කොරෝනා වෛරසය: ඇමරිකාව, අප්‍රිකාව සහ ඉන්දියාව - වැඩියෙන් ම බලපෑමට ලක්ව ඇති රටවල් මොනවාද?

එක්සත් ජනපදයේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව මිලියන දෙක ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත පෙන්වා දෙයි.

ඇමරිකාවට පසු ලොව කොවිඩ්-19 රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර බ්‍රසීලය (770,000) සහ රුසියාව (500,000) පසු වෙති.

ඇමරිකාවේ තුළ සීමා ලිහිල් කරමින් පැවතියත් එරට ප්‍රාන්ත විස්සක ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් තිබේ.

වසංගතය ආරම්භ වීමෙන් පසු පළමු වරට සංවිධානය කෙරෙන ජනාධිපතිවරණ රැළිය ජුනි 19 වෙනිදා ඔක්ලහොමා හිදී පැවැත්වෙනු ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේය.

මේ අතර පසුගිය වසරේ අගෝස්තු මස තරම් ඈත කාලය වන විටත් වූහාන් හි කොරෝනා වෛරසය තිබී ඇති බව ඇමරිකාව කළ අධ්‍යනයකින් පෙන්නුම් කළත් චීනය එය ප්‍රතික්ෂේප කර තිබේ.

අප්‍රිකානු මහාද්වීප කලාපයේ කොරෝනා වෛරස් වසංගතය පැතිර යාමේ වේගය වැඩි වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

අප්‍රිකානු රටවල ප්‍රධාන නගරවලින් ඔබ්බට වෛරසය පැතිර යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකානු කලාපය භාර අධ්‍යක්ෂවරිය මැට්ෂිඩිසෝ මොඒටි පෙන්වා දෙයි.

පරීක්ෂණ සහ වෙනත් සැපයුම් හිඟවීම පැතිර යාම පාලනය කිරීමහි ලා බාධාවක් වී ඇති බවත් ඇය සඳහන් කළාය.

නමුත් වගකිවයුතු අංශ බරපතල මට්ටමේ පසුවන රෝගීන් සහ මරණ මගහැර ඇති බවක් එමගින් පෙන්නුම් නොකරන බව ඇය වැඩිදුරටත් පැවසීය.

ලොව කොරෝනා වෛරසයෙන් අඩුම බලපෑමකට ලක්ව ඇති මහාද්වීපය අප්‍රිකාවයි.

මේ අතර ගතව ගිය පැය 24 තුළ කොරෝනා වෛරසය ආසාදිත 151 දෙනෙකු මරණයට පත්ව ඇති බව එක්සත් රාජධානියේ ආණ්ඩුවේ අලුත්ම සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

ඒ අනුව බදාදා, (ජුනි 10) බ්‍රිතාන්‍ය වේලාවෙන් සවස 05:00 වන විට එක්සත් රාජධානියේ මුළු මරණ සංඛ්‍යාව 41,279 දක්වා ඉහළ ගොස් තිබේ.

සතියකට පෙර ලොක්ඩවුන් සීමා ක්‍රියාත්මක කළේ නම් එක්සත් රාජධානිය තුළ මරණයට පත් සංඛ්‍යාව අඩකින් අඩු කර ගැනීමට ඉඩ තිබූ බව විශේෂඥයෝ පෙන්වා දෙති.

නමුත් තමන් ලොක්ඩවුන් සීමා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගත්තීන්දුවේ නිවැරදිභාවය වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලය පෙනී සිටී.

මේ අතර ඉන්දියාවේ මධ්‍යම කලාපයේ පිහිටි නාග්පූර් නගරයේ ලොක්ඩවුන් සීමා ඉවත් කිරීම සමරනු වස් පැවති සාදයකින් පසු 180 දෙනෙකුට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

සාදය සංවිධානය කළ පුද්ගලයාගෙන් වෛරසය බෝ වී ඇති බවත් ඒ අතර එක් පවුලක 16 දෙනෙකු සිටින බවත් බලධාරියෙකු බීබීසී මරාති සේවයට පැවසීය.

ආසාදිත පුද්ගලයන් ඇසුරු කළ තවත් 700 ක් නිරෝධායනයට යොමු කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වන විට ඉන්දියාවෙන් වෛරස් ආසාදිත 276,583 දෙනෙකු වාර්තා වෙයි. වැඩි වශයෙන්ම ආසාදිතයන් වාර්තා වන රටවල් අතර ඉන්දියාව පස් වෙනි ස්ථානයේ පසු වේ.

මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිත සංඛ්‍යාව මිලියන 7.3 ඉක්මවා තිබේ.

ඒ හේතුවෙන්ම මරණයට පත් සංඛ්‍යාව 416,000 කට අධිකය.