ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඔස්ට්‍රේලියාව: ගින්නෙන් බේරීමට මිනිසුන් දහස් ගණනක් මුහුදු වෙරළට දිව යති
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පවතින ලැව් ගිනි වෙරළාසන්න ප්‍රදේශවලට වේගයෙන් පැතිරී යෑම නිසා දහස් ගණනක පිරිස් මුහුදු වෙරළ වෙත පළා යමින් සිටිති.
තද රත් පැහැති අහස යට බෝට්ටුවලට නැගී පළා යෑම ඉතා "භයානක අත්දැකීමක්" බව 'මැලකූටා' ප්‍රදේශවාසීහු පවසති.
නිව් සවුත් වේල්ස් ප්‍රදේශයේ තවත් පුද්ගලයන් දෙදෙනෙකු මෙම ලැව් ගිනි හේතුවෙන් මිය ගොස් ඇති බව බලධාරීහු තහවුරු කළහ. ඒ අනුව, ලැව් ගිනි හේතුවෙන් මියගිය සම්පූර්ණ ගණන 12 දක්වා ඉහළ ගොස් තිබේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ පුද්ගලයන් හතර දෙනෙකු සහ නිව් සවුත් වේල්ස්හි එක් පුද්ගලයෙකු අතුරුදහන් වී ඇති බව බලධාරීහු පවසති.
අද දින (දෙසැම්බර් 31) ඇති වූ විශාල ගිනි ගැනීම් හේතුවෙන් මිය ගොස් ඇත්තේ පියෙකු සහ පුතෙකු වන අතර, ඔවුන්ගේ සිරුරු 'කෝබාගෝ' නගරයේ දී හමු වී ඇත.
"ඉතා දුක්මුසු තත්වයක්. ඔවුන් අනිවාර්යයෙන්ම ගින්නෙන් බේරෙන්න දැඩි උත්සාහයක යෙදෙන්න ඇති. නමුත් ගින්න ඇවිත් තියෙන්නේ උදේ පාන්දර," යැයි නිව් සවුත් වේල්ස්හි නියෝජ්‍ය පොලිස් කොමසාරිස් ගැරී වොබෝයිස් පැවසීය.
නිව් සවුත් වේල්ස් සිට වික්ටෝරියා දක්වා කිලෝමීටර 500ක් ඇතුළත විවිධ ස්ථානවල ලැව් ගිනි පැතිරී ගොස් ඇත.
මෙම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය වන 'ප්‍රින්සස් හයිවේ' මේ වන විට වසා දමා ඇති අතර, වෙරළබඩ නිවාඩු ගතකිරීමට සුදුසු ස්ථාන කිහිපයක් ද අවහිර කර ඇත.
විපතට පත් නගරවලට අවශ්‍ය ආහාර, ජලය සහ විදුලි බලය ලබා දීමට නාවික හමුදා නැව් කැඳවීමට ඉඩ ඇති බව වික්ටෝරියා ප්‍රාන්ත මහ ඇමති ඩැනියෙල් ඇන්ඩෘස් පැවසීය.
ඔස්ට්‍රේලියාවේ දිවි ගෙවන ශ්‍රී ලාංකිකයන්
නිව් සවුත් වේල්ස් සහ මෙල්බර්න්
ලැව් ගිනි සම්බන්ධයෙන් පුවත් ඇසීමෙන් පසු ශ්‍රී ලංකාව ඇතුළු වෙනත් රටවල දිවිගෙවන සිය නෑ හිත මිතුරන් බොහෝ දෙනෙකු දුරකතනයෙන් සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සුව දුක් විමසන බව ඔස්ට්‍රේලියාවේ දිවිගෙවන ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනෙකු බීබීසී සිංහල සේවයට පැවසීය.
"අපි නිව් සවුත් වේල්ස්වල පැඩි ෆෝල්ස් දිය ඇල්ල බලන්න ගිහින් ආයෙත් එනකොට ඒ මුළු පලාතෙම අහස තද දම් පාට වෙලා තිබුණේ. වටේම ගිනි ගන්නවා. ගිනි නිවන භටයන් විශාල පිරිසක් ඒ ප්‍රදේශයට ඇවිත් හිටියා. මම ඒ වගේ දෙයක් ජීවිතේට දැකලා තිබුණේ නැහැ," යැයි ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රැකියාවේ නියුතු කසුන් නිරෝෂන තුයියහැන්නදි පැවසීය.
ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකු දිවි ගෙවන මෙල්බර්න් නගරයට ගින්නෙන් හානි සිදුව නොමැති වුවත්, ඉන් කිලෝමීටර 50ක් පමණ එපිටින් පිහිටි 'ලේක් එන්ට්‍රන්ස්' ප්‍රදේශය සම්පූර්ණයෙන්ම පාහේ ගිනි ගෙන විනාශ වී ඇති බව කසුන් පැවසීය.
"නගරවල මිනිස්සුන්ගේ ජීවිතවලට මේක තාම බලපාලා නැහැ. හැබැයි ගම් ප්‍රදේශ බොහොමයක ගින්න ඇවිලිලා ගිහින්. අපි යන්න හිටපු ගමන් බිමන් ගොඩක් අවලංගු කළා."
"ඒ වගේම තමයි දරා ගන්න අමාරු රස්නය. අදත් මෙහෙ සෙල්සියස් අංශක 42ට ගියා. එළියට ගිහින් ඉන්නකොට වදින හුළඟට කන් දෙක පිච්චෙනවා වගේ දැනෙන්නේ," කසුන් තවදුරටත් කියා සිටියේය.
මේ දිනවල පවතින දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් නිව් සවුත් වේල්ස්හි 'හියුම්' අමුණ පවා සිදී ඇති අකාරය දුටු බව ඔහු පැවසීය.
සිඩ්නි නුවර
සිඩ්නි නුවර ජන ජීවිතය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකවන බව එහි පදිංචි ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන ලාල් පීරිස් බීබීසී සිංහල සේවයට පැවසීය.
"ලැව් ගිනි වැඩි වශයෙන් පැතිරී තිබෙන්නේ නගරයෙන් බොහෝ ඈත ගම් ප්‍රදේශවල. මම දින කිහිපයක් කිලෝමීටර 890ක් උතුරු ඔස්ට්‍රේලියාවේ රිය ධාවනය කළා. එතකොට තද දුමකින් අහස වැසී තිබෙනවා දැක්කා."
"කැලෑවල ගිනි නිවන්න අදාළ බලධාරීන් උත්සහ කරන්නේ නැහැ. ඒ ගින්න මිනිස්සුන්ට වතුර දාලා නිවන්න බැහැ. ඒකට අනිවාර්යයෙන් වැස්සක් වැටෙන්නම ඕනෙ. ඒ වෙනුවට ඔවුන් උත්සහ කරන්නේ මිනිසුන් වාසය කරන ප්‍රදේශවලට ගින්න පැතිරී යෑම වළක්වන්නයි," ලාල් පීරිස් පැවසුවේය.
"සිඩ්නි නුවර සියල්ල සාමාන්‍ය පරිදි සිදුවෙනවා. අලුත් අවුරුදු සැමරුම් ද වෙනදා වගේම පැවැත්වෙනවා," ඔහු තවදුරටත් පැවසීය.
"අපි වතුරට පනින්න ලෑස්ති වෙලා හිටියේ"
අද දින (දෙසැම්බර් 31) උදෑසන මැලකූටා නගරයට අනතුරු ඇඟවීම් සංඥා නිකුත් කළ පසු ප්‍රදේශවාසීන් සියලුදෙනා මුහුදු වෙරළට පැමිණ ආරක්ෂිත නිවාසවල ලැඟුම් ගෙන ඇත.
"දහවල වුණත්, අවට පරිසරය මැදියම් රෑ වගේ කළුවරයි. අපිට ගින්න ඇවිලෙන සද්දය ඇසුණා. අපිට ජීවිත ගැන දැඩි බියක් ඇති වුණා," ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන ඩේවිඩ් ජෙෆ්රි පැවසීය.
"මුහුද රට තුළට ඒම වැළැක්වීමට ගල් බැම්මක් බැඳ තිබෙනවා. ගින්න අපි ඉන්න තැනටත් පැතිරුණා නම්, අපි ඒ ගල් බැම්මෙන් මුහුදට පනින්න ලෑස්ති වෙලා සිටියේ," ඔහු තවදුරටත් පැවසුවේය.
ගොඩනැගිලි කීපයක් ද විනාශ කරමින් නගරය පුරා ගින්න පැතිරී ගිය ද, සුළං හමන දිශාව වෙනස් වීම නිසා වෙරළ ප්‍රදේශයෙන් ඉවතට ගොස් තිබේ.
අවසාන ආරක්ෂක පියවර අනුගමනය කරමින් ගිනි නිවන භටයන් වෙරළේ එක් රැස් වී සිට ඇත.
"මිනිස්සු 4,000ක් වෙරළේ සිටියා," වික්ටෝරියා ප්‍රාන්ත හදිසි අවස්ථා කොමසාරිස් ඇන්ඩෘ ක්‍රිස්ප් වාර්තාකරුවන්ට පැවසීය.
"තද අඳුරක් තිබුණා, එය සෑහෙන බය හිතෙනවා... මේ වෙලාවෙත් ප්‍රදේශවාසීන් අනතුරේ ඉන්නේ, නමුත් අපි ස්ථානගත වෙලා ඉඳලා ඔවුන් බේරා ගන්නවා, ආරක්ෂා කරනවා" යැයි ගිනි නිවන සේවාවේ ස්ටීව් වොරින්ග්ටන් පැවසීය.
පසුගිය දින කීපය පුරා නැගෙනහිර 'ජිප්ස්ලෑන්ඩ්' පළාතේ පැතිරුණ ගින්නෙන් "දේපළවලට දැඩි අලාභ හානි" සිදුව ඇති බව ඔහු තවදුරටත් පැවසීය.
පළාතේ සිටින බොහෝ දෙනෙකු සංචාරකයන් වන අතර, ඒ සියලුදෙනාට ප්‍රදේශය තුළ ම රැඳී සිටින ලෙසට බලධාරීන් උපදෙස් ලබා දී තිබේ. සඳුදා (දෙසැම්බර් 30) වන විට එම ප්‍රදේශයෙන් ඉවත් වීමට ප්‍රමාද වැඩි අතර, ඉවත් කර ගැනීම ද ඉතා භයානක ක්‍රියාවක් වනු ඇතැයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
ගිනි නිවන භටයන් මරුට
සැප්තැම්බර් මස සිට නැගෙනහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත හරහා හමා යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට අක්කර මිලියන ගණනක් විනාශ වී තිබේ.
පසුගිය ඉරිදා (දෙසැම්බර් 29) "මේ වියරු කාලගුණ තත්වය" නිසා ගිනි නිවන භටයෙකු මිය ගිය බව නිව් සවුත් වේල්ස් ගිනි නිවන සේවා පැවසීය. මෙම කාල සීමාව ඇතුළත මිය ගිය තෙවෙනි ස්වේච්ඡා ගිනි නිවන භටයා ඔහුය.
28 හැවිදිරි සැමුවෙල් මැක්පෝල් මෑතක දී විවාහ වී සිය ප්‍රථම දරුවා අපේක්ෂාවෙන් සිට ඇත. ගින්න හේතුවෙන් හටගත් දැඩි සුළඟට හසු වී පෝල් ගමන් කරමින් සිටි ටොන් 10ක් බරැති ට්‍රක් රථය පෙරළී යාමෙන් සිදු වූ අනතුරෙන් ඔහු ජීවිතක්ෂයට පත් විය.
තවත් ගිනි නිවන භටයන් දෙදෙනක් තුවාල ලැබූහ.
මෙම සතිය ආරම්භයේ සිට ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට වැඩි අගයක් සටහන් වූ අතර, තද සුළං සහ අකුණු වැදීමෙන් හේතුවෙන් ගින්න පැතිරීම වේගවත් වී ඇත.
මේ අතර, ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල වාර්තාගත දැඩි නියඟයක් පවතින අතර, විවිධ දේශගුණික විපර්යාස නිසා ගිනි පැතිරීම පහසුවෙන් සිදුවන බව විද්‍යාඥයෝ පවසති.
මේ තොරතුරුද කියවන්න:
- ලෝක ජනතාවට ම 'හදිසි තත්ත්වයක්' ගැන අනතුරු ඇඟවීමක් !
- දේශගුණික විපර්යාස නිසා ශ්‍රී ලංකාවට සිදු වූ හානිය
- ඕස්ට්‍රේලියාවේ දරුණු ලැව් ගිනි: "අපිට ගෙවල් අතහැර යන්න කියලා නිවේදනය කළා"
- තෙවෙනි ඇසින් දුටු ලොව පුරා නත්තල් සැමරුම්
- 'සිඩ්නි' ගින්න පිළිබඳව සැකයක්
- දේශගුණික විපර්යාසවලින් ආර්ථිකයට සහ ජීවන මට්ටමට "දැඩි බලපෑමක්"
- ඇමරිකාව සීතලෙන් ගල් ගැසෙද්දී ඕස්ට්‍රේලියාව ගිනියම් වෙයි