අමිතාබ් බච්චන් පවුලේ පරම්පරා තුනටම කොරෝනා

Abhishek (L) said his wife and daughter would self-isolate at home

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඉන්දියාවේ කොරෝනාවෛරස් ආසාදිත ජන සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් පවතිද්දී බොලිවුඩ් සිනමාවේ සුප්‍රකට 'බච්චන් පවුලේ' සාමාජිකයන් ද එම වෛරසයට ගොදුරුවීම ඉන්දීය මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යයට ප්‍රධාන මාතෘකාවක් විය.

"බච්චන් පවුලේ" පරම්පරා තුනකට අයත් සාමාජිකයන්ට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත නිලධාරීහු ප්‍රකාශ කළහ.

"බච්චන් පවුලේ" සාමාජිකයන්ට කොරෝනාවෛරසය ආසාදනය වීමේ පුවත පැතිරයන්නට පටන් ගත්තේ පසුගිය සෙනසුරාදා (ජූලි 11) අම්තාබ් බච්චන් සහ ඔහු පුත් අභිෂේක් බච්චන් රෝහලට ගෙනයාමත් සමඟය. ඉන් අනතුරුව, අභිෂේක් ගේ බිරිඳ වන ඓශ්වර්යා රායි බච්චන් සහ ඔවුන්ගේ දියණිය වන ආරධ්‍යා ට ද වෛරසය ආසාදනය වී ඇති බව ඉරිදා (ජූලි 12) සිදුකරන ලද පරීක්ෂණ වලින් තහවුරු විය.

අමිතාබ්, covid -19 ආසාදිත 'බච්චන් පවුලේ' පළමු පරපුර නියෝජනය කරන අතර, අභිෂේක් සහ ඓශ්වර්යා ඔවුන්ගේ දෙවැනි පරපුරට අයත් වෙයි. එම පවුලේ තුන්වෙනි පරපුර නියෝජනය කරන එකම දරුවා ආරධ්‍යා වන්නීය.

අම්තාබ් සහ අභිෂේක් බරපතල නොවන රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව ප්‍රකාශයට පත්කොට ඇති අතර, අභිෂේක් විසින් නිකුත් කරනු ලැබ ඇති ට්විටර් පණිවුඩයකින් කියැවුනේ "තමා සහ තම පියා වෛද්‍යවරුන් විසින් තීන්දුවක් ගන්නා තෙක් රෝහලේ ගත කරන," බවය.

Bachchan has won multiple awards since rising to prominence in the 1970s

ඡායාරූප මූලාශ්‍රය, Reuters

බොලිවුඩ් මෙන්ම හොලිවුඩ් සිනමාවත් අලංකාර කරනු ලැබ ඇති 46 හැවිරිදි ඓශ්වර්යා ඉන්දියාවේ මෙන්ම විදේශයන්හි ද සුප්‍රකට සිනමා තාරකාවක් වන්නීය.

1994 වසරේ ලෝක රූ රැජින ලෙස කිරුළු පළන් ඓශ්වර්යා අනතුරුව UNAIDS ව්‍යාපෘතියෙහි ප්‍රචාරක තානාපතිවරියක් ලෙස නම් කරනු ලැබුණාය. 2003 වසරේ 'කාන්' සිනමා උළෙලේ (Cannes Film Festival) ජූරි සභිකවරියක් ලෙස නම් කෙරුණ ඇය එම ගෞරවය ලද පළමු ඉන්දීය සිනමා තාරකාව වූවාය.

ඓශ්වර්යා සහ ඇයගේ දියණිය ආරධ්‍යා කොරෝනා රෝග ලක්ෂණ ප්‍රදර්ශනය නොකරන බවත් ප්‍රකාශ වෙයි. අභිෂේක් ගේ ට්විටර් පණිවුඩයෙහි දැක්වෙන පරිදි "ඔවුන් දෙදෙනා නිවසේ ස්වයං-හුදෙකලා තත්ත්වයේ පසුවෙති."

සිනමාලෝලීන්ගේ නිමක් නැති ආශීර්වාදය

අමිතාබ් තමාට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව සිය දශලක්ෂ සංඛ්‍යාත සහෘදයන්ට පසුගිය සෙනසුරාදා කියාසිටියේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.

"මට covid 19 ආසාදනය වී ඇති බව පරීක්ෂණවලින් තහවුරු කෙරුණා. ඒ අනුව රෝහලට ගෙනයනු ලැබුණා. පවුලේ සාමාජිකයන් සහ කාර්ය මණ්ඩලය ද පරීක්ෂණයට ලක්කරන බව රෝහල විසින් බලධාරීන්ට දැනුම් දී තිබෙනවා. ඒවායේ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටිනවා," අමිතාබ් සිය ට්විටර් පණිවුඩයෙහි සඳහන් කළේය.

Well-wishers have been praying for Amitabh Bachchan

ඡායාරූප මූලාශ්‍රය, EPA

දැනට 77 හැවිරිදි අමිතාබ් චිත්‍රපට දෙසීයකට පමණ රංගනයෙන් දායක වී ඇත.

අමිතාබ් සහ ඔහුපුත් අභිෂේක් මුම්බායි නුවර 'නානාවතී' රෝහලට (Nanavati Hospital) ඇතුළත් කරනු ලැබ ඇත. අභිෂේක් පවසන පරිදි රෝග ලක්ෂණ එතරම් බරපතල නොවේ.

එම රෝහලේ මහජන සම්බන්ධතා නිලධාරියා උපුටා දක්වන ANI පුවත්සේවය වාර්තා කරන පරිදි, අමිතාබ් සෙසු රෝගීන්ගෙන් වෙන්කර තබා ඇත. එසේම ගත වූ දින දහයක කාලය ඇතුළත අමිතාබ් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ සියලු දෙනාට පරීක්ෂණ සඳහා යොමුවෙන ලෙස රෝහල උපදෙස් දෙයි.

එය ''කොරෝනා කලාපයක්'' බව ප්‍රකාශයට පත්කෙරෙන දැන්වීම් ''බච්චන් මන්දිරය'' ඉදිරිපිට ප්‍රදර්ශනය කිරීමට මුම්බායි නාගරික නිලධාරීන් පියවර ගෙන ඇත.

'බච්චන් පවුලට'' ආශීර්වාද කෙරෙන පණිවුඩවලින් සමාජමාධ්‍ය ජාලය පිරී යමින් පවතී. ඔවුන් වෙනුවෙන් සිය උපහාරය පුදන්නන් අතරට සිනමා නිලියක් වන සෝනම් කේ. අහුජා (Sonam K Ahuja) සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉෆ්රාන් පතාන්ද ඇතුළත් වූහ.

"ආදරණීය අමිතාබ් ජී! ඔබට යහපත් ශරීර සෞඛ්‍ය ප්‍රර්ථනා කරන සමස්ත ඉන්දියානු ජාතිය සමග මමත් එක්වෙනවා. ඔබ අපේ රටේ දශ ලක්ෂ ගණනක් ජනයාගෙන් පුද ලබන චරිතයක්. මහජන චිත්ත සන්තානයේ රැඳී සිටින සුපිරි තරුවක්. ඔබට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රර්ථනා කරමි," ඉන්දීය සෞඛ්‍ය ඇමති හාර්ෂ් වර්ධන් (Harsh Vardhan) පැවසීය.

අමිතාබ් බච්චන් සිය සිනමා ජීවිතයේ දී 'සන්ජීර්' (Zanjeer) සහ ශෝලේ (Sholay) වැනි අතිශයින් ජනාදරයට පත් චිත්‍රපට වලට රංගනයෙන් දායක විය. 1970 දශකයේ දී බොලිවුඩ් සිනමාවට පා තැබීමෙන් අනතුරුව, අමිතාබ් බච්චන් 'ෆිල්ම්ෆෙයාර්' සම්මානයෙන් පහළොස් වතාවක්ද,ජාතික සිනමා සම්මාන හතරකින් ද තවත් සිනමා සම්මාන රැසකින් ද බුහුමන් ලැබ ඇති සිනමා තරුවකි. සිනමාව වෙනුවෙන් කරන ලද මෙහෙවර වෙනුවෙන් ප්‍රංශය එරට පුරවැසියකු සඳහා පුදනු ලබන 'Legion of Honour' ගරු සම්මානය අමිතාබ් වෙනුවෙන් පිරිනමා ඇත.

රඟපෑමට අමතරව අමිතාබ් ඉතා කෙටි කාලයක් දේශපාලන භූමිකාවක් ද ඉටුකර ඇත. 1984 වසරේ ඉන්දීය පාර්ලිමේන්තුවට තේරී පත්වූ අමිතාබ් බච්චන්, ඉන් වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ ඉන් ඉවත්වුනේ අගමැති රජිව් ගාන්ධි රජයට දූෂණ චෝදනා එල්ලවීමත් සමඟය.

පසුගිය මාස කිහිපය තුළ ඔහු කොරෝනාවෛරසයට එරෙහිව රටපුරා ආණ්ඩුවේ මතවාදය ගෙනයාමෙහි ලා පුරෝගාමී කාර්යභාරයක් ඉටුකරමින් සිටියේය.

ඉන්දියාවෙන් දිනපතා වාර්තාවෙන කොරෝනා ආසාදිත ජන සංඛ්‍යාව වාර්තාගත මට්ටමින් වැඩිවෙමින් පවතී. පසුගිය ඉරිදා (ජූලි 12) දිනය තුළ එරටින් වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 27,100ක් විය.ඒ අනුව සමස්ත ආසාදිත සංඛ්‍යාව 850,000 කට ආසන්න විය. ඉන්දියාව මේ වනවිට ලෝකයේ කොරෝනාවෛරස් අසාදිත සංඛ්‍යාව අතින් තුන්වෙනි තැනට පත්ව ඇත.

එවැනි අනතුරක් ඇතත්, Covid 19 වෛරස් පරීක්ෂණ උපකරණ හිඟයක් මෙන්ම, ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල අඩුවක් බල පැවැත්වෙන බවටත් චෝදනා එල්ලවෙමින් ඇත.

කියවන්න: