ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සෞදි අරාබි රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨයන් තිදෙනෙක් සිරගත කෙරෙති
රජුගේ සහෝදරයා ඇතුළු සෞදි අරාබි රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් තිදෙනෙකු පැහැදිලි හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන් දෙදෙනෙක් රාජධානියේ වඩාත් බලගතු පුද්ගලයින් අතර වූහ.
ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ට ඇති බලය තවදුරටත් තහවුරු කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම් සිදු වී ඇතැයි විශ්වාස කෙරේ.
2017 දී සෞදි රාජකීය පුද්ගලයින්, ඇමතිවරුන් සහ ව්‍යාපාරිකයින් පිරිසක් රියාද්හි රිට්ස්-කාල්ටන් හෝටලය තුළ සිර කර තැබීමට මොහොමඩ් බින් සල්මාන් ක්‍රියා කළේය.
මතභේදාත්මක චරිතයක් වන මොහොමඩ් බින් සල්මාන් ඔටුන්න හිමි කුමරු ලෙස 2016 දී ඔහුගේ පියා විසින් නම් කරනු ලැබීමෙන් පසු ඔහු රාජධානියේ අනියම් පාලකයා ලෙස සැලකිණි.
මෙම රඳවා ගැනීම් පිළිබඳ ප්‍රථමයෙන් හෙළිදරව් කරන ලද්දේ 'වෝල් ස්ට්‍රීට් ජර්නල්' පුවත්පත විසිනි.
අත්අඩංගුවට ගත් තිදෙනා නම් රජුගේ බාල සොහොයුරා වන අහමඩ් බින් අබ්දුලාසීස්, හිටපු ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් නයෙෆ් සහ රාජකීය ඥාති සහෝදරයෙකු වන නවාෆ් බින් නයෙෆ් ය.
මොහොමඩ් බින් සල්මාන් කුමරු 2017 දී මොහොමඩ් බින් නයෙෆ් ඔහුගේ භූමිකාවෙන් ඉවත් කර නිවාස අඩස්සියේ තබන තෙක් එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබිණි. පෙර භූමිකාව තුළදී ඔහු එක්සත් ජනපද බුද්ධි අංශ නිලධාරීන්ගේ සමීප සහ විශ්වාසවන්ත හවුල්කරුවෙකු ලෙස පෙනී සිටියේය.
සිංහාසනය සඳහා ඉදිරියෙන් ම සිටින 34 හැවිරිදි ඔටුන්න හිමි කුමරුට මෙම පුද්ගලයන් දෙදෙනා ම ප්‍රතිවාදීන් වීමේ ඉඩකඩ තිබිණි.
මුහුණු ආවරණ පැළඳ, කළු ඇඳුමින් සැරසී පැමිණි ආරක්ෂකයන් රාජකීයයන්ගේ නිවෙස් සෝදිසි කළ බව වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තා කර තිබේ.
මේ තොරතුරුද කියවන්න:
මෙය සෞදි අරාබියේ බලවත් ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සිය බලය තහවුරු කර ගැනීම සඳහා ගත් සුවිශේෂී පියවරක් ලෙස සැලකේ. අහමඩ් බින් අබ්දුලාසීස් කුමරු යනු සෞදි අරාබියේ නිර්මාතෘ අබ්දෙලාසිස් රජුගේ දැනට ජීවත් වන පුතුන්ගෙන් කෙනෙකු වන අතර, රජ පවුලේ වැඩිහිටි සාමාජිකයන් අතර මහත් ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයෙකි.
අනෙක් ජ්‍යෙෂ්ඨ කුමරෙකු වන මොහොමඩ් බින් නයෙෆ් මීළඟට රජකම සඳහා යෝජනා වී සිටිය ද මින් වසර තුනකට පෙර හදිසියේ එය වෙනස් විණි. අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරද්දී 2000 දශකයේ සෞදි අරාබියට බලපෑම් කළ අල්කයිඩා කැරැල්ල පරාජය කිරීමේ ගෞරවය ද ඔහුට හිමි විය.
එක්සත් ජනපද මාධ්‍යවල පළ වූ පුවත් පිළිබඳ නිල වශයෙන් තහවුරු කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් සිදු වී නොමැති නමුත්, සෞදි අරාබියේ රාජකීය කටයුතු බොහෝ විට පවත්වන්නේ රහසිගතවය.
දැඩි ගතානුගතික රටක් වන සෞදි අරාබිය තුළ ආර්ථික හා සමාජීය ප්‍රතිසංස්කරණ මාලාවක් හඳුන්වාදීමට පොරොන්දු වීමත් සමග ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් 2016 දී ජාත්‍යන්තර ප්‍රශංසාවට ලක් විය.
කෙසේවෙතත්, 2018 දී ඉස්තාන්බුල්හි සෞදි තානාපති කාර්යාලයේ දී සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය කිරීම ඇතුළු විවිධ සිද්ධීන් හේතුවෙන් ඔහු අපකීර්තියකට පත් විය.
රිය පැදවීමේ අයිතිය ඇතුළු සමහර සීමාවන් ඉවත් කළ ද කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන්ට අමානුෂික ලෙස සැලකීම සහ යේමනයේ පවතින ගැටුම්වල දී සෞදි අරාබි රාජ්‍යයට පක්ෂපාතී හමුදාවන්ට සහය දීම සම්බන්ධයෙන් ද ඔහු විවේචනයට ලක්ව තිබේ.
මේ අතර, සෞදි අරාබිය මාරාන්තික නව කොරෝනාවෛරසය පැතිරීම වැළැක්වීමට ද පියවර ගනිමින් සිටියි.
වන්දනා චාරිකා සඳහා විදේශීය බැතිමතුන්ට රට තුළට ඇතුළු වීම වළක්වා ඇති අතර, ඉතා වැදගත් උත්සවයක් වන හජ් මෙම වසරේ දී පැවැත්විය හැකිද යන්න පිළිබඳ ප්‍රශ්න නැගී තිබේ.
දැඩි පිරිසිදු කිරීමේ ක්‍රියාවලියක් සඳහා බ්‍රහස්පතින්දා දින (මාර්තු 05) ඉස්ලාම් ශුද්ධ වූ නගරය වන මක්කම සම්පූර්ණයෙන් හිස් කර තිබිණි.