ඔස්ට්‍රේලියාව: ගින්නෙන් විනාශ වූ සතුන් ප්‍රමාණය දැන ගන්නේ කෙසේ ද?

ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනිවලින් මේ වන විට සතුන් මිලියන 480ක් මියගොස් ඇතැයි වාර්තා පළ වෙමින් තිබේ.

මෙම ගණන හෙළි කර ඇත්තේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ජෛව විවිධත්වය පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය ක්‍රිස් ඩික්මන්ය.

මිලියන 480ක් සතුන්ට ලැව් ගිනිවල බලපෑම එල්ල වී ඇති බව මහාචාර්යවරයා නිකුත් කළ වාර්තාවේ සඳහන් වී තිබුණ නමුත්, එවැනි ප්‍රමාණයක් මිය ගිය බව වාර්තාවේ පැහැදිලි ලෙස විස්තර කර නොමැත. කෙසේවෙතත්, වාර්තාවේ මාතෘකාව වන්නේ ගින්නෙන් සතුන් 480ක් මියගොස් ඇති බවය.

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වන ප්‍රදේශ එළි පෙහෙළි කිරීම හේතුවෙන් සතුන්ට ඇතිවන බලපෑම පිළිබඳ 2007 වර්ෂයේ දී මහාචාර්ය ක්‍රිස් ඩික්මන් 'World Wide Fund for Nature' (WWF) සංවිධානයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වන දත්ත පදනම් කරගෙන මෙම සතුන් ප්‍රමාණය ඇස්තමේන්තු කර ඇත.

හෙක්ටයාරයක් ඇතුළත ක්ෂීරපායි සතුන් 17.5ක්, කුරුල්ලන් 20.7ක් සහ උරගයන් 129.5ක සාමාන්‍යයක් දැකිය හැකි බව එම වාර්තාවේ ඇස්තමේන්තු කර තිබිණි (වර්ග මීටර 10,000ක ප්‍රදේශයක් වන මෙය ජාත්‍යන්තර රග්බි පිටියක ප්‍රමාණයට සමානය).

එම සතුන් ප්‍රමාණය ගින්න පැතිරී ඇති භූමි ප්‍රදේශයෙන් වැඩි කිරීමෙන් 'මිලියන 480ක්' යන ගණන තක්සේරු කර තිබේ.

"දින දහයකට පෙර නිව් සවුත් වේල්ස්හි හෙක්ටයාර මිලියන තුනක භූමි ප්‍රදේශයක ගින්න පැතිරී තිබුණ අතර මිලියන 480ක් පමණ ක්ශීරපායී සතුන්, කුරුල්ලන් සහ උරගයන්ට ගින්නෙන් බලපෑම් එල්ල වී ඇති බව අපි තක්සේරු කළා," මහාචාර්ය ක්‍රිස් ඩික්මන් පැවසීය.

"විශේෂයෙන්ම කැන්ගරූ හෝ 'එමු' කුරුල්ලන් හෝ වෙනත් කුරුල්ලන්ට ගින්න පැතිරෙනකොට ඉවතට යන්න පුළුවන් වෙන්න ඇති" යැයි මහාචාර්යවරයා බීබීසී 'බ්‍රෙක්ෆස්ට්' වැඩසටහනට පැවසීය.

"කැලෑව මත යැපෙන කුඩා සතුන් වර්ග සහ හිමින් ගමන් කරන සතුන් මේ ගින්නට හසු වන්නට ඇති බව මම සිතනවා."

කෙසේනමුත්, ගින්නෙන් දිවි ගලවාගත් බොහෝ සතුන් ආහාර සහ වාසස්ථාන නොමැතිව පසුව මිය යනු ඇති බව මහාචාර්යවරයා තවදුරටත් පැවසුවේය.

ගින්නෙන් බලපෑම් එල්ල වූ සතුන් ගණන අතිශයෝක්තියෙන් දක්වා ඇති බව යෝක් විශ්වවිද්‍යාලයේ පරිසරවේදිනියක වන කොලින් බීල් බීබීසී 'රියැලිටි චෙක්' වෙත පැවසීය.

"අප්‍රිකාවේ මම වැඩ කළ ප්‍රදේශවල මම හොඳටම දන්නවා සෘජුව ගින්නට හසු වීමෙන් මිය යන්නේ ඉතා කුඩා කුරුල්ලන් ප්‍රමාණයක් විතරයි. ඔවුන්ට ගින්නෙන් ඉවතට පියඹා යෑමේ හැකියාව තිබෙනවා. ඔස්ට්‍රේලියාවේත් අනිවාර්යයෙන්ම මේ විදිහට සිදු වෙලා ඇති," ඔහු පැවසීය.

කෙසේවෙතත්, මෙම දත්තවල යම් අඩුපාඩු දක්නට ඇත. ප්‍රථමයෙන්, මෙහි තක්සේරු කර ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට සිදු වූ හානිය පමණය. නමුත්, ගින්න වික්ටෝරියා ප්‍රාන්තයට ද පැතිරී ගොස් තිබේ.

එමෙන්ම, මේ වන විට පෙර සඳහන් කළ හෙක්ටයාර මිලියන තුනට වඩා වැඩි ප්‍රදේශයක ගින්න පැතිරී ගොස් තිබේ. ඒ හේතුවෙන්, පෙර ඇස්තමේන්තු කළ ප්‍රමාණයට වඩා වැඩි සතුන් ප්‍රමාණයක් ගින්නේ බලපෑමෙන් පීඩා විඳිනු ඇත.

කෙසේ නමුත්, මතක තබා ගත යුතු වැදගත්ම කරුණ නම්, මෙම අංක තක්සේරු කිරීමක් පමණක් යන වගය. මෙය මධ්‍යස්ථ අංකයක් පමණක් බව වාර්තාවේ ලේඛකයා ද පවසන්නේය. ගින්නෙන් හානි වූ සතුන්ගෙන් වැඩි ප්‍රමාණයක් උරගයන් ලෙස දක්වා තිබුණ ද ප්‍රමාණය නිශ්චිතව දැක්විය නොහැකිය.

"බොහෝ සතුන් වර්ගවල නිශ්චිත ගණනයක් නැහැ. අනෙක් සතුන්ගේ ගණනත් සමඟ යම් තක්සේරු කිරීමක් තමයි සිදු කරන්න වෙන්නේ," එක්සත් රාජධානියේ රෙඩින් විශ්වවිද්‍යාලයේ පරිසරය පිළිබඳ මහාචාර්ය ටොම් ඔලිවර් බීබීසී 'රියැලිටි චෙක්' වෙත පැවසීය.

"එක් එක් උරග වර්ග ගැන වෙනම ගණනයක් කොහෙත්ම සිදු කර නැහැ. මේ ගැන 1985 දී එක පරීක්ෂණයක් සිදු කර තිබෙනවා. එහිදී තක්සේරු කර ඇත්තේ එක් වර්ගයක උරගයන් දස දෙනෙකු හෙක්ටයාරයක් තුළ ජීවත් වන බවයි," මහාචාර්යවරයා පැවසුවේය.

"උරගයන් ගින්නෙන් දිවි ගලවාගන්නේ කෙසේදැයි කියලා තක්සේරු කරන්න අපහසු වුවත්, මේ හා සමාන ප්‍රදේශවල බොහෝ උරගයන් ජීවත් වන්නේ පස්වල," යැයි කොලින් බීල් පැවසීය.

"පස් ඉතා හොඳ ගිනි ආරක්ෂණයක්. ඒ නිසා, විශාල ගින්නක දී වුව ද උරගයන්ට නොමැරී සිටින්නට හැකි වෙන්න පුළුවන්."

"ගින්නට හසු වූ සතුන් බොහොමයක් ඇත්තටම මියයාමේ ඉඩකඩ බොහෝ අඩුයි. නමුත් ඔවුන් දිගු කල් ජීවත් වේ දැයි යන්න ප්‍රශ්නයක්."

මේ වන විට තත්වය

සෙනසුරාදා (ජනවාරි 4) ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට වැඩි වූ අතර, දේපළ සහ භූමිය විනාශ කරමින් ස්ථාන 200ක පමණ තවදුරටත් ගින්න පැතිර යමින් පවතී.

2019 සැප්තැම්බර් මස ආරම්භ වූ මෙම ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 24 දෙනෙකු මියගොස් ඇත. තවත් විශාල ප්‍රමාණයක් අතුරුදහන් වී ඇති අතර, නිවාස 1500ක් සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.

මේ වන විට හෙක්ටයාර ලක්ෂ නවයක් විනාශ වී ඇතැයි බලධාරීන් පැවසූ බව ABC පුවත් සේවය වාර්තා කළේය.

මේ තොරතුරුද කියවන්න: