සිරියාවේ දී රුසියානු සහ ඇමෙරිකානු යුද රථ දෙකක් ගැටෙයි: ඇමෙරිකානු භටයන්ට තුවාල

නැගෙනහිර සිරියාවේ දී ඇමෙරිකාවට සහ රුසියාවට අයත් යුද රථ දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් එම දෙරට එකිනෙකාට චෝදනා කර ගනිමින් සිටිති.

එම යුද රථ ගැටුමේ දී එක්සත් ජනපද සොල්දාදුවන් කීපදෙනෙකුට තුවාල සිදුව ඇති බවත් වාර්තා වෙයි.

යුද රථ දෙක ගැටෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් රුසියාවේ ජාතිකවාදී වෙබ් අඩවියක් වන 'Rusvesna.su' මගින් පළකරනු ලැබ ඇති අතර එය 'ට්විටර්' ජාලයේ විශාල වශයෙන් සංසරණය වෙමින් පවතී. රුසියාවට අයත් හෙලිකොප්ටර් යානයක් ඊට ඉහළින් ඉතා පහළ අවකාශයක පියාසර කරමින් තිබියදී, කාන්තාර ආරක්ෂක සේනාංකයක යොදවා තිබුණ ඔවුන්ගේ යුද රථයක් ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් සන්නද්ධ රථයක ගැටෙන ආකාරය එම වීඩියෝ පටයේ ඇතුළත් වෙයි.

සිය යුද රථයේ මුර සංචාරක කාර්යයට එක්සත් ජනපදය අවහිර කරන ලද බව රුසියාව කියා සිටියි.

මේ අතර එක්සත් ජනපද ආරක්‍ෂක අංශයේ නිලධාරියෙක් බීබීසීය සමඟ ක්‍රියාත්මක වන 'CBS News' වෙත අදහස් දක්වමින්, රුසියාවේ හමුදා "ආරක්ෂක කලාපයකට" ඇතුල් වූ බවත්, එම කලාපයට ඇතුල් නොවීමට රුසියාව එකඟව සිටි බවත් සඳහන් කළේය.

ඉහත කී යුද රථ ගැටුමෙන් තම රථයේ සිටි භටයන්ට සුළු තුවාල සිදුව ඇති බව ධවල මන්දිරය පවසයි.

අනතුර පිළිබඳ පුවත මුලින්ම ප්‍රකාශයට පත්කරනු ලැබ තිබෙන්නේ පසුගිය බදාදාය.

සිරියාවේ රඳවා ඇති රුසියාවට සහ ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් හමුදාවන් අතර නිතරම මෙන් අන්‍යෝන්‍ය මැදිහත්වීම් සිදුව ඇතත් ගැටුම් ඉතා විරල යයි සැලකෙයි.

2011 පටන් සිරියාවේ දිග්ගැස්සෙමින් පවතින සිවිල් යුද්ධයේ දී රුසියාව සිරියානු ආණ්ඩුවට ද, ඇමෙරිකා එක්සත් ජනපදය එම භූමියේ වෙසෙන 'කුර්දි' කැරලිකරුවන්ට ද සහයෝගය දෙති.

රුසියාව කියන්නේ කුමක්ද?

අනතුර සිදුවීමට පෙර තම හමුදා අදාළ ප්‍රදේශයේ මුර සංචාරයේ නිරතවෙන බව අනතුර සිදුවීමට පෙර එක්සත් ජනපද හමුදාවට දැනුම් දී තිබුණ බව රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

"දැනට බලපැවැත්වෙන ගිවිසුම් උල්ලංඝනය කරනු ලැබීමට අමතරව, එක්සත් ජනපද හමුදාවේ සොල්දාදුවන් රුසියාවේ මුර සංචාරක කටයුතුවලට අවහිර කරනු ලැබ," ඇතැයි රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් 'ටාස්' (Tass) පුවත් සේවය වාර්තා කළේය.

"ඊට ප්‍රතිචාරය දක්වමින්, රුසියාවේ යුද හමුදා පොලිසිය අනතුරක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගත් අතර, ඊට අනුරූපව දැනුම්දෙනු ලැබ තිබුණ මුර සංචාරයේ නිරත වීමට පියවර ගෙන ඇත," එම ආරක්ෂක අමාත්‍යාංශ නිවේදනයේ දැක්වෙයි.

සිරියානු ආණ්ඩුවේ ආරාධනය පරිදි, 2016 වසරේ පටන් රුසියාවේ යුද හමුදා පොලිසිය එම භූමියේ රඳවනු ලැබ ඇත. එම යුද හමුදා පොලිසිය සිරියානු ආණ්ඩුවේ පාලනය පවතින කලාපයේ රඳවා සිටින අතර, දැනට එරට සිටින රුසියාවේ හමුදාවන්ට රැකවරණය සපයන අතරවාරයේ ඊනියා යුද විරාම කලාප හතර තුළ සටන් විරාම අධීක්ෂණයේත් නිරත වෙයි.

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය (IS) ඇතුළු කැරලිකාර කණ්ඩායම් කීපයකට එරෙහිව සිරියානු ජනාධිපති බෂාර් අල්- අසාද් ගේ හමුදාවන් ගෙනයන සටනේ දී රුසියාව ඔවුන්ට බිහිසුණු බෝම්බ ඇතුළු විශාල අවි ආයුධ සැපයීම සිදුකරයි.

එක්සත් ජනපදය කියන්නේ කුමක්ද?

"සිය කාර්ය මණ්ඩලයට තුවාල සිදුකරමින් රුසියාවට අයත් යුද රථයක්, බිම්බෝම්බවලට ඔරොත්තු දෙන පරිදි සහ දුෂ්කර භූමිවල යෙදවිය හැකි පරිදි සකස් කරන ලද තම විශේෂ රථයක ගැටුන," බව ධවල මන්දිර ජාතික ආරක්ෂක මණ්ඩලය (NSC)පවසයි.

ඉහත කී ගැටුම වාර්තා වෙන සිරියානු කලාපයේ එක්සත් ජනපද හමුදා භටයන් පන්සියයක් (500) පමණ රඳවනු ලැබ ඇත. එය කලින් එහි රඳවා සිටි ඔවුන්ගේ හමුදා සංඛ්‍යාවට සාපේක්ෂව අඩු ප්‍රමාණයකි. එම හමුදා රඳවා සිටින්නේ ඉස්ලාමීය රාජ්‍ය (IS)ජිහාඩ්වාදීන්ගේ ඉදිරි තර්ජනයකට මුහුණදීමේ දී ඊට සහාය පිණිසය. එක්සත් ජනපද හමුදාව කුර්දි ජාතිකයන් විසින් මෙහෙයවනු ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදා සන්ධානයට (SDF) සහයෝගය දෙයි.

ධවල මන්දිර ජාතික ආරක්ෂක මණ්ඩල (NSC) ප්‍රකාශක ජෝන් උලියට් (John Ullyot) උපුටා දක්වන 'Politico'වෙබ් අඩවිය ඉහත කී අනතුර පසුගිය අඟහරුවාදා සිරියානු වේලාවෙන් උදේ දහයට පමණ සිදුව ඇතැයි සඳහන් කර ඇත.

එක්සත් ජනපද වාහනයේ ගැටීම සම්බධයෙන් රුසියාවේ හමුදාව හෙලාදකින ධවල මන්දිර ජාතික ආරක්ෂක මණ්ඩල (NSC) ප්‍රකාශක ජෝන් උලියට්, 'ගැටුම උත්සන්නවීම වලක්වා ගැනීම සඳහා' යුද සන්ධානයේ භටයන් එම කලාපයෙන් ඉවත්ව ගිය බවත් සඳහන් කර ඇත.

"අනාරක්‍ෂිත සහ වෘත්තීයමය නොවන මෙවැනි හැසිරීම් මගින්, 2019 වසරේ දී රුසියාව සහ එක්සත් ජනපදය බැඳුන අර්බුද ඇතිකරගනු ලැබීමෙන් වැලකී සිටීමේ ප්‍රඥප්තිය නොතකා හැරීමක් පෙන්නුම් කෙරෙන බවත්," ධවල මන්දිර ජාතික ආරක්ෂක මණ්ඩල (NSC) ප්‍රකාශක ජෝන් උලියට් ප්‍රකාශ කර ඇත.

නිරන්තර ගැටුම්

ඊශානදිග සිරියාවේ රඳවා සිටින එක්සත් ජනපද හමුදා ගැටුම් ගණනාවකට සම්බන්ධ වී ඇතැයි ආරක්ෂක තොරතුරු භාර බීබීසී වාර්තාකරු ජොනතන් මාකස් පවසයි. මෙයින් සතියකට හෝ ඊට වැඩි කාලයකට පෙර ඇමෙරිකානු හමුදා සිරියා- රුසියානු යුද හවුලේ ප්‍රහාරයකට ලක්වූ බවත් බීබීසී වාර්තාකරු සඳහන් කරයි.

2018 වසරේ පෙබරවාරි මාසයේ රුසියාවේ කුලී හේවායන් සහිත විශාල හමුදාවක් සිරියාවේ විශාල ඛනිජ තෙල් භූමියක් අසල දී ඇමෙරිකානු හමුදාවන්ට ප්‍රහාරයක් එල්ල කරනු ලැබුණි. එම හමුදාවන්ට විශාල අලාභ හානියක් අත්කරමින් පසුබස්වන ලද බවත් වාර්තා විය.

එහෙත් ඉහත කී අලුත්ම ගැටුම වෙනස් මුහුණුවරක් ගනී. එය රුසියාවේ සහ ඇමෙරිකානු නිල හමුදාවන් අතර සෘජු ගැටුමකි.

ඇමෙරිකානු පාර්ශ්වය පවසන පරිදි,මෙය රටාවකට සිදු වූ සිද්ධීන් සමුදායක එක අවස්ථාවක් වෙයි. ඇමෙරිකානු පාර්ශ්වය වැඩි දුරටත් කියා සිටින්නේ, විවිධ සාමූහික ගිවිසුම් කඩකරන අතරවාරයේ රුසියාව එක්සත් ජනපද හමුදාවන්ට ඉඳුරාම හිංසා කරන බවය.

එවැන්නක් සිදුකෙරෙන්නේ කුමක්නිසාද? බීබීසී වාර්තාකරු ජොනතන් මාකස් අදාළ පසුබිම මෙසේ විග්‍රහ කරයි.

"ඇමෙරිකාව සිරියාවෙන් බැහැරවීමේ මාවතේ සිටින බව මොස්කව් පාලනය දනී. කුර්දි යුද සන්ධානයට සහාය දෙමින් සිරියානු භූමියේ රඳවා සිටින තම හමුදා භටයන් දහසක් (1,000) ඉවත්කර ගැනීම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව දැඩි තහංචි බල පැවැත්වෙන ප්‍රදේශයන්හි රඳවා තැබෙන්නේ වඩාත් කුඩා ඇමෙරිකානු හමුදාවකි."

එහෙත් විදේශයන්හි රඳවනු ලැබ සිටින හමුදා සංඛ්‍යාව අඩුකිරීම ජනාධිපති ට්‍රම්ප්ගේ උවමනාව බව රුසියාව අවබෝධ කරගෙන ඇත. ඇමෙරිකානු භටයන්ට පිටවීමේ දොරටුව පෙන්වීමට මොස්කව් පාලනය අදහස් කරන බවක් පෙනී යයි," ජොනතන් මාකස් සඳහන් කරයි.

කියවන්න;