුතුය.
විශාල නගර තුළ උමං දුම්රිය සේවා ද යළි ආරම්භ කිරීමට නියමිතය.

ඡායාරූප මූලාශ්‍රය, EPA
ඉන්දියාවේ 'Medanta' රෝහලේ රුධිර වාහිණී විද්‍යාව පිළිබඳ අංශයේ සභාපති වෛද්‍ය රජීව් පරේක් රොයිටර් පුවත් සේවයට පැවසුවේ, "රෝගීන් සංඛ්‍යාව පහළ යාමට පටන් ගත් විට, දැන් හරි, අපි යුද්ධය දින්නා කියලා මිනිස්සු හිතුවා...මාස්ක් දාන්නේ නැතුව, සමාජ දුරස්ථභාවය පවත්වා ගන්නේ නැතුව හැමෝම හිටියා." යනුවෙනි.
"එය සිදු නොවීමට අප වගබලා ගත යුතුව තිබූ දෙයක්."
රෝගීන් නිසි ලෙස වාර්තා නොවීම සහ පර්යේෂණ පහසුකම් අඩුකම තවදුරටත් ගැටලුවක්ව පවතින බව වෛද්‍යවරු පවසති.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉන්දියාවේ 63,000 ක් වන මරණ සංඛ්‍යාව දළ වශයෙන් මෙක්සිකෝවේ මරණ සංඛ්‍යාව හා සමාන වේ. නමුත් ඉන්දියාවේ මිලියන 3.5 ක් වන ආසාදිතයන් හා සැසඳීමේ දී මෙක්සිකෝවේ එම සංඛ්‍යාව 591,000 තරම් අගයකට සීමා වෙයි.
ඉන්දියාව විසින් සිය මරණ සංඛ්‍යාවට දත්ත එක්රැස් කරනු ලබන්නේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වුණු පුද්ගලයන්ගෙන් පමණි. වෛරසය ආසාදනය වී ඇතැයි සැක සහිත රෝගීන්ගේ දත්ත ඒ සඳහා යොදා නොගනියි.
"ඉන්දියාවේ මිලියනයකට පරීක්ෂණ කෙරෙන්නේ තිස් දහසක්. එය වෛරස් ආසාදිතයන් වැඩි වශයෙන්ම සිටින රටවල් දහය අතරින් පහළ සිට දෙවෙනි තැන," යනුවෙන් වෛරස් අධ්‍යයන විද්‍යාව පිළිබඳ විශේෂඥ ෂහිඩ් ජමීල් AFP පුවත් සේවයට පැවසීය.
ආණ්ඩුව පවසන්නේ කුමක්ද?
ඉහත කී වාර්තාගත වැඩිවීම පිළිබඳ කිසිදු සඳහනකින් තොරව අගමැති නරේන්ද්‍ර මෝදි ගුවන් විදුලිය ඔස්සේ කෙරෙන සිය මාසික දේශනය පැවැත්වීය.
කොරෝනාවෛරසය පරාජය කිරීම සඳහා තවදුරටත් එක්සත්ව සිටින ලෙස හා නීති පිළිපදින ලෙස ඔහු ඉන්දීය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේය.
"සෑම පුරවැසියෙකුම සෞඛ්‍ය සම්පන්න වීම වැදගත්. අපි එක් වෙලා සම්පූර්ණයෙන්ම කොරෝනාවෛරසය පරාජය කරනවා," යනුවෙන් අගමැති මෝදි පැවසීය.
"කොරෝනා පරාජය කළ හැක්කේ ඔබ ආරක්ෂිතව සිටීමෙන් පමණයි, මීටර් දෙකක සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සහ මුඛ ආවරණ පැළඳීම ඉෂ්ඨ කළ යුතුයි."
හිටපු ජනාධිපති අභාවප්‍රාප්ත වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මේ අතර කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී දින 21 කට පසු ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ප්‍රනාබ් මුඛර්ජි අභාවප්‍රාප්ත වී තිබේ.
84 වෙනි වියේ පසු වූ හිටපු ජනාධිපතිවරයා මොළයේ කැටියක් ඉවත් කිරීම සඳහා රෝහල් ගත කර තිබිණි. ඔහුට කෝවිඩ්-19 ආසාදනය වී ඇති බව එහිදී සොයා ගනු ලැබිණි.
2012 සහ 2017 ජනාධිපති ධුරයේ කටයුතු කිරීමට පෙර සිය 51 ක් වසරක දේශපාලන ජීවිතය තුළ ඔහු වැදගත් ධුර ගණනාවක් හොබවා තිබේ.
මුදල්, විදේශ කටයුතු සහ ආරක්ෂක යන අමාත්‍ය ධුර ද ඒ අතර වේ.
ප්‍රනාබ් මුඛර්ජිගේ පුතා අභිජිත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සිය පියාගේ මරණය තහවුරු කර තිබිණ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ මණ්ඩලයන්හි ද ඔහු සේවය කර තිබිණි.
ඉන්දියාවේ කොරෝනාවෛරස් වසංගතය ගැන තවත් පුවත්:











