කොරෝනා වෛරස් සහ ලොක්ඩවුන් නිම වීම: මා කොවිඩ්-19 න් ගැලවී සිටින්නේ කෙසේ ද?

බස් රථයකට ගොඩ වීම සඳහා 'පෝලිමක' සිටින අතරේ අසල සිටින පුද්ගලයෙකුගේ කිවිසුම් හැරීම මට කෙතරම් අනතුරුදායක ද? මේ මොහොතේ අවන්හලකට යා යුතු ද? එසේත් නැති නම් පොදු ප්‍රවාහන සේවා භාවිත කළ යුතු ද?

ලොව රටවලින් වැඩි කොටසක් සෙමින් සෙමින් ලොක්ඩවුන් සීමාවලින් එළියට එමින් සිටිති. අප යළි සාමාජීය පරිසරයට පා තබා ඇත. පෙර පැවති දෛනික කටයුතුවලට යොමු වෙමින් සිටිති. ඒ සමග කොරෝනාවෛරසය ආසාදනය වීමේ සහ පැතිර යාමේ අවදානම ද යළි ඉහළ යමින් පවතී. එබැවින් ආසාදිතයන්ගේ දෙවන රැල්ලක් හට ගනු ඇත්දැයි යන්න පිළිබඳ බිය පළ වේ.

කොවිඩ්-19 අවදානම පහළ හෙළිය හැකි ආකාරය පිළිබඳ අපි ප්‍රතිශක්තිවේදී සහ ජීව විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය එරින් බ්‍රොමේජ්ගෙන් විමසීමක් කළෙමු.

ඔහු එක්සත් ජනපදයේ ඩාට්මවුත්හි මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග ආශ්‍රිත වසංගත අධ්‍යනය පිළිබඳ පාඨමාලාවක් මෙහෙයවයි. එමෙන් ම ඔහු කොරෝනාවෛරස් වසංගතය ඉතා සමීපයෙන් නිරීක්ෂණය කළ අයෙකි.

මේ සුවිශේෂී රෝගය පිළිබඳ විශේෂඥයෙකුට වඩා ඔහු තම භූමිකාව දකින්නේ විද්‍යාත්මක තොරතුරු සන්නිවේදකයෙකු ලෙසය. කොරෝනාවෛරස් අවදානම පිළිබඳ ඔහු විසින් තබන ලද බ්ලොග් සටහනක් මිලියන 16 කට ආසන්න වාරයක් කියවා ඇත.

කිසියම් ආකාරයක පෙර පැවති තත්ත්වයකට අප පිවිසෙද්දී අනුගමනය කළ හැකි ආරක්‍ෂිත පියවර සම්බන්ධයෙන් වන ඔහුගේ උපදෙස් පහත දැක්වේ.

'මිනිස්සු ලෙඩ වෙන්නේ' කොහොම ද?

ආචාර්ය බ්‍රොමේජ් පවසන පරිදි වැඩි දෙනෙකුට වෛරසය ආසාදනය වන්නේ තම නිවසේ ම සිටින පවුලේ සාමාජිකයෙකුගෙනි. කිසිදු බාධාවකින් තොරව පවතින ඔහු/ඇයගේ ඇසුර සෙසු සාමාජිකයන් වෙත වෛරසය සම්ප්‍රේෂණය වීමට හේතු වේ.

නමුත් නිවසින් බැහැරව සිටින විට? මහමග හෝ උද්‍යානයක (පාර්ක්) ඇවිද යන විට අපට අනතුරක් තිබේ ද? මුඛ ආවරණයක් නොමැතිව මා අසලින් ගමන් කරන්නෙකුගෙන් මට වෛරසය බෝ විය හැකි ද?

බොහෝවිට එසේ නොවන බව මහාචාර්යවරයා පවසයි.

"එළිමහනෙදී අසීමිත තනුකභාවයක් (දියාරු වීමක්) පවතිනවා. එහිදී ඔබ ප්‍රශ්වාස කරන විට (හුස්ම බැහැර කරන විට) එය ඉතාමත් ක්ෂණයෙන් විසිරී යනවා," යනුවෙන් ඔහු බීබීසීය වෙත කියා සිටියේය.

එනම් වෛරසය ශරීරගත වීමට තරම් ප්‍රමාණවත් අයුරින් ඔබ ඊට නිරාවරණය වීමට ඇති හැකියාව ඉතා අඩුය.

"වෛරසය ආසාදනය වීමට නම්, යම් නිශ්චිත මාත්‍රාවකට ඔබ ඊට නිරාවරණය විය යුතුය; මර්ස් (MERS) සහ සාර්ස් (SARS) යොදා ගනිමින් එකී මාත්‍රාවන් සම්බන්ධයෙන් කළ අධ්‍යයන අනුව ආසාදනයක් රඳා පැවතීමට නම් SARS-CoV2 වෛරස් අංශු 1,000 ක් වැනි සංඛ්‍යාවක් තිබිය යුතු යැයි ඇතැම් අධ්‍යයන මගින් ඇස්තමේන්තු කරයි" යනුවෙන් ඔහුගේ බ්ලොග් සටහනේ දක්වා ඇත.

ඉහත කී සංඛ්‍යාව සංවාදයට බඳුන්ව ඇති අතර එය පරීක්ෂණයක් මගින් නීර්ණය කිරීමේ උවමනාවක් නොමැත. නමුත් වෛරසය ආසාදනය විය හැක්කේ කෙසේ දැයි යන්න නිරූපණය කිරීම සඳහා එය යම් තාක් දුරට ප්‍රයෝජනවත් වේ.

"මෙහි තිබෙන ප්‍රධාන ම කාරණය නම් ආකාර ගණනාවකින් ඉහත කී සංඛ්‍යාවට ළඟා විය හැකි වීමයි.

"එක හුස්මකින් වෛරස් අංශු 1,000 ක් ලැබුණත්... නැතිනම් එක් වරකට වෛරස් අංශු 100 බැගින් හුස්ම 10 කදී හෝ වෛරස් අංශු 10 බැගින් හුස්ම 100 කදී ඒ සංඛ්‍යාව ලැබුණත්, මේ සෑම අවස්ථාවකින් ම වෛරසය ආසාදනය විය හැකියි," යනුවෙන් මහාචාර්යවරයා පැහැදිලි කළේය.

ඒ අනුව ප්‍රමාණවත් සමාජ දූරස්ථභාවයක් පවත්වා නොගෙන ක්ෂණයෙන් ඔබ පසුකර යන පුද්ගලයෙකුගෙන් ඔබට ආසාදනය වීමට තරම් ප්‍රමාණවත් වෛරස් මාත්‍රාවක් ලැබිය නොහැක. එවැනි ආසාදිත පුද්ගලයෙකු අපට හමු වුවත් ඔවුන් සමග අප ගත කරන කාලය ඉතාමත් කෙටි වීම ඊට හේතුවයි.

රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයන්

කැස්ස සහ කිවිසුම් යාම ඇත්තෙන් ම වෛරසය ව්‍යාප්ත කරයි. නමුත් ඒ අතිශය වෙනස් වේගයකිනි.

ආචාර්ය බ්‍රොමේජ් පවසන පරිදි කසින එක් වරකදී පැයට කිලෝමීටර 80 ක වේගයකින් බිඳිති 3,000 ක් පමණ පිටවේ. ඉන් බිඳිති බොහොමයක් තරමක් විශාල වන අතර බර නිසා ඒවා ක්ෂණයෙන් බිම පතිත වේ. නමුත් සෙසු බඳිති වායු ගෝලයේ රැඳී සිටින අතර ඒවාට අවට වාතය ඔස්සේ ගමන් කළ හැක.

ඔබ සමග විදුලි සෝපානයක (ලිෆ්ට්) ගමන් කරන්නෙකු කසිනු වෙනුවට කිවිසුම් හරින විටකදී ඔබ ඉදිරියේ ඇති අවදානම දස ගුණයකින් ඉහළ යයි.

එක් කිවිසුමක් පැයට කිලෝමීටර 300 ක වේගයකින් බිඳිති 30,000 ක් පමණ පිට කරයි. ප්‍රමාණයෙන් කුඩා බිඳිති බොහෝ දුර ගමන් කරයි. එනම් ඒවාට පහසුවෙන් ම අවකාශයෙන් පිටතට ගමන් කළ හැක.

"යම් පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී ඇත්නම් එක් කැස්සක හෝ එක් කිවිසුමක වෛරස් අංශු මිලියන දෙසීයක් පමණ අඩංගු විය හැකියි" යනුවෙන් ආචාර්ය බ්‍රොමේජ් සඳහන් කර ඇත.

"ඔබ යමෙකු සමග මුහුණට මුහුණ ලා කතා කරන්නේ නම්, එම පුද්ගලයා ඔබ වෙත සෘජුව ම කසින හෝ කිවිසුම් යවන විට වෛරස් අංශු 1,000 ක් ආග්‍රහණය කිරීමේ සහ ආසාදනය වීමේ හැකියාවක් පවතින බව පහසුවෙන් ම දැකිය හැකියි."

කසින හෝ කිවිසුම් යවන අවස්ථාවක ඔබ එහි නොසිටියත් ඔබ හමුවේ ඇති අනතුර පහව නොයෑමට ඉඩ ඇත. ඇතැම් ආසාදිත බිඳිති වායු ගෝලය තුළ මිනිත්තු කීපයක් රැඳී සිටිය හැකි තරම් කුඩාය. එම කාලය තුළ ඔබ එවැනි කාමරයකට පිවිසියේ නම් ආසාදනය වීමට තරම් ප්‍රමාණවත් වෛරස් අංශු ඔබ ආග්‍රහණය කිරීමේ හැකියාවක් පවතී.

රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන වෛරස් පතුරුවන්නන්

රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින 5 කට පමණ පෙර සිට යමෙකුට වෛරසය ආසාදනය වී තිබිය හැකි බව අපි දන්නෙමු. කිසි විටක රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන පුද්ගලයෝ ද වෙති.

ප්‍රශ්වාස කිරීමේදී පවා වෛරස් අංශු පරිසරයට මුදා හැරේ.

නමුත් කොපමණ ද?

ආචාර්ය බ්‍රොමේජ් පවසන පරිදි "එක් ප්‍රශ්වාසයකදී බිඳිති 50 - 5,000 අතර සංඛ්‍යාවක් පිට වේ. ඉන් බොහොමයක් අඩු වේගයකින් ගමන් කරන අතර ක්ෂණයෙන් පොළොවට පතිත වෙයි."

අප නාසයෙන් හුස්ම ගන්නා විට පිට කෙරෙන බිඳිති ප්‍රමාණය ඊටත් අඩුය.

"ඒවා වඩාත් පෙරීමකට ලක් වෙනවා. ඒ වගේ ම නාසයෙන් පිට වන බිඳිති යොමු වෙන්නේ පහළට. ඒ නිසා නාසයෙන් හුස්ම ගන්නා විට රෝග කාරක - වෛරස් අංශු පිට වන්නේ ස්වල්ප වශයෙන්" යනුවෙන් ඔහු බීබීසී වෙත පැවසීය.

"වැදගත් දේ නම්, තදින් හුස්ම ගැනීම අඩු වූ විට ශ්වසන මාර්ගයේ පහළ කොටස්වල ඇති වෛරස් අංශු පිටතට පැමිණෙන්නේ නැහැ"

එය සුවිශේෂී වන්නේ, මේ පහළ කොටස්වලින් හමු වන පටක තුළ කොරෝනා වෛරස් සාන්ද්‍රණය ඉතාමත් වැඩිවීම නිසයි,"

හුස්ම ගැනීමේදී SARS-CoV2 (නව කොරෝනාවෛරසය) අංශු කොපමණ සංඛ්‍යාවක් පිට වන්නේ දැයි යන්න අප නිශ්චිතව නොදනී. නමුත් ආචාර්ය බ්‍රොමේජ් විසින් උපුටා දක්වන ලද අධ්‍යනයකට අනුව ඉන්ෆ්ලුවෙන්සා අසාදිත පුද්ගලයෙකු හුස්ම ගන්නා මිනිත්තුවකදී වෛරස් RNA (Ribo Nucleic Acid) අංශු පිටපත් 3 ත් 20 ත් අතර සංඛ්‍යාවක් පිට කරයි.

එම සංඛ්‍යාව කොරෝනාවෛරසයට ආදේශ කළහොත් ආසාදිත පුද්ගලයෙකු හුස්ම ගන්නා විට මිනිත්තුවකදී එවැනි අංශු පිටපත් 20 ක් පරිසරයට එක් වේ. කලින් සාකච්ඡා කළ පරිදි වෛරසය ආසාදනය වීම සඳහා අවශ්‍ය අංශු 1,000 වෙත ළඟා වීමට (මෙය ගණනය කිරීමක් පමණි, නිශ්චිත අගය තවමත් නීර්ණය කර නොමැත) නම් ඔබ ඉහත කී පුද්ගලයා විසින් වාතයට පිට කරන සෑම අංශුවක් ම මිනිත්තු 50 ක කාලයක් ප්‍රශ්වාස කළ යුතුය.

කොරෝනාවෛරසය ආසාදනය වී ඇතත් නොකසින හෝ කිවිසුම් නොයවන පුද්ගලයෙකු සමග එක් කාමරයක රැඳී සිටීමෙන් පමණක් ම එය ආසාදනය වීමට ඇති හැකියාව ඉතා අඩු බව එමගින් පෙනී යයි.

කතා කරන විට ශ්වසන මාර්ගය ඔස්සේ බිඳිති පිටවීම දස ගුණයකින් ඉහළ යන අතර එහිදී මිනිත්තුවකට වෛරස් අණු පිටපත් 200 ක් පමණ පිට වන බව ආචාර්ය බ්‍රොමේජ් පෙන්වා දෙයි.

ගායනය සහ කෑ ගැසීම වාතයට එක් කෙරෙන බිඳිති සංඛ්‍යාව ඉතාමත් වේගයෙන් ඉහළ නංවයි.

"කෑ ගසන හෝ ගායනා කරන විට බිඳිති එළියට වීසි වෙනවා. හඬ නැගීමත් සමග පිටවන එම බිඳිති පෙනහලුවල පතුලේ සිට පැමිණෙන ඒවා විය හැකියි." ඔහු සඳහන් කළේය.

එමෙන් ම එම බිඳිති වඩාත් විස සහිත පටක කොටස්වල සිට පැමිණීමට ද වැඩි ඉඩක් පවතී.

"වැරෙන් හුස්ම පිට කරන ඕනෑ ම අවස්ථාවක්, වෛරසය වැඩි වශයෙන් පවතින පටක කොටස්වලට අයත් ශ්වසන බිඳිති වඩාත් වැඩියෙන් වාතයට එක් වීමට හේතු වෙනවා."

ඒ ආකාරයට වෛරසය ආසාදනය වීමේ හැකියාව අඩු වුවත් බොහෝ ආසාදනය වීම් සහ නිවසින් පිට වෛරස් පැතිරීම්වලින් බහුතරයක් ඇති වන්නේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන පුද්ගලයන්ගෙන් යයි අධ්‍යයන මගින් ඇස්තමේන්තු කර තිබේ.

වඩාත් අවදානම් සහිත තැන් මොනවා ද?

නිසැකවම ආසාදිත පුද්ගලයන් හා සෘජුව ගනුදෙනු කරන වෘතිකයන් වැඩි අවදානමකට ලක්වේ.

ඇතැම් වටපිටාවන් මහා පරිමාණ ආසාදනයන්ට හේතු වී ඇති බව අපි දන්නෙමු. ඒ සම්බන්ධයෙන් කතා කිරීමේදී සුඛෝපභෝගී නෞකා සංචාර මහජනයාගේ සිතට ආ හැක. නමුත් විවෘත කාර්යාල ගොඩනැගිලි, ක්‍රීඩා උත්සව සහ උපන් දින සාද, අවමංගල්‍ය උත්සව සහ ආගමික වැඩසටහන් වැනි සමාජීය ක්‍රියාකාරකම් ද ආචාර්ය බ්‍රොමේජ් අවධානයට ලක් කරයි.

මෙවැනි අවස්ථාවකට ආසාදිත පුද්ගලයෙකු සහභාගී වී ඇත්නම් එවන්නෙකු සමග ගොඩනැගිල්ලක් තුළ සැලකිය යුතු කාලයක් ගත කිරීම නිසා වෛරසයට නිරාවරණය වීමට ඇති අවදානම වැඩිය.

"ඔවුන් අඩි පනහක් (මීටර් 15ක්) දුරින් හිටියත්, අඩු වෛරස් මාත්‍රාවක් වායු ගෝලය ඔස්සේ පැමිණිය හැකියි. දීර්ඝ කාලයක් එසේ ඉන්නා විට ආසදනයට ප්‍රමාණවත් තරමේ වෛරස් අණු පැමිණිය හැකියි," යනුවෙන් ඔහු පැවසීය.

අප නැවත සේවයට වාර්තා කරන අතරේ ඇතැම් වෘත්තීන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු වේ.

වාතාශ්‍රය අඩු විවෘත කාර්යාල විශේෂයෙන් ගැටලුසහගතය. දකුණු කොරියාවේ ගොඩනැගිල්ලක සේවය කළ 216 කින් 94 දෙනෙකුට ම වෛරසය ආසාදනය වූ අවස්ථාවක් ආචාර්ය බ්‍රොමේජ් අවධානයට ලක් කරයි. ඉන් අති බහුතරය එක් මහලක එක ම පස සහ විශාල විවෘත ඉඩක සිටි අය වෙති.

සාපේක්ෂව දන්ත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ඉහළ අගයක් නොගනී. නමුත් ඔවුහු ද දැඩි අවදානමක පසු වෙති.

"අනුගමනය කරන පියවර නිසා විශාල වශයෙන් වාතයට අංශු එකතු කරන වෘත්තියක්. ප්‍රධාන වශයෙන් ම සිය සේවකයන් ආරක්ෂා කර ගැනීම සඳහා වැඩ කරන ආකාරය පිළිබඳ ඔවුන් සිතිය යුතුයි. මොක ද එහිදී රෝගීන් වෙත වෛරසය ගෙන යන්නේ සේවකයන් නොවෙයි. එය කරන්නේ රෝගියා විසින්. මොකද දත් හෑරීම සහ 'සක්' කිරීමේදී මේ දියර සෑම තැනකම විහිදෙනවා"

ගුරු වෘතිකයන් ද දැඩි අවදානමකට ලක් වන බව ඔහු පවසයි.

"පිරී පවතින කාමරයක වයසින් අඩු අය සමග වයසින් වැඩි ගුරුවරු සහ මහාචාර්යවරු ඉන්නවා. මේ රාජකාරී ස්ථාන ආරක්‍ෂිත කරන්න අවශ්‍ය පියවර ගන්න බොහෝ දේ කරන්න වේවි,"

ගෘහස්ථ සහ එළිමහන්

එළිමහන් වටපිටා වෙතින් පැතිර යාම් ඉතාමත් අඩුවෙන් වාර්තා වී ඇති බව ආචාර්ය බ්‍රොමේජ් පවසයි.

සුළඟ සහ අවකාශය වෛරසය ප්‍රමාණික වශයෙන් තනුක කරවයි. වෛරසයේ පැවැත්ම කරෙහි ආද්‍රතාව සහ උණුසුම ද බලපෑමක් කරනු ලබයි.

සමාජ දූරස්ථභාවය පවත්වා ගැනීම සහ වෙනත් පුද්ගලයන් සමග කටයුතු කරන කාලය සීමා කිරීම මගින් අපට තවදුරටත් අවදානම අඩු කර ගත හැක.

නමුත් ගෘහස්ථව සිදු කෙරෙන ඇතැම් කටයුතු අතාමත් අනතුරුදායක වීමට පුළුවනි.

කතා කරමින්, ගයමින් හෝ කෑ ගසමින් මිනිසුන්ගෙන් පිරී පවතින අවස්ථා දැඩි ලෙස අනතුරුදායක විය හැක. එමෙන්ම සමාජ දූරස්ථභාවය සම්බන්ධ පියවරවල බලපෑම ගොඩනැගිල්ලක් තුළ දී අඩු විය හැක.

වාතය හුවමාරු වීම සීමා සහිත හෝ වාතය ප්‍රතිචක්‍රීකරණය කෙරෙන අවකාශයක් විශේෂයෙන් ගැටලු සහගතය.

නමුත් වෙළඳසලකට ගොස් බඩු මිලදී ගන්නා අවස්ථාවක ඔබ ඒ තුළ සාපේක්ෂව අඩු කාලයක් ගත කරන තාක් එහි පවතින අනතුරුදායක බව අඩුය.

අවදානම තක්සේරු කිරීම

කොරෝනාවෛරස් සීමා ඉවත් කිරීමත් සමග අපගේ ක්‍රියාකාරකම්වලට අදාළ අවදානම සම්බන්ධයෙන් දැඩි තක්සේරුවක් කළ යුතු බව ආචාර්ය බ්‍රොමේජ් පෙන්වා දෙයි.

ගෘහස්ථ වටපිටාවකදී එහි ඇති වායු අවකාශය, එක් අවස්ථාවක එහි සිටින පුද්ගලයන් සංඛ්‍යාව සහ ඔබ ඒ තුළ කොපමණ වෙලාවක් ගත කරනවාද යන්න ගැන සැලකිලිමත් වන්න.

"පුද්ගලයන් අඩු සංඛ්‍යාවක් සමග වාතාශ්‍රය හොඳින් ඇති අවකාශයක ඔබ හිඳ සිටී නම් අවදානම අඩුයි" යනුවෙන් ඔහු කියා සිටියේය.

"ගොඩනැගිල්ලක විවෘත වූ මහලක ඔබ සිටී නම් ඔබ දැඩි ලෙස අවදානම තසේරුවට ලක් කළ යුතුයි. (පුද්ගලයන් සංඛ්‍යාව සහ වාතය ගලා යාම). මුහුණට මුහුණ ලා කටයුතු කෙරෙන හෝ ඊටත් වඩා නරක තත්ත්වයක සහ කෑ ගැසීම් සහිත වෘත්තීයක ඔබ සිටී නම් අනතුර තක්සේරු කිරීමට අවශ්‍යයි"

යමෙකු බැලීමට යාමේ සිට බඩු මිලට ගැනීමේදී, උදාහරණයක් වශයෙන්, "අඩුවෙන් ගැවසෙන, හොඳින් වාතාශ්‍රය සහිත වෙළඳසලක් තුළ ඔබ සීමාසහිත කාලයක් ගත කිරීම යනු ආසාදනය විය හැකි මට්ටමේ වෛරස් මාත්‍රාවක් ලැබීමට ඇති අවදානම අඩුයි, නමුත් වෙළඳසල් සේවකයා දීර්ඝ කාලයක් එහි ගත කරන බැවින් ඔවුන්ට ආසාදනය විය හැකි මට්ටමේ වෛරස් මාත්‍රාවක් ලැබීමට ඇති අවදානම වැඩියි," යනුවෙන් ආචාර්ය බ්‍රොමේජ් පැවසීය.

එළිමහන් වටපිටාවකදී ආසාදනය වීමේ අවදානම අඩුය. මක්නිසාද යත් ආසාදිත බිඳිති ඉතාමත් ඉක්මනින් විසිර යයි. නමුත් ආසාදනය වීම සඳහා අවශ්‍ය වන්නේ "මාත්‍රාව සහ කාලය" බව මතක තබා ගන්න.

"ශ්වසනය ආශ්‍රිත නිරාවරණය වීම් ගැන මම මෙහිදී අවධානය යොමු කළත් කරුණාකර මතුපිට වස්තු අමතක නොකරන්න. මේ ආසාදිත බිඳිති කොහේ හෝ පතිත වෙනවා. නිතර ඔබේ දෑත් සෝදන්න. මුහුණ ස්පර්ශ කිරීමෙන් වැළකී සිටින්න!" යනුවෙන් ආචාර්ය බ්‍රොමේජ් වැඩිදුරටත් සඳහන් කරයි.

'බර්ත් ඩේ කේක්' මත වූ ඉටිපන්දම් පිඹ නිවීම ද ඔබ නවතා දැමිය යුතුය.

ආචාර්ය බ්‍රොමේජ්ගේ බ්ලොග් සටහනට මෙතනින් පිවිසෙන්න.