ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොරෝනා වෛරසය: යුරෝපයේ රැකවරණ නිවාසවල දරුණු ඛේදවාචකය
මරණය අදෘශ්‍යමාන වුවත්, මිනී පෙට්ටි සැඟවීම දුෂ්කරය.
පැරීසියේ පිහිටි 'රොත්ස්චයිල්ඩ්' රැකවරණ නිවාසයේ පිටත නවතා ඇති භාණ්ඩ බෙදාහැරීමේ වෑන් රථයකින් අවපැහැ ලී භාණ්ඩ ඉවතට ගන්නා අතර, ඒවා තවමත් කර්මාන්ත ශාලාවෙන් නිකුත් කළ තත්ත්වයෙන් ම ප්ලාස්ටික් ආවරණයෙන් යුතු විණි.
භාණ්ඩ බෙදාහැරීමේ නිරත පුද්ගලයෙකු එම ස්ථානයේ සිටි මාධ්‍යවේදියෙකුට පැවසුවේ, මෙය "නොනවත්වා" සිදුවන බවය.
රැකවරණ නිවාසයේ ගේට්ටු තදින් වසා තිබිණි. කොරෝනාවෛරසය ආසාදනය වී යැයි සැක කෙරෙන පුද්ගලයින් 16 දෙනෙකු මෙහි මියගොස් ඇති අතර තවත් 80 දෙනෙකුට ආසාදනය වී ඇත.
බාහිර ලෝකයෙන් වසා දමා ඇත
පැරීසියේ පිහිටි රැකවරණ නිවාසවලින් තුනෙන් එකකට වඩා වැඩි සංඛ්‍යාවකට කොරෝනාවෛරසයේ බලපෑම එල්ල වී ඇතැයි සැලකේ. කොරෝනාවෛරසය ආසාදනය වීම හේතුවෙන් දෛනිකව රෝහල්වල සිදුවන මරණ වාර්තාගත වන නමුත් රැකවරණ නිවාසවල සිදුවන මරණ සංඛ්‍යාව එසේ සටහන් වී නොමැත.
ඇලෙක්සැන්ඩ්‍රේ සානර් ප්‍රංශයේ නැගෙනහිර පිහිටා ඇති රැකවරණ නිවාසයක වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි. එම නිවාසය තුළ අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තිබේ.
"උණ වැළඳී ඇති පුද්ගලයින් පනස් දෙනෙකු සිටි අතර පසුව දරුණු නියුමෝනියාව තත්ත්වයකට හැරුණා. වසංගතයේ උච්චතම අවස්ථාවේ පවතින මේ කාලය තුළ තවත් රෝගීන් 25 ක් හෝ 30 ක් ඔක්සිජන් නිසා ජීවත්ව සිටිනවා," යැයි වෛද්‍යවරයා පැවසීය.
වසංගතය ආරම්භයේදී ප්‍රංශයේ විශ්‍රාමික නිවාසවල සිටි රෝගීන් කිහිපදෙනෙකු වෛරසය වැළඳී ඇත්දැයි පරීක්ෂාවට ලක් කර තිබිණි. නමුත් දිනෙන් දින, මෙවැනි මධ්‍යස්ථාන තුළ සිදුවන මරණ සංඛ්‍යාව වැඩි වන බවට කතා මතුවෙමින් තිබෙන අතර, එහි වර්තමාන තත්ත්වය බාහිර ලෝකයෙන් පවා වසන් කර ඇත.
ඉතාලිය හා ස්පාඤ්ඤය මෙම වසංගත තත්ත්වයෙන් දැඩි ලෙස බලපෑම් එල්ල වූ යුරෝපා රටවල් වන අතර, රැකවරණ නිවාසවල සිටින වැඩිහිටියන්ට කොරෝනාවෛරසයෙන් මෙන් ම සිය නිවාසවල සිටි සේවකයන් නොමැති වීමෙන් ද වේදනාකාරී අත්දැකීම්වලට මුහුණ දීමට සිදුව තිබේ.
උතුරු ඉතාලියේ බර්ගමෝහි නේවාසික රැකවරණ නිවාසවලින් සිය ගණනක් මරණ වාර්තා වී ඇති අතර, කාර්ය මණ්ඩලයට නිරෝධායනය වීමට සිදු වූ බැවින් දකුණු ප්‍රදේශයේ තවත් වැඩිහිටි නිවැසියන් 83 දෙනෙකුට දින දෙකක් ආහාර නොමැතිව සිටීමට සිදුව ඇත.
මැඩ්රිඩ් නගරයේ රැකවරණ නිවාසයක කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයන් විසි දෙනෙකු මිය යාමත් සමග ස්පාඤ්ඤයේ එවැනි ආයතනවල මරණ අනුපාතය පිළිබඳ අනතුරු ඇඟවීමක් මතු විණි. ඒ අනුව, රට පුරා පිහිටි මෙවැනි මධ්‍යස්ථාන 1,300කට හදිසි ආධාර ලබා දීමට සහ විෂබීජහරණය කිරීම සඳහා හමුදා ඒකක යැවීමට ක්‍රියා කර තිබේ.
බලධාරීන්ගේ පැමිණීම බොහෝ විට ප්‍රමාද වී සිදුවන තත්ත්වයක් දක්නට ඇත. මැඩ්රිඩ්හි පිහිටි වෙනත් රැකවරණ නිවාසයක සේවයේ නිරත වී සිටි කන්‍යා සොහොයුරියන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් සිටියහ.
ඇල්කෝයි නම් ප්‍රදේශයේ පිහිටි නිවසක සිටි පදිංචිකරුවන් 130 දෙනාගෙන් 26 දෙනෙක් මිය ගියහ. රැකවරණ නිවාසවල සිටි පදිංචිකරුවන් 1,600 කට වැඩි පිරිසක් මාර්තු මස පළමු සති හතර තුළ මිය ගිය අතර ඉන් අඩකට වඩා වැඩි පිරිසක් කොවිඩ් -19 වෛරසයට ගොදුරු වූවන් බව විශ්වාස කෙරේ.
මෙම වසංගතය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා නොදීම පිළිබඳ ඥාතීන් කෝපය පළ කර තිබිණි. නමුත්, පෙර සිට ම ප්‍රමාණවත් කාර්ය මණ්ඩල සහ ආරක්ෂිත ඇඳුම් නොමැතිකම නිසා මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදුවිය. කාර්ය මණ්ඩල ද කොරෝනාවෛරසයට නතුවීම හා ස්වයං නිරෝධායනයට ලක්විය.
කෙසේනමුත්, රැකවරණ නිවාස තුළ සිටින කොරෝනාවෛරස ආසාදිතයන් ගණනය කර ඒවා ජාතික වශයෙන් සිදුවන ගණනය කිරීම්වලට ඇතුළත් කිරීම සඳහා ප්‍රංශය නව යෙදවුමක් (ඇප්) හඳුන්වා දීමට ක්‍රියා කරමින් ඇත. මේ අනුව, ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉදිරියේදී වෙනස් වීමට ඉඩ ඇති බව ප්‍රංශයේ ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙකු පවසා තිබේ.
මෙම වසංගතය වේගයෙන් පැතිරීම නිසා රජයට ඉතා ඉක්මන් ක්‍රියා මාර්ගවලට යොමු වීමට සිදුව ඇත .
'අපට කළ හැකි කිසිවක් නැත'
මාර්තු මස මුලදී වෛරසයෙන් ආරක්ෂා වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් රැකවරණ නිවාසයකට ගියේය. වැඩිහිටි නිවැසියන්ගෙන් වට වූ මේසයක මුහුණු ආවරණ නොමැතිව, දුරස්වීමකින් තොරව ඔහු වාඩි වී සිටින අයුරු මාධ්‍ය ඔස්සේ දක්නට ලැබිණි.
දින කිහිපයකට පසු, ප්‍රංශයේ විශ්‍රාමික නිවාසවලට අමුත්තන් ඇතුළු වීම තහනම් කරන ලදී. පසුගිය සතියේදී රජය කියා සිටියේ එම නිවාසවල සියලු ම පදිංචිකරුවන් ඔවුන්ගේ කාමරවල ස්වයං හුදකලා විය යුතු බවය.
නමුත් රැකවරණ මධ්‍යස්ථාන සේවකයින් පවසන්නේ පදිංචිකරුවන්ට ලොකු ම අවදානම ඇත්තේ තමන්ගෙන් බවය.
කොරෝනාවෛරස් වසංගතයට මුහුණ දීම සඳහා සමහර නිවාසවල මුහුණු ආවරණ වෙන්කර තබාගෙන ඇති නමුත් ඒවා කාර්ය මණ්ඩලයට ලබා නොදුන් බව "කැරොල්" ලෙස හඳුන්වා දුන් හෙදියක පැවසුවාය.
කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙකු අසනීපයෙන් හෝ ස්වයං හුදෙකලාව සිටින අතර, මෙම වෛරසය පැතිරීම පාලනය කිරීම ඉතා අපහසු බව ඇය පවසයි.
"කොරෝනාවෛරසය රැකවරණ නිවාසයකට ඇතුළු වූ වහා ම එය සෑම තැන ම පැතිරී යනවා" යැයි ඇය කියා සිටියාය.
"අපට කළ හැකි කිසිවක් නැහැ. අපට ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැති නිසා එය අපහසු දෙයක් වෙනවා. වෛරසය නිවාසයකට ඇතුළු වූ පසු විශාල මරණ සංඛ්‍යාවක් සිදු වෙන්න පුළුවන්."
'සටන ආරම්භ වී ඇත්තේ දැන්'
පැරීසියේ රෝහල්වල ජීවිත ආධාරක ඒකක මේ වන විට ඉතා අඩු මට්ටමක පවතින අතර සමහර ඖෂධවල හිඟතාවක් ද පවතී.
ප්‍රංශය සිය වැසියන් විශාල වශයෙන් පරීක්ෂා කිරීම ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා ඇති අතර, සෞඛ්‍ය සේවකයින් ආරක්ෂා කිරීම සඳහා මුහුණු ආවරණ බිලියනයක් ඇණවුම් කර තිබේ.
ජාතික නිරෝධායනය ක්‍රියාවලිය තවත් සති දෙකක් දක්වා දීර්ඝ කිරීමට ද එරට අගමැතිවරයා ක්‍රියා කර තිබේ.
"සටන ආරම්භ වී ඇත්තේ දැන්," යැයි කී අගමැතිවරයා, අප්‍රේල් පළමු භාගය, පෙර දින 15ට වඩා "වඩාත් දුෂ්කර" වනු ඇති බව ද පැවසීය.
සෑම රාත්‍රියක ම ප්‍රංශ වැසියන් සිය රටේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ප්‍රශංසා කිරීම සඳහා විවෘත කවුළු අසල සිට අත්පොළසන් දෙති.
කෙසේනමුත්, පසුගිය මත විමසුම්වලින් පෙනී යන්නේ මෙම වසංගතය පැතිරීමට පෙර සිට ම රජය කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැටී ඇති බවය.