ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'සිංගර්' මහන මැෂිම ඔබේ නිවසට ආවේ කොහොමද?
කමිසයක් මැසීමේ කාලය පැය දාහතරේ සිට පයක් දක්වා අඩු කිරීමට මුල් වූ 'සිංගර්' මහන මැෂිම ලෝකය පුරා ගමන් ආරම්භ කිරීමේ කතන්දරය ආර්ටම්භ වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ 'බොස්ටන්' නගරයෙනි.
මැහුම් ගෙතුම් කර්මාන්තයේ විස්කම් පෑම අතින් 'සිංගර්' මහන මැෂිම මෙන්ම එහි නිර්මාතෘවරයාගේ ජීවිත කතාවත් රසවත් වෘත්තාන්තයකි.
'බොස්ටන්' නගරයේ ජීවත් වූ නළුවකු ලෙස අසාර්ථක පුද්ගලයෙක් අලුත් දෙයක් සොයා ගැනීම මගින් සිය වාසනාව උදාකර ගැනීමේ ප්‍රයත්නයක නිරත වෙමින් සිටියේය.
වැඩපොළක ප්‍රදර්ශන කුටියක කුඩා ඉඩකඩක් කුලියට ගත් එම තැනැත්තාගේ බලාපොරොත්තුව වුණේ දැවමය නිෂ්පාදන සඳහා උපයෝගී කරගනු ලබන යන්ත්‍රයක් අලෙවිකර ගැනීමය.
එහෙත් එය ඒවනවිට යල්පැන ගිය මට්ටමකට පත් උපකරණයක් විය. ප්‍රයත්නය අසාර්ථක විය.
එම අවධියෙහි එක කමිසයක් මැසීමට ගත වූ කාලය පැය දාහතරක් තරම් දීර්ඝ වූවකි. එවැනි පසුබිමක් තුළ එම කාලය කෙටිකර ගැනීම වාසනාව උදාකර ගැනීමේ අවකාශයක් නිර්මාණය කළේය.
මෙහි ඉහත සඳහන් කළ අලුත් දේවල් නිර්මාණය කිරීමට යොමු වූ අසාර්ථක නළුවා අයිසැක් මෙරිට් සිංගර් (Isaac Merritt Singer) නම් විය.
නෙත් සිත් ඇද ගනු ලබන ආකර්ෂණීය තැනැත්තකු වූ අයිසැක් මෙරිට් සිංගර් උසස් පරිත්‍යාගශීලියකු වුවද, අනිත් අතින් අනුකම්පා විරහිත පුද්ගලයකු ද විය.
දරුවන් විසි දෙදෙනෙකුට පියා වූ අයිසැක් මෙරිට් සිංගර් ගැහැනුන් හඹා යන ස්ත්‍රීලෝලියෙකි.
සිංගර්ට වසර ගණනාවක් පවුල් තුනක් නඩත්තු කිරීමට සිදු විය. එම පවුල් තුනේ කාන්තාවන් නොව වෙනත් කාන්තාවක් සමඟ නිල මට්ටමින් විවාහ වී සිටි ඔහුට තවත් පවුලක් සිටින බව සිංගර්ගේ අනෙක් පවුල්වලට සැඟවුන රහසක් විය.
අඩු තරමින් ඔවුන්ගෙන් එක් කාන්තාවක් සිංගර් තමාට පහර දුන් බවට පැමිණිලි කළාය.
ඇතැම් කාන්තාවන් ඔහුගේ හැසිරීම හේතුවෙන් කාන්තා හිමිකම් සඳහා පෙනී සිටියත්, අයිසැක් මෙරිට් සිංගර් කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් සහයෝගය නොදුන් චරිතයකි.
"අයිසැක් මෙරිට් සිංගර් කාන්තා ව්‍යාපාරයට ශක්තිමත් පිටකොන්දක් ලබාදුන් ආකාරයේ මිනිසකු විනැයි," ඔහුගේ ජීවන චරිතය රචනා කළ රූත් බ්‍රැන්ඩන් (Ruth Brandon) ලියා ඇත්තේ සෝපාහසයෙනි.
සිංගර් මහන මැෂිමක මූලික ආකෘතිය කෙරෙහි අවධානය යොමු කළේය.
"ෂටලය වක්‍රාකාරව ගමන් කරනු වෙනුවට මම එය එකම පේළියක උස් පහත්වෙන ආකාරයට සකස් කරනවා," ඔහු සිය කම්හලේ ප්‍රධානියාට පැවසීය.
"ඒ වගේම මම ඉඳිකටුව උඩ පහළ යන ආකාරයට සකස් කරනවා."
1851 දී සිය නිර්මාණය සඳහා 'පේටන්ට්' බලපත්‍රයක් ලබා ගත් සිංගර් තමා නිෂ්පාදනය කළ මහන මැෂිම අලෙවි කිරීම ආරම්භ කළේය. එය මන බඳින නිර්මාණයකි. පළමු නිෂ්පාදනයේ අලෙවිය සාර්ථකව සිදුවිය.
කමිසයක් මැසීමට ගත වූ කාලය යන්තම් පැයක් පමණි.
එහෙත් අවාසනාවක් වුණේ, ඒ වනවිටත් පේටන්ට් බලපත් ලබා තිබුණ අලංකාර හැඩයෙන් සහ 'සිදුර ' (eye-pointed needle) සහිත ඉදිකටු ඇතුළත් එසේම ඇඳුමක මැස්ම සැකසෙන විවිධ නිර්මාණ රැසක් සමඟ තරග වැදීමට සිංගර්ට සිදුවීමය.
එය 1850 වකවානුවේ "ඊනියා මහන මැෂින් යුද්ධය" පැවති අවධියයි.
තරගකාරී නිෂ්පාදකයන්ගේ අභිලාශය වුණේ ඔවුන්ගේ මහන මැෂින් විකුණා ගැනීමට වඩා 'පේටන්ට්' බලපත් අයිතිය අත්පත් කර ගැනීම සඳහා එකිනෙකාට එරෙහිව නඩු පැවරීම බවක් පෙනී ගියේය.
අන්තිමේදී සියළු අරමුණු හොඳ මහන මැෂිමක් නිර්මාණය කිරීමෙහි ලා යොමුකළ යුතු බව පෙන්වා දෙමින් එම තරගකරුවන් අතර එකමුතු බවක් ඇති කිරීමට නීතිවේදියෙක් සමත් විය.
"හැම කෙනෙකුටම බලපත්‍රයක් දීමේ වරද කුමක්ද? හැම කෙනෙක්ම බලපත් ලබා ගැනීමට එකමුතුව ක්‍රියාකළ යුතුයි."
නෛතික අවුල් ජාලයෙන් නිදහස් වීමත් සමඟ මහන මැෂින් වෙළෙඳපොළේ නැගීමත් සිදු වූ අතර සිංගර් එහි බලවතා බවට පත්විය.
ප්‍රතිවාදී නිෂ්පාදකයන් සමඟ සසඳා බලනවිට සිංගර්ගේ කම්හල්හි ක්‍රියාකාරිත්වය ඒවා දකින්නන් තුළ පුදුමයක් ඇති කෙරෙන සුළු මට්ටමක විය.
එමෙන්ම සිංගර් සහ ඔහුගේ ව්‍යාපාරික සගයා වූ එඩ්වඩ් ක්ලාක්, ප්‍රචාරක ව්‍යාපාරයේ ද පුරෝගාමීහු වූහ.
එකල මහන මැෂින්වල මිල ඉතා ඉහළ වූ අතර, මැසිමක් මිලදී ගැනීම පිණිස සාමාන්‍ය පවුලක මාස කීපයක ආදායම අවශ්‍ය විය.
එඩ්වඩ් ක්ලාක් එයට විසඳුමක් යෝජනා කළේය; මසකට ඩොලර් කීපයක මුදලට මහන මැෂින් කුලියට දෙමින් සම්පූර්ණ මුදල ගෙවා අවසාන වූ විට මැෂිම ඔවුන්ට පැවරීම එම විසඳුමය.
ඉතා මන්දගාමී සහ නිරන්තරයෙන් ක්‍රියා විරහිතවන මහන මැෂින් සම්බන්ධයෙන් පැවති අයහපත් ආකල්ප වෙනස් කරගැනීමට ද මේ අතර හැකිවිය.
සිංගර්ගේ ව්‍යාපාරයේ පැවැත්ම රැඳී පැවතියේ සිය මැෂින් ඉතා හොඳින් ක්‍රියා කරන බව ලොවට ප්‍රදර්ශනය කිරීම මතය.
ඒ සඳහා නිව්යෝක් නුවර Broadwayහි සාප්පුවක කොටසක් කුලියට ගත් ඔහු, එහි තරුණියන් යොදවා මහන මැෂින් ක්‍රියාකරන ආකාරය ප්‍රදර්ශනය කළේය. එය නැරඹීමට බොහෝ දෙනා ඇදී ආහ.
1860 වන විට 'නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පත පවා ඔහුගේ නව නිර්මාණය අගය කළේය.
ලොව වෙනත් කිසිදු නව නිපැයුමක් "මේ ආකාරයෙන් අපේ මවුවරුන්ට සහ දූවරුන්ට සහනයක් ගෙන නොදුන්" බව පුවත්පත වාර්තා කළේය.
ලෝකයේ නවීන ආර්ථිකය සැකසීමෙහිලා මුල් වූ ප්‍රධාන භාණ්ඩ නිෂ්පාදන අතරට 'සිංගර්' මහන මැෂිමත් ඇතුළත් වෙයි.
(BBC මාධ්‍යවේදී ටිම් හාර්ෆර්ඩ් (Tim Harford ) විසින් රචිත ලිපියක් ඇසුරෙනි)
කියවන්න;