වෙනිසුවෙලාව: "දරුවන් හය දෙනෙක් බිහි කරන්න" - ජනාධිපති මදුරෝ

මදුරෝ ,වෙනිසුලා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "දරුවන් හය දෙනෙක් බිහි කරන්න" -ජනාධිපති මදුරෝ

"රටේ යහපත උදෙසා" දරුවන් හය දෙනෙකු බිහිකරන මෙන් වෙනිසුවෙලා ජනාධිපති නිකොලස් මදුරෝ එරට කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කරයි.

කාන්තා සෞඛ්‍යය සැලසුමක් නංවාලීමට අදාළ, රූපවාහිනිය මගින් ද විකාශනය කෙරුණ ජාතික උත්සවයකට සහභාගි වූ ජනාධිපතිවරයා "දරුවන් බිහිකරන්න! දරුවන් බිහි කරන්න!" යනුවෙන් සිය රටේ කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කළේය.

දැනට ආර්ථික අර්බුදයකට මැදි වී ඇති වෙනිසුවෙලාව ඉතා බරපතළ ආහාර සහ ඖෂධ හිඟයකට මුහුණ දී සිටින රාජ්‍යයකි.

2013 සහ 3018 අතර කාලය ඇතුළත වෙනිසුලා දරුවන්ගෙන් 13 %ක් මන්දපෝෂණයට ගොදුරු වූ බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල(Unicef) පවසයි.

මේ අතර වෙනිසුවෙලා ආණ්ඩුව සහ එරට විපක්ෂය අතර පවතින අමිහිරි බල අරගලය රටේ තත්වය තවත් දරුණු තත්වයකට පත් කිරීමට හේතු වී ඇත.

වෙනිසුවේලා විපක්ෂ නායක හුවාන් ගයිඩෝ (Juan Guaidó) රටේ නීත්‍යානුකූල පාලකයා හැටියට පනහකට අධික රටවල් විසින් පිළිගනු ලැබ ඇත.

එහෙත් යුද හමුදාවේ සහයෝගය ලබන වාමාංශික නායක ජනාධිපති මදුරෝ දිගටම බලයේ රැඳී සිටියි.

"පුංචි පුතුන් සහ දූවරුන් හයදෙනා බැගින් බිහි කරන්නට ඔබට දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවි," ජනාධිපති මදුරෝ ඉහත කී සෞඛ්‍යය සංරක්ෂණ වැඩ සටහනට සහභාගි වූ කාන්තාවක් අමතමින් සඳහන් කළේය.

"හැම කාන්තාවක්ම රටේ යහපත වෙනුවෙන් ළමුන් හය දෙනෙක් බිහිකළ යුතුයි," ජනාධිපති මදුරෝ පවසයි.

මාර්තු අටවෙනිදා උදාවෙන ජාත්‍යන්තර කාන්තා දිනය පිළිබඳව සඳහන් කළ ජනාධිපතිවරයා "මෙය කාන්තාවන්ගේ සතිය" යයි සඳහන් කළේය.

වෙනිසුලා

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, රටේ ව්‍යවහාර මුදලේ අගය පිරිහීමත් සමඟ ඩොලරයෙන් ගනුදෙනු කරන වෙනිසුලා වෙළෙඳපොල

එහෙත් විපක්ෂ නායක ජුවාන් ගයිඩෝගේ ආධාරකරුවෝ ජනාධිපති මදුරෝගේ ඉහත කී ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරන්නේ කෝපයෙනි.

"රෝහල් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එන්නත් හිඟයි. මව්වරුන්ට තනකිරි දෙන්න බැහැ. මොකද? මන්දපෝෂණය. මිල මුදල් නැති නිසා ළදරු පිටිකිරි ගන්න බැහැ. මානවීය ආපදා නිසා මිනිස්සු රටහැර යන තත්වයක් උද්ගත වෙලා," විපක්ෂයට වැඩි බලයක් සහිත වෙනිසුවෙලා ජාතික මණ්ඩලයේ මන්ත්‍රීවරයෙක් 'ට්විටර්' පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

"මේ වගේ කතා කියන මදුරෝ සහ ඔහුගේ සමස්ත පාලනය මානසික විකාරයක්!"

වෙනිසුලාවේ පවුලේ තත්වය

ලෝක ආහාර ව්‍යාපෘතිය මගින් කරන ලද සමීක්ෂණයකට අනුව සෑම වෙනිසුවෙලානු ජාතිකයන් තුන්දෙනෙකුගෙන් එක් අයෙක් අවම පෝෂ්‍යදායී ආහාරවේලක් සම්පාදනය කර ගැනීමේ දුෂ්කර අරගලයක නිරත වෙමින් සිටියි.

වෙනිසුලා

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, වෙනිසුවෙලාවේ විපක්ෂ නායකයා රටේ නීත්‍යානුකූල පාලකයා ලෙස පනහකට අධික රටවල් පිළිගෙන ඇත

මහමග අත්හැර දමන ලද කුඩා දරුවන් ගණනාවක් සිය ඇස ගැටුණ අතර, ආණ්ඩුවේ ගොඩනැගිලි ඉදිරිපිට දමාගිය දරුවන්ගේ සංඛ්‍යාව 70%කින් වැඩි වී ඇතැයි 2018 වසරේ එක් ශුභසාධක සංවිධානයක් ප්‍රකාශ කරයි.

වෙනිසුවෙලා ආණ්ඩුව මේ සම්බන්ධයෙන් අදාළ කිසිදු නිල සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත්කර නොමැත.

කියවන්න: