ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
චීන සිසුන් පැහැරගැනීමක් සේ පෙන්වන ජාවාරමක් - ඔස්ට්‍රේලියානු පොලිසිය හෙළිදරව් කරයි
මහා පරිමාණයේ කප්පම් ලබාගැනීම සඳහා සිඩ්නි නගරයේ චීන සිසුන් ඉලක්ක කරගත් පැහැර ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් ඇතැයි ඔස්ට්‍රේලියානු පොලිසිය පවසයි.
එවැනි පැහැරගැනීම් වැඩි ප්‍රමාණයකදී සිදු වී තිබෙන්නේ සිසුන්ට තර්ජනය කොට ඔවුන් පැහැර ගැනීමකට ලක්ව සිටින ආකාරයට පෙනී සිටින ලෙස උපදෙස් දෙමින් ඔවුන් ඇතුළත් දර්ශන සහිත වීඩියෝපට එම සිසුන්ගේ පවුල්වල නෑදෑයන්ට යවමින් මුදල් ඉල්ලා සිටීමය.
''සැබෑ ලෙසම සිදුවී නැති එහෙත් සිදුවිනැයි පෙන්නුම් කරන ලද'' එවැනි පුද්ගල පැහැරගැනීම් අටක් මේ වසර තුළ වාර්තා වී ඇත. එම එක් පැහැරගැනීමක් නිරාකරණය කර ගැනීමට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන දෙකක් කප්පම් වශයෙන් ගෙවා ඇත. ජාවාරම්කරුවන්ගේ ගොදුරුබවට පත්වූ පුද්ගලයන් තමන් හෝ තම පවුල්වල සාමාජිකයන් අනතුරට වැටෙනු ඇතැයි බියපත්ව කටයුතු කරන බවත් ඕස්ට්‍රේලියානු පොලිසිය පවසයි.
නිව් සවුත්වේල්ස් පොලිසිය පවසන ආකාරයට 2020 වසර පුරා එම අපචාරය බහුල මට්ටමින් නිතරම ක්‍රියාත්මක වී තිබෙන්නේ සංඛ්‍යාත්මකව වැඩිවන වේගයකිනි. පොලිසිය පවසන පරිදි එම අපචාරය ''ව්‍යාපාරයක මට්ටමින් '' ක්‍රියාත්මක වී ඇත
එවැනි තත්ත්වයක් යටතේ තමන්ට ලැබෙන තර්ජනාත්මක දුරකථන පණිවුඩ වේනම් ඒ පිළිබඳ ඒ මොහොතේම තමන්ට දැනුම්දෙන ලෙස ඕස්ට්‍රේලියානු පොලිසිය ඒවාට ඉලක්කවන සිසුන්ගෙන් ඉල්ලීමක් ද කරයි.
ජාවාරම ක්‍රියාත්මක වන්නේ කෙසේද?
බලධාරීන් පවසන පරිදි, පිටරටවල සිට මෙහෙයවනු ලබන මෙම ජාවාරමට අදාළ පණිවුඩ කෙළින්ම නොව දුරකථන පණිවුඩ පහසුකම් සපයන ආයතන ඔස්සේ ලැබෙන හෙයින් ඒ පිටුපස සිටින්නන් සොයාගැනීම අසීරු කරුණක්ව ඇත.
මෙම අපචාරයට සම්බන්ධ ජාවාරම්කරුවකු කරන්නේ තමා චීන තානාපති කාර්යාලයෙන් හෝ වෙනත් ආයතනයකින් කතාකරන බවක් අඟවමින් තම ගොදුර බවට පත් තැනැත්තා චීනයේ සිදු වූ අපරාධයකට හවුල්බව හෝ වෙනත් ආකාරයේ තර්ජනයකට ඔහු හෝ ඇය මුහුණ දී ඇති බව අදාළ පුද්ගලයාට දැනුම් දීමය.
චීන 'මැන්ඩරීන්' භාෂාව කතාකරන මෙම ජාවාරම්කරුවෝ කරනු ලබන්නේ අත්අඩංගුවට ගනු ලැබීමෙන් හෝ පිටුවහල් කරනු ලැබීමෙන් බේරී සිටීමට නම්, සිසුන් ඉදිරි කාලය සඳහා ගෙවිය යුතු මුදල් තමන්ට සපයන ලෙස ඔවුන්ට කියා සිටීමය.
ජාවාරම්කරුවන් විසින් ඇතැම් අවස්ථාවලදී මෙවැනි වෙනත් උපක්‍රමද භාවිත කරනු ලැබ ඇත. එනම්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ මිතුරන් සමඟ පවත්වන සියලු සම්බන්ධතා නතර කොට හෝටලයක කාමරයක් කුලියට ගෙන තමා පැහැර ගැනීමකට ලක්ව සිටින බවක් අඟවන ලෙස සිසුන්ට බල කරමින් ඔවුන් ලවා ඔවුන්ගේ පිටරටවල සිටින නෑදෑයන්ගෙන් මුදල් ලබා ගැනීමට, ගෙන්වා ගැනීමට කටයුතු කිරීමය.
එවැනි සිද්ධියක දී එක් සිසුවියකගේ පියාට තම දියණියගේ කට බැඳ ඇය නොදන්නා ස්ථානයක රඳවනු ලැබ සිටින ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් තමා අතට ලැබීමටත් පෙරම ඇය ''මුදාගැනීම'' වෙනුවෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන දෙකක කප්පමක් ගෙවීමට සිදුවිය.
අනතුරුව එම පියා සිඩ්නි පොලිසියට සිද්ධිය දැනුම් දුන්නේය. ඒ සමඟ ආරම්භ වූ සෝදිසි මෙහෙයුමක දී එම ශිෂ්‍යාව නගරයේ හෝටල් කාමරයක ආරක්ෂිතව සිටිනු පැයක් ඇතුළත සොයා ගැනීමට හැකිවිණි.
මේ වසරේ ඔස්ට්‍රේලියානු පොලිසියට වාර්තා වී ඇති වෙනත් පැමිණිලි අනුව, කප්පම් ලෙස විවිධ අවස්ථාවන්හි ගෙවා ඇති මුදල් එරට මුදලින් ඩොලර් 20,000 සහ 300,000 අතර විවිධ මට්ටම්වල විය.
''ඇතැම් අවස්ථාවල ජාවාරම්කරුවන්ගේ ඉලක්ක බවට පත්වන සිසුන්ගේ පවුල්වලට ඔවුන් සතු අන්තිම සතයත් කප්පම් හැටියට ගෙවන්න සිද්ධවෙලා තිබෙනවා'' රහස් පොලිස් ප්‍රධානී ඩැරන් බෙනට් (Darren Bennett) පවසයි.
ඉහත කී ආකාරයේ බොහෝ සිද්ධීන්හිදී පොලිසිය දැනුවත් කරන ලද අවස්ථාවන්හි සාමාන්‍යයෙන් සිදුව ඇත්තේ පැහැරගැනීමට ගොදුරුවිනැයි කියන ලද පුද්ගලයන් ඊළඟ දිනයේ සුරක්ෂිතව සිටිනු සොයාගනු ලැබීමය. එසේම,අපරාධයට ගොදුරුවිනැයි කියන පුද්ගලයන් එම අපරාධය ගැන පැමිණිලි කිරීම අතින් ලජ්ජාශීලී හෝ දුෂ්කර තත්ත්වයක සිටින ආකාරයක් ප්‍රදර්ශනය කර ඇත.
''අප සම්බන්ධ වූ අවස්ථාවන්හි දී, පැහැර ගැනීමක් සිදුවූ ආකාරයට හැසිරුණ පුද්ගලයන්, තමන් පමණක් නොව තම පවුල්වල සාමාජිකයන් ද විශාල අනතුරකට හෙලන ලදැයි යන අදහස අනුව ඔවුන් සිදු කළ එම ක්‍රියාව සම්බන්ධයෙන් කම්පාවට පත් හැඟීමෙන් පසුවුණා'' නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත පොලිසිය පවසයි.
මිනිසුන් ගොදුරුබවට පත්වන්නේ ඇයි ?
පොලිසිය පවසන ආකාරයට ඉහත කී කප්පම් ජාවාරම මහාපරිමාණයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම ජාවාරම මෙහෙයවනු ලබන්නේ දුරකථන නාමාවලියේ චීන වාසගමකින් අවසන්වෙන ඕනෑම පුද්ලයකුට ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන දුරකථනයකින් හදිසි ඇමතුමක් දීමත් සමඟය.
''කප්පම්කාරයෝ ඔවුන්ගේ දැල පුළුල් මට්ටමින් ක්‍රියාවට නංවනවා. ඔවුන් ඔවුන්ට හසුවෙන ටිකදෙනෙක් අල්ල ගන්නවා. ඉතින් මේ ජාවාරම ඔවුන්ට ලොකු ලාභදායක ව්‍යාපාරයක් '' රහස් පොලිස් ප්‍රධානී ඩැරන් බෙනට් (Darren Bennett) පවසයි.
රහස් පොලිස් ප්‍රධානියා පවසන පරිදි, පසුගිය මාස කිහිපය තුළ ඉහත කී ජාවාරම විශාල වශයෙන් වැඩිවී තිබිණි.
''කප්පම්කාරයන්ගේ ජාවාරමකට ගොදුරු වූ එක පුද්ගලයෙක්වත් සෑම සති අන්තයකම වගේ අපට හමුවී තිබෙනවා'' ඔහු සඳහන් කළේය.
ඔස්ට්‍රේලියාවේ විදේශීය ශිෂ්‍ය උපදේශකයන් පවසන්නේ, පවතින වසංගත උවදුර සමයේ සිසුන් වඩාත් අනතුරුදායක තත්ත්වයකට වැටී ඇති බවය. ඊට හේතුව සිසුන්ට ජීවිකාව සඳහා තාවකාලික රැකියා මත යැපීමට සිදුවීම සහ ඔවුන් ආණ්ඩුවේ සුභසාධක දීමනාවලින් ඉවත්කරනු ලැබීමය.
''හුදෙකලාව පසුවීම වැනි විදේශීය සිසුන්ගේ සංස්කෘතිකමය ලක්ෂණ ඔවුන් අන්තරායකාරී ගොදුරුබවට පත්වීමට හේතුවී ඇතැයි'' ඔස්ට්‍රේලියානු පොලිසිය පවසයි.
එපරිද්දෙන් ජාවාරමකට ගොදුරුවනන් එම අපරාධකරුවන් විසින් ඇතිකරනු ලබන මානසික බලපෑමට වහල්වීම නිසා ඔවුන් ''ව්‍යාජ පැහැරගනු ලැබීම්'' ආදිය වැනි ක්‍රියා සඳහා යොදාගනු ලැබීමට හැකිවෙනවා'' රහස් පොලිස් ප්‍රධානී ඩැරන් බෙනට් (Darren Bennett)පෙන්වා දෙයි.
''මේ වගේ ජාවාරම්වලින් බේරීම සඳහා ශිෂ්‍යයන්ට තම තමන්ගේ ආරක්ෂාවට අනුගමනය කළ හැකි වැදගත් කරුණු දෙකක් තිබෙනවා. පළමුවෙන්, අනතුරක් ඇති බවට අවධානයෙන් පසුවන්න. දෙවනුව,තමන් හෝ තමන් දන්න කෙනෙක් ජාවාරමේ ගොදුරක් වෙන්න යනවා කියල හිතනවනම් කල්තබාම උදව් පතන්න'' නිව් සවුත්වේල්ස් පොලිසිය උපදෙස් දෙයි.
ඔස්ට්‍රේලියාවේ පමණක් නොව නවසීලන්තයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේද එවැනි ජාවාරම්, අපචාර සිදුවන බවට වාර්තා ලැබෙමින් පවතී.
මෙම තොරතුරු ද දැනගන්න: