කොරෝනා වෛරසය: චීනයෙන් විදේශිකයන්ට තහනමක්

සියලු විදෙස් සංචාරකයන් තම රටට ඇතුළුවීම තාවකාලිකව තහනම් කළ බව චීනය නිවේදනය කළේය.

වීසා හෝ පදිංචි බලපත්‍ර සහිත විදේශිකයන්ට ද මෙම තහනම බලපැවැත්වෙන බව එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම චීන සහ විදෙස් ගුවන් සමාගම් සඳහා ද සීමා පනවා තිබේ. ඒ අනුව සෑම ගුවන් සමාගමකට ම අවසර ලැබෙන්නේ සතියකට එක ගුවන් යානයක් සඳහා පමණි. ඊට අමතරව එම ගුවන්යානා තුළ පවතින ආසන සංඛ්‍යාවෙන් 75%කට වඩා පිරී නොතිබිය යුතුය.

සිකුරාදා වනවිට පසුගිය දින තුනටම රට තුල දී වෛරසය සම්ප්‍රේෂණය වූ රෝගීන් එක් අයෙකු පමණක් වාර්තා වී තිබූ නමුත් අලුතින් වාර්තා වූ සියලු රෝගීන් පාහේ විදෙස් රටක සිට පැමිණි අය වෙති.

චීනයෙන් අලුත් ආසාදිතයන් 55 දෙනෙකු බ්‍රහස්පතින්දා (මාර්තු 26) වාර්තා වූ අතර ඉන් 54 දෙනෙකුම විදෙස් රටවලින් පැමිණි අයයි.

අලුත් නීති මොනවාද?

"ලොව පුරා කොවිඩ් -19 වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බැවින් විදේශිකයන් රටට ඇතුළුවීම" අත්හිටවන බව චීනයේ විදේශ අමාත්‍යංශය පැවසීය.

මෙම තහනම රාජ්‍යතාන්ත්‍රිකයන්ට සහ ගුවන් යානා සේවක මණ්ඩලයට අදාළ නොවන නමුත් අනෙකුත් වීසා සහ පදිංචි බලපත්‍ර සහිත පුද්ගලයන්ට ද බල පැවැත්වේ.

"හදිසි මානවීය අවශ්‍යතා" සහිත පුද්ගලයන් හෝ එවැනි ක්‍ෂේත්‍රයන් හි සේවය කරනු ලබන අයට විශේෂ අවසරයක් සඳහා අයදුම් කළ හැකිය.

මෙය හදිසියේ ගත් තීරණයක් ලෙස පෙනෙන්නට තිබුන ද දැනටමත් බොහෝ විදෙස් ගුවන් සමාගම් චීනයට යාම නතර කර තිබේ. එමෙන්ම චීනයේ නගර කිහිපයකම මේ වන විටත් ඇතුළුවීම සීමා කොට තිබේ.

උදාහරණයක් ලෙස ගතහොත්, බීජින් නුවරට ඇතුළු වන සියලු දෙනා දින 14ක් නිරෝධායනයට ලක් විය යුතු බවට පසුගිය මාසයේ නියෝග කර තිබුණි.

චීනයේ කොරෝනාවෛරස තත්වය

කොරෝනාවෛරසය ආරම්භ වුයේ චීනයෙන් වුවද මේ වන විට එහි වෙසෙන ආසාදිතයන් ප්‍රමාණය එක්සත් ජනපදයට වඩා අඩුය. මරණ සංඛ්‍යාව ඉතාලියට සහ ස්පාඤ්ඤයට වඩා අඩුය.

චීනයෙන් වාර්තා වූ මුළු ආසාදිතයන්ගේ ගණන 81,340ක් බවත් මුළු මරණ සංඛ්‍යාව 3,292ක් බවත් එරට ජාතික සෞඛ්‍ය කොමිසම සිකුරාදා පැවසීය.

ඉන් ආසාදිතයන් 565 දෙනෙකුම වර්ග කර ඇත්තේ "ආනයනිත'" ගණයට ය. ඔවුන් විදේශිකයන් හෝ විදෙස් රටක සංචාරය කර පැමිණෙන්නන් විය හැකිය.

වෛරසය ආරම්භ වූ හුබෙයි ප්‍රාන්තයෙන් කිසිදු රෝගියෙකු ඊයේ වාර්තා නොවිණි.

වෛරසය ආරම්භ වුයේ එම ප්‍රාන්තයේ අගනගරය වන වූහාන් තුලිනි. එම නගරය වසා දමා ඇති නමුත් එම නීති අප්‍රේල් 8 වනදා පටන් ලිහිල් වීමට නියමිතය.

පසුගිය ජනවාරියේ මැද භාගයේ පටන් වූහාන් නගරය සෙසු ලෝකයෙන් හුදෙකලා කරමින් වසාදමා පවතී.

නමුත් බලධාරීන් දැන් පවසන්නේ සෞඛ්‍යසම්පන්න පුද්ගලයන්ට අවශ්‍යනම් අප්‍රේල් 8 වනදා පටන් නගරයෙන් පිටත සංචරණය කළ හැකි බවය.

වූහාන් නගරයේ තත්වය යහපත් අතට හැරෙමින් පවතින නමුත් ලෝකයේ ඇතැම් රටවල තත්වය දිනෙන් දින බරපතළ වෙමින් පවතී.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කොරෝනාවෛරස වසංගතය "තීව්‍ර වෙමින්" පවතින බවය.

පළමු ආසාදිතයා වාර්තා වී දින 67ක් ඇතුළත ආසාදිතයන් ලක්‍ෂයක් ලොව නන් දෙසින් වාර්තා විය. නමුත් දෙවන ලක්ෂය (100,000) වාර්තාවීමට ගත වූයේ දින 11ක් පමණි. එම තත්වය තවත් බරපතළ කරමින් තුන්වන ලක්ෂය වාර්තා වූයේ දින හතරක් ඇතුළත ය.

චීනයේ වූහාන් නගරයේ නීති ලිහිල්වීමට නියමිත නමුත් ලෝකයේ තවත් නගර කිහිපයකම නීති රීති දැඩි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.