ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජෝර්ජ් ෆ්ලොයිඩ්: ජනාධිපති ට්‍රම්ප්ට යුද හමුදාව යෙදවිය හැකි ද?
එක්සත් ජනපදය පුරා විරෝධතා දියත් වෙද්දී, පවතින නොසන්සුන් තත්ත්වය අවසන් කිරීම සඳහා යුද හමුදාව යොදවන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනාත්මකව පවසා තිබිණි.
ඔහු කියා සිටියේ පවතින ගැටලු සහගත තත්ත්වය විසඳීමට එක්සත් ජනපදයේ නගර හා ජනපද අසමත්වේ නම් තමන් මෙම පියවරට යොමුවන බවය.
එහෙත් ජනපද බලධාරීන්ගේ අවසරයකින් තොරව එසේ ෆෙඩරල් හමුදා එවීමේ බලයක් ආණ්ඩුව සතුව නැති බව ජනපද ආණ්ඩුකාරවරුන් පිරිසක් පැවසූහ.
ජනාධිපතිට එසේ හමුදාව යැවිය හැකිද?
කෙටියෙන් කිවහොත්, ඔව් එසේ යැවිය හැකිය. ඒ ඇතැම් පසුබිම් තත්ත්ව මතය.
දැනටමත් දහස් ගණනක් වූ සෙබළුන් පිරිසක් යොදවා ඇති අතර ඔවුන් නියෝජනය කරන්නේ එක්සත් ජනපද යුද හමුදාවේ අතිරේක හමුදාවක් වන ජාතික ආරක්ෂක බලමුළුව (National Guard) වේ.
ජනපද 20 ට වැඩි ප්‍රමාණයක විරෝධතා මැඩ පැවැත්වීම සඳහා එම සෙබළු යොදවනු ලැබ සිටිති. එහෙත්, ඔවුන් එසේ යොදවනු ලැබුවේ අදාළ නගර හෝ ජනපදවල ඉල්ලීම මතය.
කෙසේවෙතත්, 19 වෙනි සියවසේදී සම්මත කරන ලද එක්සත් ජනපද නීතියකින්, ජනපද බලධාරීන්ගේ අනුමැතියකින් තොරව මධ්‍යම ආණ්ඩුවට මැදිහත්විය හැකි අවස්ථා මොනවාදැයි පෙන්වා දී තිබේ.
කිසියම් ජනපදයක පවත්නා තත්ත්වය මත එතුළ එක්සත් ජනපද නීති ක්‍රියාත්මක කිරීමට අපහසු වන්නේ යැයි හෝ පුරවැසි අයිතීන් තර්ජනයට ලක්වන්නේ යැයි ජනාධිපතිවරයා තීරණය කරන්නේ නම් ආණ්ඩුකාරවරුන්ගේ අනුමැතිය අවශ්‍ය නොවන බව කැරලි කෝළාහල පිළිබඳ පනතින් කියැවේ.
"ඉන්දියානුවන්ගේ ගැටුම්කාරී කැරලි කෝළාහල" වලින් ආරක්ෂා කිරීම සඳහා සන්නද්ධ පිරිසක් කැඳවීමට ජනාධිපතිවරයා හට ඉඩ සලසමින් 1807 දී එම නීතිය සම්මත කෙරිණි. පසුව, අභ්‍යන්තර කැළඹීම්වලදී මෙන්ම සිවිල් අයිතීන් ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජනපද යුද හමුදාව උපයෝගි කරගැනීම දක්වා එම නීතිය දිගුවිය.
අභ්‍යන්තරව හමුදාව යෙදවීම සඳහා කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය යැයි දැක්වෙන නීතියක් 1878 දී සම්මත වුවද බීබීසී වෙත අදහස් දැක්වූ නීති විශාරදයෙකු පැවසුවේ හමුදාව යෙදවීම සඳහා ජනාධිපතිවරයාට හැකියාව ලබාදීමට ප්‍රමාණවත් නෛතික අධිකාරයක් කැරලි කෝළාහල පිළිබඳ පනත තුළ ම ඇති බවකි.
දැනට පවතින තත්ත්වය තුළ ජනපදවල අනුමැතිය විමසීමකින් තොරව හමුදාව යෙදවීමේ නෛතික පදනමක් ජනාධිපතිවරයාට ඇති බව පුළුල් පිළිගැනීමට ලක්ව ඇත.
"ප්‍රධාන කාරණය" මෙය යැයි පෙන්වා දෙමින් ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ මහාචාර්ය රොබර්ට් චෙස්නි සඳහන් කළේ "එය ජනාධිපතිවරයා ගත යුතු තීරණයක්. ආණ්ඩුකාරවරුන් ඔහුගෙන් උදව් ඉල්ලීම අවශ්‍ය වන්නේ නැහැ," යනුවෙනි.
මීට පෙර මෙම නීතිය භාවිත කර තිබේද?
කොංග්‍රස් පර්යේෂණ සේවයට අනුව කැරලි කෝළාහල පිළිබඳ පනත අතීතයේදී අවස්ථා ගණනාවකදී භාවිතයට ගෙන ඇතත් දශක තුනකට ආසන්න කාලයක් එය ක්‍රියාත්මක කර නැත. අවසන් වරට 1992 දී ජනාධිපති ජෝර්ජ් එච්ඩබ් බුෂ් විසින් එම නීතිය භාවිතයට ගනු ලැබුවේ ලොස් ඇන්ජලිස් හි ඇතිවූ වාර්ගික කැරැල්ල අතරතුරදීය.
සිවිල් අයිතීන් පිළිබඳ උද්ඝෝෂණ මතුවූ 1950 සහ 1960 කාල තුළදී ජනාධිපතිවරුන් තුන්දෙනෙක් එම නීතිය භාවිත කළහ. ඒ සඳහා ජනපද ආණ්ඩුකාරවරුන් වෙතින් විරෝධය ද මතුවිණි.
කළු සහ සුදු දරුවන් එක්ව ඉගෙනීම් කළ පාසලක හටගත් විරෝධතාවක් පාලනය කිරීම සඳහා 1957 දී අදාළ නීතිය භාවිත කරමින් හමුදාව යැවීමට පියවර ගැනීම හේතුවෙන් ජනාධිපති ඩ්වයිට් අයිසන්හවර් විරෝධතාවලට මුහුණ දුණි.
1960 වකවානුවෙන් අනතුරුව එම නීතිය සුලබව භාවිත නොකෙරිණි.
කත්‍රිනා සුළි කුණාටුවෙන් අනතුරුව වඩා ක්‍රියාශීලීව හමුදා සහය ලබාගැනීමේ අරමුණින් 2006 දී එම නීතිය කොංග්‍රස් මණ්ඩලය විසින් සංශෝධනය කරනු ලැබීය. එහෙත් ජනපද ආණ්ඩුකාරවරුන්ගේ විරෝධය හමුවේ එම සංශෝධනය අවලංගු කෙරිණි.
මෙම තොරතුරුද දැනගන්න:
(බීබීසී රියැලිටි චෙක් හි ජේක් හෝර්ටන් සකස් කළ වාර්තාවක් ඇසුරිණි)