ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලොක්ඩවුන් නීති නිසා මාස දෙකක් මුහුදේ පාවෙමින් සිටි මුස්ලිම් සරණාගතයෝ
මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ මුහුදේ පාවෙමින් තිබූ බෝට්ටුවක සිටි රොහින්ග්‍යා මුස්ලිම්වරුන් 270 දෙනෙකු පමණ මැලේසියානු බලධාරීන් විසින් බේරා ගනු ලැබ තිබේ.
ඔවුන්ට මෙම තත්ත්වය උදාවී ඇත්තේ කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා රටවල් වසා දැමීම හේතුවෙනි.
මෙම පිරිස බංග්ලාදේශයේ දකුණු කලාපයෙන් පළාගොස් ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේදීය. lockdown නීති පැවතීම නිසා එවක් පටන් මෙම බෝට්ටුවට ගොඩබිමකට ළගාවීමට නොහැකි වී ඇත.
පසුගිය සඳුදා මැලේසියානු වෙරළ ආරක්ෂක නිලධාරීන් මෙම බෝට්ටුවට ළඟා වනවාත් සමග ම එහි සිටි ඇතැම් අය මුහුදට පැන ගොඩබිම දෙසට පීනන්නට පටන්ගෙන තිබිණි.
මෙම සරණාගතයන් යාත්‍රා කරමින් සිටි ට්‍රෝලර් බෝට්ටුව ඒ වන විට ක්‍රියාවිරහිත වී මුහුදේ පාවෙමින් තිබී ඇත.
මියන්මාරයේ ජීවත්වන රොහින්ග්‍යා මුස්ලිම්වරුන් විශාල පිරිසක් පසුගිය වසර කිහිපය තුළදී මියන්මාරය අතහැර පලා ගියහ.
එසේ පලා යන්නන්ගෙන් බොහෝ පිරිසක් අසල්වාසී බංග්ලාදේශයට ඇතුළු වන අතර එරට Cox's Bazar ප්‍රදේශයේ පවතින සරණාගත කඳවුරුවල මේ වන විට රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් මිලියනයක් පමණ වාසය කරති.
මියන්මාරය අතහැර පලා යන තැම් රෝහින්ග්‍යා මුස්ලිම්වරු මැලේසියාවට ළඟාවීමට උත්සහ කරති.
පසුගිය වසර කීපය තුළ මිනිස් ජාවාරම්කරුවන් විසින් රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් දහස් ගණනක් නීති විරෝධී ලෙස මැලේසියාවට රැගෙන එනු ලැබූහ.
නමුත් මේ වන විට සරණාගත බෝට්ටු බාර ගැනීම මැලේසියාව ප්‍රතික්ෂේප කරයි. මැලේසියානු බලධාරීන් ප්‍රකාශ කරන්නේ covid 19 වසංගතය හේතුවෙන් එම පියවර ගෙන ඇති බවය.
මැලේසියානු වෙරළාරක්ෂක නෞකාවකට මෙම සරණාගතයන් සහිත බෝට්ටුව පසුගිය සඳුදා නිරීක්ෂණය වී ඇත. එම අවස්ථාවේදී මෙම සරණාගතයන් සහිත බෝට්ටුව පාවෙමින් තිබී ඇත්තේ මැලේසියාවේ ලංකාවි දූපතට අයත් මුහුදු කලාපයේය.
එම අවස්ථාවේදී මෙම වෙරළාරක්ෂක බලධාරීන් මෙම බෝට්ටුව ජාත්‍යන්තර මුහුදු කලාපයට තල්ලු කර දැමීමට කටයුතු කර ඇති බව AFP පුවත් සේවය පවසයි.
නමුත් මැලේසියානු වෙරළාරක්ෂක නෞකාව ළඟා වෙත් ම රෝහින්ග්‍යා සරණාගතයන් පනස් තුන් දෙනකු මුහුදට පැන ඇත.
මුහුදු මුර සේවා අධීක්ෂණය කරනු ලබන කාර්ය සාධක හමුදාව නිකුත්කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ තවත් රොහින්‍යා මුස්ලිම්වරුන් 216 දෙනෙකු බෝට්ටුව තුළ සිටියදී සොයාගෙන ඇති අතර මියගිය කාන්තාවකගේ මළ සිරුරක් ද සොයාගත් බවය.
අනතුරුව මෙම සරණාගතයන් සියලු දෙනාට පානීය ජලය සහ ආහාර ලබා දී, බෝට්ටුව සහ එහි සිටි සරණාගතයන් 270 දෙනාම ලංකාවි දූපතට ගෙනගොස් ඇත.
එම නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ මෙය මසුන් මැරීම සඳහා භාවිත කරන ට්‍රෝලර් යාත්‍රාවක් වන අතර එය ජාත්‍යන්තර මුහුදු කලාපයට තල්ලු කිරීම අසාර්ථක කිරීම සඳහා ඊට හානි පමුණුවා ඇති බවට පරීක්ෂණයකින් හෙළි වූ බවය.
මියන්මාරයෙන් පලා යන මොහොතේ මෙම බෝට්ටුව තුළ සරණාගතයන් පන්සියයක් පමණ සිටි බවට ඔවුන් සමග වරින්වර සබඳතා පැවැත්වූ මානව හිමිකම් ක්‍රියාධරයෝ විශ්වාස කරති.
මැලේසියානු වෙරළාරක්ෂක භටයන් ළඟාවීමට පෙර එම බෝට්ටුව තුළ සිටි සරණාගතයන් පිරිසක් මුහුදට පැන ගොඩබිම වෙත පිහිනා යන්නට ඇතැයි අනුමාන කෙරේ.
මෙම වසර මුලදී රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් සිය ගණනක් සහිත සරණාගත බෝට්ටුවක් මැලේසියාවට නුදුරු මුහුදේ සති ගණනක් පාවෙමින් සිටියදී සොයා ගැනිණි. සිය ගණනක් සිටි එම බෝට්ටුවේ අඩු තරමින් 28 දෙනෙකුවත් මරණයට පත්වී සිටි බව වාර්තා විය.
රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් මියන්මාරයේ සිට බංගලාදේශයට පලා එන්නට පටන් ගත්තේ මියන්මාර හමුදාව ඔවුන් වෙසෙන පෙදෙස්වල මෙහෙයුම් දියත් කිරීමෙන් අනතුරුවය. එම මෙහෙයුම් ආරම්භ වූයේ 2017 දීය.
එම වකවානුවේදී රෝහින්ග්‍යා මුස්ලිම්වරු 750,000ක් දේශ සීමාව තරණය කොට බංග්ලාදේශයට පලා ගියහ.
ඒ වනවිටත් මියන්මාර සරණාගතයන් ලක්ෂ ගණනක් බංග්ලාදේශයේ සිටියහ.
2017 වසරේදී මියන්මාර් යුද්ධ හමුදාව දියත් කළ මර්දනය හේතුවෙන් රෝහින්ග්‍යා වැසියන් දහස් ගණනක් ජීවිතක්ෂයට පත් වූහ.
මියන්මාරය නිරන්තරයෙන් අවධාරණය කළේ rakhine ප්‍රාන්තයේ අන්තවාදී තර්ජනයකට මුහුණ දීම සඳහා තම හමුදා මෙහෙයුම් දියත් කළ බවය.
හේග් ජාත්‍යන්තර අධිකරණයේදී සාක්ෂි දෙමින් අවුන්සාන් සුකී කියා සිටියේ මෙම තත්ත්වය, රජයේ ආරක්ෂක මුරපොළවලට රෝහින්ග්‍යා සටන්කාමීන් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් නිර්මාණය වූ 'අභ්‍යන්තර සන්නද්ධ ගැටුමක්' බවය.
2017 වසර ආරම්භ වන විට, කලින් බුරුමය ලෙස හැඳින්වුණ වත්මන් මියන්මාරයේ දස ලක්ෂයක් පමණ රෝහින්ග්‍යා ජනතාව වාසය කළ අතර ඔවුන්ගෙන් වැඩි දෙනාගේ වාසභූමිය වූයේ rakhine ප්‍රාන්තයයි.
එම ජනතාව අනවසර සංක්‍රමණයන් ගණයට ඇතුළත් කරන මියන්මාරය එම ජනයාට පුරවැසිභාවය පිරිනැමීම ප්‍රතික්ෂේප කරයි.
තමන්ට එරෙහිව සිදු කෙරෙන වධහිංසා සම්බන්ධයෙන් රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් දීර්ඝ කාලයක සිට පැමිණිලි කරන අතරවාරයේ 2017 වසරේදී rakhine පළාතට දැවැන්ත යුද්ධ හමුදා ප්‍රහාරයක් එල්ල විය.
කියවන්න: