රාජකීය නත්තල් පත: ආචී කුමරු පළමු වරට පෙනී සිටියි

ලොව පුරා වෙසෙන කෝටි සංඛ්‍යාත කිතුණු ජනතාව අසිරිමත් නත්තල සමරමින් සිටිති.

නත්තල් පත් තැපැල් කිරීම මේ වනවිට බොහෝ රටවල ක්‍රමයෙන් අභාවයට යමින් පවතින්නේ වුව ද බොහෝ දරු දැරියෝ සිය දෙමාපියන් සහ සමීප ඥාතීන් වෙනුවෙන් ඇතැම් විට තමන් විසින්ම නත්තල් පත් නිර්මාණය කරති.

බොහෝ විට දැන් සිදුවන්නේ නත්තල් පත් විද්‍යුත් තැපෑලෙන් යැවීම හෝ නොඑසේනම් ඩිගිටල් පණිවුඩ හුවමාරු ක්‍රම මගින් ජංගම දුරකථන වෙත යැවීමය.

මේ අතර සිය බිළිඳු පුතු පෙනී සිටින ඡායාරූපයක් පළමු වරට යොදාගනිමින් බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරු සහ මේගන් මාකල් (සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය) සිය ඥාතීන් සහ හිතවතුන් වෙත නත්තල් පතක් යවා තිබේ.

හත් මස් වියැති බිළිඳු කුමරා දන ගාමින් කැමරාව වෙත පැමිණෙද්දී සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය හිනැහෙමින් සිටින ආකාරය නත්තල් පතෙහි ඇතුළත් කළු, සුදු ඡායාරූපයේ දැක්වේ.

"සුභ නත්තලක් සහ වාසනාවන්ත නව වසරක් ... අපේ පවුලෙන් ඔබට," යනුවෙන් කාඩ් පතේ සඳහන් වේ.

මිතුරන් සහ හිතවතුන් වෙත එම නත්තල් පත විද්‍යුත් තැපෑල මගින් යවා තිබුණු අතර, පවුලේ සාමාජිකයන් වෙත කාඩ් පත් යවා තිබුණි.

හැරී කුමරු සහ මේගන් කුමරිය ඒ නත්තල් පත අනාවරණය කළේ බ්‍රිතාන්‍ය රැජිණට අයත් පොදුරාජ්‍ය මණ්ඩලීය භාරයේ ට්විටර් ගිණුම ඔස්සේය.

රාජකීය රාජකාරිවලින් විවේකයක් ගනිමින් සිටින රාජකීය යුවල පසුගිය මැයි මාසයේ උපත ලැබූ සිය පුත් කුමරු සමඟ කැනඩාවේ නිවාඩුවක් ගතකරමින් සිටිති.

තමන් කෙරෙහි එල්ලවෙමින් තිබෙන බරපතල මාධ්‍ය අවධානය හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව ඔවුන් දෙදෙනා පසුගිය සැප්තැම්බර් මාසයේ අනාවරණය කළහ.

මේ අතර ගතව යමින් පවතින 2019 ඉතා දුෂ්කර වසරක් වූ බව බ්‍රිතාන්‍ය රැජිණ සිය නත්තල් පණිවුඩයේ දී සඳහන් කිරීමට නියමිතය.

මාර්ගය කිසි දිනෙක "සුමට" නොවූව ද "කුඩා පියවර" මගින් බෙදීම් සුවපත් කළ හැකි බව ද ඇය පවසන්නීය.

කියවන්න: